ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපති තනතුරු සංශෝධනය කරමින් ජනපති මෛත්‍රීගේ අස්සනින් යුතු ලිපි මාලාවක් පසුගිය සතියේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් විය. අපේ‍්‍රල් 29 වැනි දින දාතමින් නිකුත් කෙරුණු මෙම ලිපි මාලාව හරහා මෙතෙක් බලපැවැත්වෙමින් තිබූ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති තනතුරු උඩු යටිකුරු කර තිබේ. ඇතැම් ඇමැතිවරුන් සතුව පැවැති තනතුරු කප්පාදු කිරීම්, වෙනත් අයට පැවැරීම් මෙන්ම අලුත් සාමාජිකයින් වෙත තනතුරු පිරිනැමීම්ද මෙම ලිපි මාලාව හරහා සිදු වී තිබිණි. එබැවින් ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් එක්ව සිදුකළ බව කියන මෙම තනතුරු සංශෝධනය , ඇතැමුන්ගේ තටු කැපුණු මෙන්ම ඇතැමුන්ට තටු ලැබුණු සංශෝධනයක් ලෙස හැදින්වීමෙහි වරදක් නැත.
තටු කැපුණු අය මෙන්න !
මෙම සංශෝධනයට අනුව ඇමැති දයාසිරි ජයසේකර, ඇමැති ටී. බී. ඒකනායක , ඇමැති අනුර යාපා සහ නියෝජ්‍ය ඇමැති තාරනාත් බස්නායකට ඔවුන් විසින් දැරූ සම සභාපතිකම් ගණනාවකට පූර්ව දැනුම්දීමකින් තොරවම ආයුබෝවන් කියන්නට සිදු විය. ඒ අනුව ඇමැති දයාසිරි වෙත ලබා දී ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිකම්වලින් මේ වන විට ඔහුට ඉතිරිව ඇත්තේ බිංගිරිය සහ උඩුබද්දාව යන ප්‍රාදේශීය සංවර්ධන කමිටු දෙකෙහි සභාපතිකම් පමණි. දයාසිරි විසින් හොබවමින් සිටි පඩුවස්නුවර, පොල්ගහවෙල, වීරඹුගෙදර සහ රිදීගම යන ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපති තනතුරු මේ වන විට දයාසිරිගෙන් ඉවත්කර තිබේ. ඇමැති ටී. බී. විසින් හෙබ වූ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිකම් එකොළහෙන් මේ වන විට ටී. බී. ට ඉතිරි වී ඇත්තේ අඹන්පොල, පොල්පිතිගම, මහව යන සංවර්ධන කමිටු තුනෙහි සම සභාපති තනතුරු පමණි. ඒ අනුව ටී. බී. ට කොබෙයිගනේ, කොටවෙහෙර, රස්නායකපුර, නිකවැරටිය, බමුණාකොටුව, ගනේවත්ත, ඉබ්බාගමුව සහ මාවතගම යන ප්‍රාදේශීය සංවර්ධන කමිටු අටෙහි සම සභාපතිකම් අහිමි වී ගොස් තිබේ. තනතුරු කප්පාදුවට ලක් වූ අනෙක් ඇමැතිවරයා වන්නේ අනුර යාපාය. ඇමැති යාපා විසින් දරමින් සිටි පන්නල ප්‍රාදේශීය සංවර්ධන කමිටවේ සම සභාපතිකම හැරෙන්නට ඔහු විසින් දරමින් සිටි සෙසු සභාපතිකම් සියල්ලම එනම්, කුලියාපිටිය බටහිර, කුලියාපිටිය නැගෙනහිර, මල්ලවපිටිය, කුරුණෑගල, මාස්පොත, අලව්ව සහ නාරම්මල යන ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති තනතුරු සියල්ලම ඔහුගෙන් ඉවත්කර තිබේ. එහි අඩුව මකාදමන්නටදෝ දයාසිරිගෙන් ගැලැවූ පොල්ගහවෙල, වීරඹුගෙදර, රිදීගම යන ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපති තනතුර තුනක් සැනසිලි තෑගි ලෙස ඇමැති යාපාට පිරිනමා තිබේ. නියෝජ්‍ය ඇමැති තාරනාත් බස්නායකටද ඇහැටුවැව, ගල්ගමුව සහ ගිරිබාව යන ප්‍රාදේශීය සංවර්ධන කමිටු තුනේ සම සභාපතිකම්වලින් පමණක් හිතහදාන්නට සිදු වී ඇති අතර ඔහු විසින් දරමින් සිටි කටුපොත සහ වාරියපොළ යන ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිකම දන්දීමට සිදුවන තැනට පසුගිය සතියේදී වැඩකටයුතු සිදු වී තිබිණි.
තටු ලැබුණු අය මෙන්න !
මෙතෙක් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට පමණක් සීමා කර තිබූ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති තනතුරු නව සංශෝධනය හරහා පළාත් සභාව දක්වා ව්‍යාප්ත කරන්නට ජනපති මෛත්‍රි සහ අගමැති රනිල් විසින් කටයුතු කර ඇති බවක් පෙනෙයි. ඒ අනුව අදාළ සංශෝධනයෙන් පසුව වයඹ පළාත් සභාව නියෝජනය කරන මැති ඇමැතිවරුන් ගණනාවකට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිකම් හිමි වී තිබේ. මහ ඇමැති ධර්මසිරි දසනායක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන අතුල විජේසිංහ, කමල් ඉන්දිකට සහ නිලන්ත රාජපක්ෂටද ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති අසුන්වල වාඩිවීමට එම සංශෝධනය හරහා අවස්ථාව උදා කර දී තිබේ. ඊට අමතරව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති තනතුරු පිරිනැමීමේ පළමු වටයේදී ශ්රීලනිපය පැත්තෙන් සිදුව තිබූ අතපසුවීමක් නිවැරදි කරන්නටද මෙම සංශෝධනය හරහා වගබලාගෙන තිබිණි. පසුගිය වතාවේ සංවර්ධන කමිටු සභාපතිකම් පිරිනැමීමේදී කුමන හෝ හේතුවක් මත නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායකට කිසිදු අවස්ථාවක් හිමි වී නොතිබූ අතර ඉන්දිකගේ කණට ගසන්නාක් මෙන් ඉන්දික විසින් ආසන සංවිධායකත්වය උසුලන පඩුවස්නුවර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙහි සභාපතිකම පවා ලබා දී තිබුණේ ඇමැති දයාසිරිටය. තමාට සිදු වූ අසාධාරණය පිළිබදව නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක පසුගිය කාලය පුරාම හිත නොහොදින් පසු වූ අතර ඉන්දිකගේ බිදුණු හිත සුවපත් කරවමින් දයාසිරිගෙන් ඉවත් කළ පඩුවස්නුවර නැගෙනහිර සහ පඩුවස්නුවර බටහිර යන ප්‍රාදේශීය සංවර්ධන කමිටු දෙකේ සභාපතිකම් නියෝජ්‍ය ඇමැති ඉන්දික වෙත පිරිනමා තිබේ.
මෑතක සිට පරාජිතයින් පිළිබදව සානුකම්පිත හැගීමකින් යුතුව කටයුතු කරන බවක් පෙනෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගිය මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැද පරාජයට පත් වූ මෙන්ම දැනට මහජන නියෝජිතයින් ලෙස කටයුතු නොකරන කිහිපදෙනෙකුටද ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිකමේ දොර විවර කරදීමටද කාරුණික වී ඇති බවක් පෙනෙයි. ඒ හරහා පසුගිය මැතිවරණයේදී කුරුණෑගල ජනතාව විසින් ගෙදර යැවූ දඹදෙණියේ ශාන්ත බණ්ඩාරට සහ කුරුණෑගල ජයරත්න හේරත්ටද ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිකම් පිරිනමා තිබේ. එමෙන්ම දැනට කිසිදු මන්ත්‍රී ධූරයක් නොදරන වාරියපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ආනන්ද ජයලත්ටද සංවර්ධන කමිටු සභාපති තනතුරක් හිමි වී තිබේ. වයඹ මහඇමැති ධර්මසිරි දසනායක මාවතගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙසත්, මන්ත්‍රී අතුල විජේසිංහ කුලියාපිටිය බටහිර සහ කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසත්, මන්ත්‍රී කමල් ඉන්දික ගනේවත්ත සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසත්, මන්ත්‍රී නිලන්ත රාජපක්ෂ කොබෙයිගනේ, කොටවෙහෙර, රස්නායකපුර, සහ නිකවැරටිය යන ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසත් පළාත් සභාව පැත්තෙන් පත්වීම් ලබද්දී, ශාන්ත බණ්ඩාර අලව්ව සහ නාරම්මල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසටත්, ජයරත්න හේරත් මල්ලවපිටිය, කුරුණෑගල, මාස්පොත, ප්‍රාදේශීය සංවර්ධන කමිටු තුනෙහි සම සභාපතිවරයා ලෙසටත්, ආනන්ද ජයලත් වාරියපොළ සහ බමුණාකොටුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසටත් ජනපති මෛත්‍රීගේ නියමයෙන් පත්වීම් ලැබ සිටිති.
අජිත් – ජයරත්න ගැටුමෙන් පොල්ගහවෙලට හුළං !
ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපති තනතුරු සම්බන්ධයෙන් පසුගිය සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බල අරගලයක් දැකගත හැකි වූ නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් දැකගත හැකි වූයේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයකි. සම්මුතිවාදී ආණ්ඩු සංකල්පය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති තනතුරු පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් අතරේ කඩිනමින් බෙදා හැර තිබුණත් එජාපයට ලැබුණු සම සභාපති තනතුරු පත්කිරීමේදී එම පක්ෂය විසින් අනුගමනය කර තිබුණේ නිද්‍රාශීලි සහ මන්දගාමී පිළිවෙතකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් නොව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරුන් නම් කිරීමේ පළමු වටයේදීම පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට මෙන්ම පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ටද එජාපයෙන් අවස්ථාව ලබාදී තිබිණි. පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව තුළ එජාප නියෝජනයක් නොමැති ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපති තනතුරු නම් කිරීම පිළිබදව එජාපය සිටියේ නිහඩ පිළිවෙතකය. ඒ නිසාම නිකවැරටිය, ගනේවත්ත, ඉබ්බාගමුව, අඹන්පොල, පොල්පිතිගම සහ මහව වැනි ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල එජාප සම සභාපති තනතුර පසුගිය කාලය පුරාම දැක ගත හැකි වූයේ පුරප්පාඩු වූ ස්වභාවයකිනි. කෙසේ වෙතත් පසුගිය සතියේදී සිදුකෙරුණු නව සංශෝධනයත් සමග එජාප ආසන සංවිධායක තනතුරු දරණ පුද්ගලයින් සම සභාපති තනතුරුවලට පත්කිරීම හරහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල මෙතෙක් පැවැති පුරප්පාඩු පුරවා දමන්නට එජාපය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව කොබෙයිගනේ, කොටවෙහෙර, රස්නායකපුර, සහ නිකවැරටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙස නිකවැරටිය එජාප සංවිධායක එච්. බී. තෙන්නකෝන් පත්වීම් ලබද්දී, අඹන්පොල, පොල්පිතිගම, මහව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිනිය ලෙස යාපහුව එජාප සංවිධායිකා අචිනි ලොකුබණ්ඩා පත්වීම් ලබා තිබේ. හිරියාල එජාප සංවිධායක ජගත් මංජුල යාපා පත්වීම් ලබා සිටින්නේ ගනේවත්ත සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසටය. ඊට අමතරව ඇමැති අකිල විරාජ් කුලියාපිටිය බටහිර සහ කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසත්, ඇමැති ජයවික්‍රම පෙරේරා පන්නල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙසත්, ඇමැති එස්. බී. නාවින්න වාරියපොළ සහ බමුණාකොටුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසත්, නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ කුරුණෑගල සහ මාස්පොත ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මාවතගම සහ මල්ලවපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසත්, මන්ත්‍රී තුෂාර ඉ`දුනිල් පඩුවස්නුවර බටහිර සහ නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසත්, මන්ත්‍රී නලින් බණ්ඩාර උඩුබද්දාව සහ බිංගිරිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසත්, වයඹ පළාත් සභා මන්ත්‍රී මොහාන් පෙරේරා ඇහැටුවැව, ගල්ගමුව සහ ගිරිබාව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසත්, මන්ත්‍රී ශමල් සෙනරත් අලව්ව සහ නාරම්මල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙසට සහ මන්ත්‍රී එම්. එස්. පෙරේරා රිදීගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙසටත් පත්වීම් ලබා සිටිති. මෙම සංශෝධනයේ විශේෂත්වය වන්නේ පොල්ගහවෙල සහ වීරඹුගෙදර යන ප්‍රාදේශීය සංවර්ධන කමිටු දෙකෙහි සම සභාපති තනතුර සදහා එජාපය පැත්තෙන් කිසිවෙකුත් නම් කර නොමැතිවීමය. පොල්ගහවෙල එජාප සම සංවිධායකවරුන් වන අජිත් රෝහණ සහ එච්. එම්. ජයරත්න දෙපළ අතර ඇති නයි මුගටි විරසකය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිකම හිස්ව තබන්නට හේතුවන්නට බොහෝදුරට ඉඩකඩ තිබේ.
ටී. බී. යි – මහින්දයි යාපහුවේදී දෙවරක් මුණගැසෙති.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සති අන්තය ගත කළේ කුරුණෑගලය. සෙනසුරාදා ඉබ්බාගමුව, පාන්ගොල්ලේ පැවැති ජන හමුවකට එක් වූ මහින්ද ඉරිදා ගල්ගමුවේ පැවැති ජනහමුවකට සහභාගි විය. ඉබ්බාගමුවේ පැවැති ජනහමුව සාලින්ද ආසන සංවිධායකකමින් ඉවත් කිරීමේ සිදුවීමට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමේ මුහුණුවරකින් සැලසුම් කර තිබූ එකකි. ජනතාව ඒකරාශි කර සාලින්දගේ නෙරපා හැරීමට පිළිබදව විරෝධය පළකළ යුතු බව කී මන්ත්‍රී ජොන්ස්ටන් විසින් සාලින්දගේ හිතවතුන් සමග එක් වී මෙම රැස්වීමේ මූලික කටයුතු සංවිධානය කර තිබුණේ සාලින්ද ජපානයේ සිටියදීමය. පසුව දිවයිනට පැමිණි සාලින්ද සමග එක්ව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් උඩුකුඹුර ඇතුලූ පිරිසක් විසින් රැස්වීම සාර්ථක කරගැනීම සදහා සෑහෙන බරක් අදිනු ලැබූහ. රැස්වීමට සැලකිය යුතු ජනතා සහභාගිත්වයක් ලැබී තිබූ අතර හිරියාල ආසන සංවිධායක තනතුරින් ඉවත් කෙරුණු සාලින්ද සමග ඉදිරියේදීත් දේශපාලන කටයුතුවල නියැලෙන බවටත්, නව ආසන සංවිධායකවරයා ලෙස පත්කළ වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකගේ පත්වීම පිළිනොගන්නා බවටත් ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සියලූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි හිටපු සභාපති සුමිත් උඩුකුඹුර විසින් මෙම රැස්වීමේදී ප්‍රකාශයක් කළ අතර රැස්වීමේ සිටි ජනතාව විසින්ද අත් ඔසවා එය අනුමත කළහ. ඉබ්බාගමුවේ රැස්වීම අවසන් කළ මහින්ද මළ ගෙවල් කිහිපයකට ගොඩවැදී එදින පස්වරුව වන විට යාපහුවට පැමිණියේය. පසුදින ගල්ගමුවේ රැස්වීමට සහභාගිවීමට තිබූ නිසා මහින්දට එදින රාත්‍රි නවාතැන් සූදානම් කර තිබුණේ යාපහුව පැරඩයිස් හෝටලයේය. එදින රාත්‍රියේ පොල්පිතිගම සහ මහව ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් සහ යාපහුව ආසනය නියෝජනය කරන වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක්ද එම හෝටලයේදීම සූදානම් කර තිබිණි. මහින්දට අමතරව සාලින්ද සහ ජොන්ස්ටන් දෙදෙනාද සාකච්ඡාවට වාඩි වී සිටියහ. සාකච්ඡාව ආරම්භවීමට සූදානම් වනවාත් සමගම ශාලාවට ඇතුලු වූ පුද්ගලයෙකු දැකීමෙන් සාකච්ඡාවේ සිටි පිරිස උඩ බිම බලන්නට වූහ. සාකච්ඡාවට පැමිණ සිටියේ ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායකය. මහින්ද සිනාවක් පා ටී. බී. පිළිගත් අතර මහින්දගේ ඉරියව්වලින් පෙණුනේ ටී. බී.ගේ පැමිණීම පිළිබදව කලින් දැන සිටි බවකි. නමුත් සාකච්ඡාවේ වාඩි වී සිටි මන්ත්‍රී සාලින්ද ඇතුලු වැඩිදෙනෙකුට ටී. බී. ගේ පැමිණීම අනපේක්ෂිත සිදුවීමක් වී තිබූ බැවින් තුෂ්නිම්භූත වී සිටිනු දැකගත හැකි විය. ‘‘දැන් ඉතිං ඔය ආව එකේ මෙයාව දිගටම මේ පැත්තේ තියාගමු නේද ? ’’යැයි මහින්ද ඇසුවේ පිරිස ප්‍රකෘති තත්වයට පත්කරවමිනි. සාකච්ඡාවේදී ටී. බී.ටද අදහස් දක්වන්නට අවස්ථාවක් ලැබිණි. තරමක වේලාවක් ගෙන සිය දේශපාලන ඉතිහාසයේ සිටම කෙටියෙන් විස්තර කළ ටී. බී. තමන් විසින් ගත් දේශපාලනික තීන්දු තිරණ ගැනද පැහැදිලි කළේය. කෙසේවෙතත් ටී. බී. විසින් කළ කතාවෙන් ඇගවුණේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබදව කලකිරීමෙන් සිටින බවත් යම් දේශපාලනික තීන්දුවක් ගැනීම සදහා අවස්ථාවක් උදාවන තුරු කල්බලමින් සිටිනා බවකි. සාකච්ඡාව අවසන් කළ මහින්ද පුංචි මන්ත්‍රීවරුන්ට සමු දී එතැනින් නැගිට ජොන්ස්ටන්, සාලින්ද සහ ටී. බී සමග වෙනත් ස්ථානයකට ගොස් අට කන් මන්ත්‍රණයක් සදහා මුල පිරුවේය. යාපහුව පැරඩයිස් හෝටලයේ එක්තරා ස්ථානයක සැලකිය යුතු කාලවේලාවක් තිස්සේ පැවැති අට කන් මන්ත්‍රණය අවසානයේදී මහින්දට සමුදුන් ජොන්ස්ටන්, සාලින්ද සහ ටී. බී හෝටලයෙන් පිට වී යන විට මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබිණි. පසුදින උදෑසන යළිත් වරක් යාපහුව පැරඩයිස් හෝටලය වෙත පැමිණි ටී. බී. මහින්දගේ උදෑසන ආහාර පාන පිළිබදව විමසා බැලූ අතර මහින්ද ගල්ගමුවේ රැුස්වීමට යන්නට හෝටලයෙන් එළියට බැස්සේ ටී. බී. සමග යළිත් වරක් සතරකන් මන්ත්රණයකද යෙදීමෙන් අනතුරුවය.
උපුටාගැනීම – මව්බිම පුවත්පත , 2016 මැයි 12 වැනි බ්‍රහස්පතින්දා