Sunday, January 19, 2025

තේ කෝප්පයක් උදෙසා සටනක් පාවාදීමේ හොරිකඩ වෑයම වතුරේ යයි.

Must read

alu_yata_ gini_march_17_3

රටෙත් නැති වෙලාවේ සාලින්දගේ සංවිධායකකමට තට්ටු වූ හැටි.

පසුගිය සතියේදී වයඹ දේශපාලනය රත් කළ මාතෘකාව වූයේ හිරියාල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායකධූරය දරමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක එම තනතුරින් ඉවත් කිරීමය. සාලින්ද වෙනුවට හිරියාල නව සංවිධායකවරයා ලෙස පත්කෙරුණු වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික ජනපති මෛත‍්‍රීපාල සිරිසේන අතින් පසුගිය සිකුරාදා පෙරවරුවේ පත්වීම් ලබාගත්තේය. ඒ අනුව වසර 22 කට වැඩි කාලයක් සාලින්ද විසින් දැරූ හිරියාල මැතිවරණ කොට්ඨාශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක තනතුරට ආයුබෝවන් කියන තැනට පසුගිය සිකුරාදාට එළිය වැටෙද්දී ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය පැත්තෙන් වැඩ කටයුතු සිද්ධ වී තිබිණි. ආසන සංවිධායක තනතුරට තට්ටුවීම පිළිබදව හාන්කවිසියක් හෝ නොදැන සිටි සාලින්ද ඒ වන විට ලංකාව තුළ රැදී නොසිටීමද විශේෂත්වයක් විය. පසුගිය 25 වැනිදා පුද්ගලික කටයුත්තක් සදහා දිවයිනෙන් පිටත් වී ගිය සාලින්ද ඒ වන විට සිටියේ ජපානයේ සංචාරය කරමිනි. සාලින්ද සිය සංචාරය සැලසුම් කරගෙන තිබුණේ මැයි පළමුවැනිදා ආපසු දිවයිනට පැමිණීමටය. ඒ නිසාම සංවිධායක තනතුරින් ඉවත් කිරීමේ ආරංචිය සාලින්ද වෙත දුරකථන මාර්ග ඔස්සේ දැනුම්දීමට ඔහුගේ හිතවතුන් විසින් වහා වහා කටයුතු කළහ.

පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දිකගේ නව පත්වීමත් සමග සාලින්ද හිතවතුන් කඩිගුලක් සේ ඇවිස්සී යද්දී තවත් එක්තරා පිරිසක් කලබලයට පත් වී සිටියහ. ඒ අලුත් පරපුර නියෝජනය කරන කලාකරුවන්ය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත‍්‍රිට සහය පළකරමින් කුඹුක්ගැටේ නගරයේදී ප‍්‍රසංගයක් පවත්වමින් සිටි අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට ඇගිල්ල දිගු වූයේ මන්ත‍්‍රී කමල් ඉන්දිකටය. ඒ සම්බන්ධ නඩුවක්ද මේ වන විට කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතී. කමල් ඉන්දිකගේ නව පත්කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකිරීම සදහා අඵත් පරපුර විසින් පසුගිය සෙනසුරාදා කොළඹදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබූ අතර ඊට කුඹුක්ගැටේදී ප‍්‍රහාරයට ලක් වූ ලක්ෂ්මන් විජේසේකර, සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ ඇතුලු කලාකරුවන් පිරිසක් වාඩි වී සිටියහ. එහිදී අදහස් දැක් වූ අලුත් පරපුරේ කලාකරුවන් සියලු දෙනා පාහේ කමල් ඉන්දිකගේ නව පත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනපති මෛත‍්‍රි වෙත සිය බලවත් අප‍්‍රසාදය පළ කරන්නට වගබලා ගත්හ.

‘‘අවුරුදු හතළිහක් පුරා පක්ෂයට කඹුරපු මට මෙහෙම කරන එක හරිද ? ’’

සාලින්දගේ ආසන සංවිධායකම අහිමි වී පැය කිහිපයකට පසුව විදෙස් රටක දුරකථන අංකයකින් ‘අඵ යට ගිනි ’වෙත ඇමැතුමක් ලැබිණි. ‘‘මම සාලින්ද දිසානායක. ජපානයේ ඉදලා කතාකරන්නේ. ’’ඇමැතුමින් කියැවිණි. තමන් හිරියාල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ධූරයෙන් ඉවත්කිරීම පිළිබදව පළමුවරට ජනමාධ්‍යක් වෙත අදහස් දක්වන්නට වූ සාලින්ද සිය අතීත දේශපාලනයද සිහිපත් කරමින් ‘අඵ යට ගිනි ’වෙත බොහෝ දේ හෙළිකළේය. ‘‘විනයක් තියෙන පක්ෂයක සංවිධායකමක් අයින් කරනකොට කිසියම් පිළිවෙතක් තියෙනවා. ඒ පිළිවෙත අනුගමනය කරන්න ඕනෑ. චෝදනා පත‍්‍රයක් දෙන්න ඕනෑ. උඹ මේ වැරැද්ද කරලා තියෙනවා කියලා කියන්න ඕනෑ. ඒ ගැන විමසීමක් කරන්න ඕනෑ. ඒ කිසිම දෙයක් නැතිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යටතේ පක්ෂය අද වෙනකොට ඉතාම කණගාටුදායක අඩියකට වැටිලා තියෙන බව මේ සිදුවීමෙන් පේනවා. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණේ ඉතාම අවිචාරවත් සහ අශෝභන විදිහටයි. නීතිවිරෝධී විදිහට බලහත්කාරය පාවිච්චි කරලා තමයි ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත්වෙන්නේ. එහෙම සභාපති කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද අපි වගේ පක්ෂය ගොඩනගපු මිනිස්සුන්ට මෙහෙම කරන්න ? මගේ දේශපාලන ජීවිතයට අවුරුදු හතළිහයි. මේ අවුරුදු හතළිහ පුරාම මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කඹුරලා තියෙනවා. මම පක්ෂය නිසා තුන් පාරක් හිරේ විලංගුවේ වැටිලා තියෙනවා. මේ පක්ෂයේ දේශපාලනය කිරීම නිසා මගේ අම්මගේ ගේ ජේවීපී එකෙන් ගිනි තිබ්බා. අප්පච්චිගේ ගෙට පොලිසියෙන් ගිනි තිබ්බා. එහෙම ගමනක් ආපු මාව නීත්‍යානුකූල පදනමක් නැතිව සංවිධායකමෙන් අයින් කරලා දාන්න කිසිම අයිතියක් නැහැ. සංවිධායකකමක් නැති කළා කළා කියලා මගේ අවුරුදු හතලික දේශපාලනය යට කරන්න කොහේවත් ඔය වගේ මෝඩ කට්ටියට කොහෙත්ම බෑ. ඒ කට්ටිය හිතනවා නම් මෙහෙම කරලා මට රිදවන්න පුලූවන් කියලා එහෙම රිදෙන එකෙක් නෙවෙයි සාලින්ද කියන්නේ. අනික කාටද දැන් හිරියාලේ සංවිධායකකම දීලා තියෙන්නේ ? කරුණාකරලා ඔහු කොහොම කෙනෙක්ද කියලා හොයලා බලන්න. කලාකරුවන්ට පහර දුන්නේ එයා තමයි. මේ වගේ දේවල්වලින් නොසැලී මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කිට්ටුවෙලා ඉන්න මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දමනතුරු මගේ සටන ගෙනියනවා කියන එක කියන්න මම කැමැතියි. මම ලංකාවට ආවට පස්සේ සංවිධායක තනතුරින් ඉවත්කිරීම පිළිබදව නීති උපදෙස් ගන්නත් බලාපොරොත්තු වෙනවා. ’’සාලින්ද කීය.

තේ කෝප්පයක් උදෙසා සටනක් පාවාදීමේ හොරිකඩ වෑයම වතුරේ යයි.

‘අඵ යට ගිනි ’විශේෂාංගය ආරම්භ කර මේ වන විට වසර එකහමාරකට වැඩි කාලයක් ගත වී ඇතත් දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධ සිදුවීම් හැර මාධ්‍යවේදීන් පිළිබදව හෝ මාධ්‍ය ක‍්‍රියාකාරකම් පිළිබදව වචනයක් හෝ ලියුම්කරු විසින් මේ වන තෙක් ලියා නැත. වයඹ පළාත මුල්කරගෙන රාළලා, නිළමෙලා සහ අප්පුලාගේ නමින් පුවත්පත් විශේෂාංග ලියමින් ඉන්නා ඇතැමුන් සිය පුද්ගලික කෝන්තර පිරිමසාගැනීම උදෙසා සෙසු සහෝදර මාධ්‍යවේදීන් තම කොලම හරහා අපහාසයට, උපහාසට ලක්කරමින් සිටින පසුබිමක පවා අඵ යට ගිනි පිටුවේ වැඩි ඉඩක් වෙන්වූයේ මාධ්‍යවේදීන්ගේ වෘත්තිය ගරුත්වය උදෙසා දියත් වූ සටන් වෙනුවෙනි. නමුත් ‘අඵ යට ගිනි ’විසින් වසර එකහමාරක් තිස්සේ පවත්වාගෙන මාධ්‍යවේදීන් විවේචනය නොකිරීමේ ගරු කටයුතු පිළිවෙත යළි සලකා බලන්නට සිදුවන ආකාරයේ අවස්ථාවක් පසුගිය අගහරුවාදා දිනයේදී උදා විය. මක් නිසාද යත් සිය ආත්ම ගරුත්වයත් , වෘත්තිය ගරුත්වයත් රැකගැනීම උදෙසා වයඹ මාධ්‍යවේදීන් මාස දෙකක් තිස්සේ බරපතල අරගලයක යෙදී සිටියදී මාධ්‍යවේදීන් යැයි කියාගත් තවත් පිරිසක් හරහා එම සටන පාවාදීමේ හොරිකඩ උත්සාහයක් පසුගිය අගහරුවාදා දිනයේදී ක‍්‍රියාත්මක වූ බැවිනි.

වයඹ පළාත් සභාව සහ මාධ්‍යවේදීන් අතර හටගෙන ඇති අර්බුදකාරී තත්වය සමථයකට පත්කිරීමේ අරමුණින් මහ ඇමැති ධර්මසිරි දසනායක සහ වයඹ පළාත් සභා රැස්වීම් වාර්තා කිරීමේ නියුතු මාධ්‍යවේදීන් අතර අපේ‍්‍රල් 11 වැනිදා පැවැති සාකච්ඡාව අවසන් වූයේ සභාපති ටිකිරි බණ්ඩා මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කළ අවමන් සහගත ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට මහ ඇමැති ධර්මසිරි මැදිහත් වන බවට දුන් පොරොන්දුවත් සමගය. එම ඉල්ලා අස්කරගැනීමෙන් අනතුරුව වයඹ පළාත් සභාව වාර්තාකිරීම සදහා නැවත පැමිණෙන බවට මාධ්‍යවේදීන් එහිදී එකග වූහ. එම සාකච්ඡාවෙන් පසුව එළැඹුණු අපේ‍්‍රල් 19 වැනිදාත් පළාත් සභා රැස්වීමක් පැවැත්වුණු නමුත් සභාපති ටිකිරි බණ්ඩා විසින් අදාළ ප‍්‍රකාශය ගැන කිසිදු සදහනක් නොකරම සභා රැස්වීම අවසන් වී තිබිණි. එසේ තිබියදී සභා ලේකම්වරියගේ නිල මුද්‍රාව සහිතව පසුගිය අගහරුවාදා පැවැත්වෙන පළාත් සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රය මාධ්‍යවේදීන් තැපෑලෙන් වෙත එවා තිබිණි. එම න්‍යාය පත‍්‍රයෙහි පවා අදාල ප‍්‍රකාශය ඉල්ලා අස්කරගැනීම පිළිබදව වචනයක් හෝ සටහන් වී නොතිබීම නිසා මාධ්‍යවේදීන් තීරණය කළේ සුපුරුදු පරිදිම එම පළාත් සභා රැස්වීමත් වර්ජනය කිරීමටය. නමුත් අගහරුවාදා උදෑසන වන විට මාධ්‍යවේදීන් වෙත ලැබුණු ඇමැතුම්වලින් කියැවුණේ තවත් මාධ්‍යවේදීන් පිරිසක් පළාත් සභා රැස්වීමට පැමිණ සිටින බවකි. ඒ පිළිබදව පළාත් සභාව පැත්තෙන් විමසා බැලූ මාධ්‍යවේදීන්ට තහවුරු කරගත හැකි වූයේ රජයේ පුවත්පතක් නියෝජනය කරන වාර්තාකරුවන් තිදෙනෙකු සහ තවත් රූපවාහිනී වාර්තාකරුවන් දෙදෙනෙකු පළාත් සභා රැුස්වීම වාර්තා කිරීමට පැමිණ සිටින බවකි. ඒ ආරංචියත් සමගම පළාත් සභාව වෙත ගිය වර්ජනයේ නියුතු මාධ්‍යවේදීන්ට ඒ වන විට විපක්ෂ නායක කාර්යාලයේ කාමරයට රිංගාගෙන පළාත් සභාවෙන් ලබා දී තිබූ ෂෝටීස් සහ තේ ගිල දමමින් සිටි අදාළ වාර්තාකරුවන් පිරිස අතටම අල්ලා ගැනීමට හැකි විය. මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය හමුවේවත් අත තිබූ ෂෝටීස් හෝ තේ කෝප්ප මොහොතකට පවා බිම නොතැබූ පිරිස ඒවා ගිලදමමින්ම කියන්නට වූයේ තමන්ට අද දිනයේ පළාත් සභාවට නොඑන්නැයි කවුරුන් හෝ නිල වශයෙන් දැනුම්දීමක් නොකළ බවය. කාලකන්නි යැයි අවමන් කර දොට්ට දැමූ පළාත් සභාවකට නොයන්නැයි කියා කවුරුන් හෝ බුලත් දීමට අවශ්‍ය නැති බවත්, කොන්දක් සහ විලි ලැජ්ජාවක් ඇති මාධ්‍යවේදියෙකු නම් අදාළ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා තෙක් පළාත් සභාවේ පස් නොපෑගීම කළ යුතු බවත් සටනේ නියුතු මාධ්‍යවේදීන් විසින් ඔවුන් වෙත පිළිතුරු සපයමින් ලුණු ඇඹුල් සහිතවම විස්තර කළහ. ෂෝටීස් පිරුණු කටවල් යළි විවර කළ ‘තේ බොන්නෝ’එවර කීවේ සභාපති ටිකිරි බණ්ඩා විසින් එදින රැස්වීමේදී මාධ්‍යවේදීන්ට සභාවට එන්නට අවසරය ලබාදුන් බවත්, මාධ්‍යවේදීන් වෙත කණගාටුව පළකළ බවත්, එය වාර්තා කිරීමට තමන් පැමිණි බවත්ය. වයඹ පළාත් සභාව වාර්තා කිරීමේ නියුතු මාධ්‍යවේදීන් මාස දෙකක් තිස්සේ පළාත් සභාවට එරෙහි දැවැන්ත සටනකට පණ පෙවූයේ ටිකිරි බණ්ඩා විසින් තමන්ට කළ අපහාසාත්මක ප‍්‍රකාශයට එරෙහිව වන අතර දෙදණින් වැටී පළාත් සභාව වාර්තා කිරීමේ අවසර ලබාගැනීමේ කිසිදු අරමුණක් එහි නොවීය. පසුගිය මාස දෙක පුරාම මාධ්‍යවේදීන් පළාත් සභාව පිළිබදව අනුගමනය කළේ එක වරක් අප එපා නම් සිය දහස් වාරයක් තොපි එපා යන මතයයි. එමෙන්ම මාධ්‍යවේදීන්ගේ සටනේ ප‍්‍රකාශිත අරමුණ වූයේද ටිකිරි බණ්ඩාගේ සංකර මුවින් පිට වූ එම අපහාසාත්මක ප‍්‍රකාශය ඉල්ලා අස්කරගැනීමට කටයුතු සැලැස්වීමය. මහ ඇමැති ධර්මසිරි සමග පැවැති සාකච්ඡාවේදීත් මාධ්‍යවේදීන්ගේ පාර්ශ්වයෙන් අවධාරණය කරනු ලැබුවේද එම යෝජනාවය. මාධ්‍යවේදීන් වෙත හොර පාරෙන් න්‍යාය පත‍්‍ර යවමින්, වාර්තාකිරීමට පනවා තිබූ තහංචි ඉවත් කළ බව කියමින් මෙන්ම තේ කෝප්පකාරයින් සභාවට කැදවා ෂෝටීස් ගිල්වමින් සැබෑ ගැටලුව විසදීම වෙනුවට එහි සීනි තවරමින් ඉන්නා වයඹ පළාත් සභාව පැත්තෙන් මෙතෙක් ඉටුනොවුනේත් මාධ්‍යවේදීන් ඉල්ලා සිටින එකී සැබෑ ඉල්ලීමය. එබැවින් මේ ලියන මොහොත දක්වාම ඉල්ලා අස්කරගැනීමක් සිදු වී නැති සභාපති ටිකිරි බණ්ඩාගේ ‘කාලකන්නි’ප‍්‍රකාශය තවමත් සැලකිය හැක්කේ සක‍්‍රිය සහ වලංගු මට්ටමේ පවතින ප‍්‍රකාශයක් ලෙසය. එබැවින් මාධ්‍යවේදීන් කිසිවිටෙකත් ඉල්ලා නොසිටි කණගාටුව පළකිරීම මෙන්ම සභාව වාර්තා කිරිමට අවසර ලබාදීම වැනි කැරට් ගිල්වමින් පළාත් සභාව දැන් මහන්සිවෙමින් සිටින බවක් පෙනෙන්නේ ටිකිරි බණ්ඩාගේ ප‍්‍රකාශය තවදුරටත් රැකගැනීම වෙනුවෙන් බව පෙනෙයි. පළාත් සභාවෙන් ලැබෙන තේ කෝප්පය වෙනුවෙන් තම ආත්මයත්, වෘත්තියත්, සහෝදර සගයින්ගේ සටනත් පාවාදුන් මාධ්‍ය හොරිකඩයින්ට ඉතිරි ෂෝටීස් ටිකත් ගිල දැමීමට හෝ මලුවල දමාගෙන ගෙදර ගෙනයන්නට ඉඩ හැර සටනේ නියුතු සැබෑ මාධ්‍යවේදීන් පළාත් සභාවෙන් නික්මී ගියහ. පළාත් සභාවෙන් නික්මුණු එම පිරිස කොළඹ පිහිටි මාධ්‍ය ආයතනවල කතුවරුන් සහ ප‍්‍රවෘත්ති කර්තෘවරුන් අමතමින් තම සටන පාවාදීමේ වෑයම පිළිබදව අකුරක් නෑර විස්තර කළහ. මාධ්‍යවේදීන් විසින් අපේක්ෂා කළ පරිදිම පළාත් සභාවේ තේ කෝප්පයට වහවැටුණු හොරිකඩයින් විසින් සභාපති ටිකිරි බණ්ඩා මාධ්‍යයෙන් සමාව ගත් බවටත්, මාධ්‍ය සටන අවසන් බවටත් කියමින් නිර්මාණය කර තිබූ අතේ රෝල් ප‍්‍රවෘත්ති ගණනාවක් ඒ වනවිට කොළඹ පිහිටි පත්තර කන්තෝරුවලට යවා තිබිණි. සැබෑ මාධ්‍යවේදීන් විසින් කළ පැහැදිලි කිරීම් හරහා ඔවුන්ගේ සටන පිළිබද නිවැරදි වැටහීමක් ඇති කර ගත් බොහෝ පුවත්පත් කතුවරුන් හොරිකඩයින් විසින් එවා තිබූ අතේ රෝල් ප‍්‍රවෘත්ති කුණු කූඩයට දමා තිබූ අතර එහි ප‍්‍රතිපලයක් ලෙස එකදු ජනමාධ්‍යයක හෝ අගහරුවාදා පළාත් සභා රැස්වීමේ කියුම් කෙරුම් පිළිබදව වචනයක් හෝ වාර්තා වී නොතිබිණි. පිට කොදු ඇති මාධ්‍යවේදීන් පිරිසක් විසින් සිය වෘත්තිමය ගරුත්වය උදෙසා ගෙන යන දින හැට ගණනක අභිමානවත් සටනක්, පිට කොදු පමණක් නොව ඇදිවත පවා අහිමි හොරිකඩ රැළක් විසින් තේ කෝප්පයක් වෙනුවෙන් පාවා දෙන්නට ගත් නිර්ලජ්ජිත උත්සාහයක් පරාජය කෙරුණේ එලෙසිනි.

දඹදෙණියේ දෙපැත්තෙන්ම සද්දේ විතරයි .

වයඹ පළාත් සභා මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂ විසින් දඹදෙණිය ශ‍්‍රීලනිප සංවිධායක ශාන්ත බණ්ඩාරට ප‍්‍රසිද්ධියේ අභියෝග කළ ආකාරය හෙළිකළ පසුගිය සතියේ ‘අඵ යට ගිනි ’පිටුවට උණුසුම් ප‍්‍රතිචාර ලැබී තිබිණි. එහිදී මන්ත‍්‍රී සුමිත් විසින් ශාන්ත බණ්ඩාරට අභියෝග කළේ දඹදෙණිය ආසනයේ තරුණයින් පනහක් ගාල්ලට ගෙනගියහොත් තමන් තරුණයින් තුන්දාහක් කිරුළපනට අරන් යන බවටය. එලෙසම ශාන්ත බණ්ඩාරට නැවත අභියෝග කළ සුමිත් කීවේ දඹදෙණිය ආසනයේ සංවිධායකවරයා ලෙස බස් පහක් ගාල්ලට අරන් ගියහොත් තමන් කිරුළපනට බස් විස්සක් අරන් යන බවටය. මැයි පළවෙනිදා උදෑසන අලව්වේ ප‍්‍රාදේශිය සභා ක‍්‍රීඩාංගණයට කණ්ඩායම් දෙක එකතු වී පිරිස් බලය මැනගත හැකි බවද සුමිත් එදා කීවේය. සුමිත්ගේ අභියෝගය භාරගන්නට ශාන්ත බණ්ඩාර ඉදිරිපත් වූ නොවූ නමුත් ‘අඵ යට ගිනි ’පිටුවෙන් ලබා දී තිබූ ප‍්‍රසිද්ධිය නිසාම මැයි පළමුවැනිදාට දඹදෙණියෙන් වැඩි සෙනගක් මැයි රැළියට ගෙනියන්නේ කවුදැයි සෙවීමට බොහෝදෙනෙකු උනන්දු වූ බව පෙණිනි. ඒ නිසාම මැයි දිනය සැමරුම සදහා දඹදෙණියේ දෙපාර්ශ්වය විසින් එකතු කරගෙන තිබූ පිරිස පිළිබදව ‘අඵ යට ගිනි ’ඡායාරූප සහ සංඛ්‍යාලේඛණ සහිතව නිරීක්ෂණය කළ එහිදී දැකගත හැකි වූයේ අතර පාරම් බෑ තරමේ සෙනගක් එකතුකරගන්නට දෙපිළම අසමත් වී තිබූ බවය. ශාන්ත බණ්ඩාර විසින් තුන්දහසක පිරිසක් ගාල්ලට ගෙනයාමට අපේක්ෂා කළ නමුත් ‘අඵ යට ගිනි ’වෙත ලැබී ඇති අත්සන් ලේඛණවලට අනුව ශාන්ත බණ්ඩාර විසින් ගාල්ලට ගෙන ගොස් තිබුණේ හත්සියයකට ආසන්න පිරිසකි. බස් විස්සක් කිරුළපනට ගෙනියනවා යැයි අභියෝග කළ සුමිත් රාජපක්ෂ ඇතුලූ දඹදෙණියේ මහින්ද පාර්ශ්වයට එම රැළියට ගෙනයාමට හැකි වී තිබුණේ බස් රථ පහක සෙනග පමණි. සුමිත්ට වඩා වැඩි පිරිසක් මැයි රැළියට එකතු කරගන්නට ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන ඩී. එම්. සුමනදාස, මංජුල පොල්ගම්පල සහ මන්ත‍්‍රී වීරක්කොඩි සමත් වී තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article