දේශීය සුනඛයන් මහ මඟ අතරමං නොකරමු
අද අපේ රටේ නිවාස අහිමි සුනඛ ගහණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ සමාජමය කාරණා. ඒකෙන් ප්‍රධානතම කාරණය තමයි නොවිධිමත් නාගරීකරණය. අතීතයේ ගම්බද ප්‍රදේශවල නිදැල්ලේ හැසිරුණු සුනඛයන්; ඒ කියන්නේ free ranging dogs ලා අද ඉබාගාතේ යන සුනඛයන් එහෙම නැත්නම් stray dogs නමින් හැඳින්වෙනවා.
ඇත්තෙන්ම සුනඛයන් තමන්ගේ කැමැත්තෙන් ඒ තත්වයට පත් වුණාද? නැහැ; නාගරීකරණය, ජනාවාසකරණය වගේ කරුණු මුල් කරගෙන අපි ඒ සතුන්ගේ ස්වභාවික උරුමයක් වුණු පාරම්පරික නිජ බිම්, වාස භූමි, ගොඩනැගිලි, තාප්ප, මංමාවත් වගේ දේවල්වලින් සැලකිය යුතු විදිහට අවහිර කළා. එහෙම කරපු අපි උන්ගේ ඒ අසරණකම, යන එන මං නැතිකමක් එහෙමත් නැතිනම් ඉබාගාතේ යාමක් විදිහට හැඳින්වූවා. අද නගරබදව වැඩි සුනඛ ගහණයක් දකින්නට ලැබෙන්නේ ඔවුන්ගේ වාස භූමි සීමාකොට ඇති හින්දයි. සුනඛාදී සතුන් මේ විදිහට මහ මඟ අසරණ වෙන්න තවත් ප්‍රධානතම හේතුවක් තමයි අද නගර බදව බහුලව සිදුකෙරෙන නොවිධිමත් කැලිකසල අපහරණය. ප්‍රතිචක්‍රීකරණයට ලක් නොකරන මේ වගේ නාගරික කසල ගොඩවල්, කුණු කඳු කේන්ද්‍රකරගෙන පරිසරයේ විසිරිලා සිටිය යුතු සුනඛයන් මෙවන් තැන්වලට ඒකරාශීවීම මුල් කරගෙන ඔවුන්ගේ බෝවීම ශීඝ්‍රයෙන් වැඩි වී තිබෙන බව තහවුරු වෙලා තිබෙනවා.
විදි සුනඛයින්ගේ ගහනය වැඩිවීමට හේතු
මේ විදිහට නිවාස අහිමි සුනඛ ගහණය වැඩිවීමට තවත් හේතුවක් තමයි අපේ රටේ මධ්‍යම පාන්තික ජනතාව මිල වැඩි සුනඛ විශේෂ තමන්ගේ ගෙවල් ඇතුලේ තාප්ප ඇතුලේ රඳවා ගැනීම. ඒකෙන් වුණේ දේශීය සුනඛයන් අපේ රට ඇතුලේම අනාථ වීම. බලන්න මේක කොච්චර අසාධාරණ දෙයක්ද? කියලා. අපි දැන් ඉස්සරට වඩා දේශීයත්වය ගැන මහ ඉහළින් කතා කරනවා. ඒත් මේ කාරණාවලදී අපේ තවමත් ගරු කරන්නේ විජාතිකත්වයට. ඇත්තෙන්ම සමහරුන්මේක කරන්නේ තමන්ගේ සමාජ තත්වය පෙන්නුම් කරන වැඩක් හැටියට.
දේශීය සුනඛයන්ට වැඩිය කෘත්‍රිමව අභිජනනය කරපු විදේශීය සුනඛයන්ට වැඩිපුර මොළේ තියෙනවා කියන කතාව මනඃකල්පිතයක් විතරයි. අද ලෝකයේ ජනප්‍රියතම සුනඛ විශේෂයක් වන ජර්මන් ෂෙපර්ඞ් සුනඛ විශේෂය හාම්පුතාට වඩාත් හීලෑ වෙන්නේ ආත්ම ශක්තිය අඩු හින්දයි. අඩුම තරමින් ඒ සතෙකුට තනියම පාරකට බහින්නවත් බැහැ. වලිගය පහතට කඩා වැටිලා පාර දෙපැත්ත ගැන හෝදිසියෙන් වට පිට බල බලා තමයි ඇවිදින්නෙත්. ඒකටත් එක්ක අපේ දේශීය සුනඛයෝ තනියම පාරේ සුදු ඉර පනින්න පවා දන්නවා. ඒ අය ඒක ඉගෙන ගන්නේ අන්තර්ක්‍රියාව Interaction කියන සාධකය යටතේ. ඒ වගේම
තමන්ගේ හාම්පුතුන්ට සුහද වීම වගේම ඒ අය එක්ක සහයෝගයෙන් වැඩ කිරීම සහ අවශ්‍ය වුණොත් ඒ අය වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පූජා කිරීමට දේශීය සුනඛයන් දක්වන කැපවීම ලෝකයේ වෙනත් කිසිම සුනඛ විශේෂයකට දෙවෙනි නොවෙන බවත් සහතිකවම කියන්න පුළුවන්.
ඒ හින්දා ඔබ මීළඟට සුනඛ පැටවෙකු තෝරා ගැනීමේ දී ගෙදරකින් මහ පාරට ගෙනත් දැමූ සුනඛ පැටවෙකු හෝ දෙමාපියන් ඒ ඉරණමට ලක් වුණු සුනඛ පැටවකු ගැන විශේෂ අවධානය යොමු කරන්න. ඊට පස්සේ පශු වෛද්‍යවරයෙකු ගේ සහායෙන් ඒ පැටවාට ජලභීතිකා, පාවෝ, ඩිස්ටෙම්පර් එන්නත් ලබා දීමටත් ඒ පැටවා ගැහැණු සතෙක් නම් බෝවීම පාලනය කිරීම සඳහා සුදුසු වයසේදී වන්ධ්‍යාකරණ සැත්කමකට ලක් කිරීමටත් ඔබට පුළුවන්. ඒ සමඟම හොඳින් මතක තියා ගන්න; ඔබ කාටහරි උදව් සියයක් කළොත් ඒ තැනැත්තාට ඉන් අනූනවයක් අමතක වෙන්න පුළුවන්. ඒත් ඔබ සුනඛයෙකුට එක උදව්වක් කළොත් ඒ සතා ඒ
උදව්ව සිය දහස් වාරයක් සිත පතුලේම රඳවා ගනිමින් ඔබට තමන්ගේ ජීවිතයට නොදෙවෙනි අන්දමින්ම ඔබට ආදරය කරන බව.
වෛද්‍ය නාමල් විජයසිංහ/ අහිංසා ශ්‍රී ලංකා මෙහෙයුම් අධ්‍යක්ෂ
හෘද රෝග විශේෂඥ