Saturday, January 18, 2025

දයාසිරි වයඹ පළාත් සභාව නොමග යවලා ! ( VIDEO )

Must read

nwp_2017_07_04_1

වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරනු ලැබූ පොල් ඉඩම් කට්ටි කිරීම පිළිබදව අතුරු ව්‍යවස්ථාව වෙනුවට වෙනත් අතුරු ව්‍යවස්ථාවක් ක‍්‍රියාත්මක කරමින් හිටපු ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් වයඹ සභාව පළාත් සභාව නොමග යවා ඇතැයිද, එමගින් මුඵ පළාත් සභාවම රවටා ඇතැයි විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා ඊයේ (04 දා ) වයඹ පළාත් සභා රැස්වීමේදී චෝදනා කළේය.

ඊයේ පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ගණනාවක් විසින් දයාසිරි ජයසේකර මහතාගේ ක‍්‍රියාකලාපය විවේචනය කරමින් අදහස් දැක්වූහ. පළාත් සභා රැස්වීමේ මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාවේදී අදහස් දැක් වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් හේරත් මහතා විසින් බිංගිරිය ප‍්‍රදේශයේ පොල් ඉඩමක් කට්ටි කිරීමක් පිළිබදව පළමුව අදහස් දැක්වීය. මන්ත‍්‍රීවරයාගේ එම ප‍්‍රකාශය පිළිබදව වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ප‍්‍රතිචාර දැක් වූ අතර, ඒ අතරතුරදී සිය අසුනෙන් නැගී සිටි වයඹ පළාත් සභා මන්ත‍්‍රී ඩී. බී. හේරත් මහතාද අදහස් දක්වන්නට විය. පොල් ඉඩම් කට්ටි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පැන නැගී ඇති ආන්දෝලනාත්මක තත්වය හමුවේ වයඹ පළාත් සභාව තුළ දැනට ක‍්‍රියාත්මකවෙමින් ඇති ඉඩම් කැබැලි කිරීමේ අතුරු ව්‍යවස්ථාව පිළිබදව පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා අධ්‍යයනය කර ඒ පිළිබදව නැවත සලකා බලන්නැයි ඩී. බී. හේරත් මහතා එහිදී ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඩී. බී. හේරත් මන්ත‍්‍රීවරයා වෙත ප‍්‍රතිචාර දැක් වූ වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අදාල යෝජනාව හොද එකක් නමුත් එම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ‘‘ ඕකට බකංනිලාගෙන අත ඉස්සුවේ තමුන්නාන්සේලාම තමයි ’’යැයි පැවසීමත් සමග සභාව උණුසුම් විය. එහිදී වේගවත් අයුරින් අදහස් දැක් වූ ඩී. බී. හේරත් මහතා පැවැසුවේ මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් ඇත්තේ සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් අත ඔසවා සම්මත කළ අතුරු ව්‍යවස්ථාව නොවන බවට තමන් වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන බවය. කෙසේවෙතත් මේ පිළිබදව දෙදෙනා විසින් දිගින් දිගටම අදහස් දක්වන්නටවීම හේතුවෙන් ඩී. බී. හේරත් මහතා සහ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති විය. එහිදී මුලසුනේ සිට අදහස් දැක් වූ ටිකිරි බණ්ඩා අධිකාරි සභාපතිවරයාද ප‍්‍රකාශ කළේ එදින තමන්ද අදාල අතුරු ව්‍යවස්ථාව සදහා ඡන්දය ලබාදුන් නමුත් අවසානයේදී මුද්‍රණය වූයේ සභාවට ඉදිරිපත් කළ අතුරු ව්‍යවස්ථාව නොවන බවය.

මෙහිදී අදහස් දැක් වූ විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා, හිටපු ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සභාව නොමග යවා ඇති බව පැවැසීය. හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා මුඵ සභාවම රවටා ඇති බවත් , ඩී. බී. හේරත් මහතා අද දිනයේදී ඒ බව ප‍්‍රකාශ කරන තෙක් තමන් ඒ පිළිබදව නොදැන සිටි බවද හෙතෙම පැවසීය. එහිදී නැගී සිටි වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක පෙරේරා මහතා, පළාත් සභාව විසින් සම්මත කල අතුරු ව්‍යවස්ථාව වෙනුවට වෙනත් ව්‍යවස්ථාවක් වසර කිහිපයක් තිස්සේ ක‍්‍රියාත්මක වෙමින් තිබියදී කුමක් කළේදැයි ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළේය. ප‍්‍රධාන අමාත්‍යවරයා සහ පළාත් සභා නිලධාරින් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටීම ලැජ්ජාවට කරුණක් බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

ඩී. බී. හේරත් මහතා සහ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අයුරු පහත වීඩියො දර්ශණවලින් දැක්වෙයි.

NWP_2017_07_04


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article