1967 වර්ෂයේ ආරම්භ කරන ලද පුත්තලම තබ්බෝව ගොවි ජනපදයේ ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කෘෂිකර්මාන්තයයි. මීට අමතරව මෙම ජනපදයේ වැසියන් පොල් සහ අතුරුභෝග වගාවන් සිදුකරන අතර, තවත් පිරිසක් ධීවර කර්මාන්තය වැනි සුළු රැකියාවලද යෙදෙන බව කියයි.
මෙම ගොවි ජනපදයේ ආරම්භයේ සිටම මේ දක්වා මෙහි ජීවත් වන වැසියන් මුහුණදී ඇති ප්‍රධානතම ගැටළුව බවට පත්ව ඇත්තේ වන අලින් ගම්වැදීමයි. මෙම වල් අලි ගම් වැදීම හේතුවෙන් තේවනුවර ගොවි ගම්මානයේ වැසියන් බහුලව මෙම අලි මිනිස් ගැටුමට මුහුණ දෙන බව ඔවුන් පවසති.
පවතින අධික වර්ෂාවත් සමග තබ්බෝව ගොවිජනපදයට අයත් තේවනුවර ඇතුළු ගම්මාන රැසකට මේ දිනවල කඩා වදින වල් අලි රංචුවක් තේවනුවර ගම්මානය මාධ්‍යයේ වන සංරක්ෂණ දෙපාර්තතුමේන්තුව විසින් වෙන්කර ඇති රක්ෂිතයට ඇතුළුවීමෙන් පසු රාත්‍රි කාලයේ වගා බිම් වෙත ඇදෙන වල් අලි සිය වගා බිම් මුළුමනින්ම විනාශ කර දමන බවට ගොවි ජනතාව මැසිවිලි නගති.
තබ්බෝව ගොවි ජනපදයට අයත් නෙල්ලි වැව, මහකෝන්වැව, පාවට්ටාමඩුව, තේවනුවර, ප්‍රදීපාගම, මයිලන්කුලම යන ගම්මාන රැසක ජනතාව වන අලියන් ගම්වැදීම හේතුවෙන් මහත් පීඩාවට පත්ව ඇති බව කියති.
තේවනුවර ගොවි ගම්මානයේ ගොවි පවුල් 320ක් ජීවත් වන අතර, මෙම ගම්මානය මැද කොටස අක්කර 50ක වපසරියකින් යුත්ත වන අතර, එම භූමි භාගය එළි පෙහෙලි කිරීම් සිදු කර අනවසරෙන් පවුල් 50ක් පමණ පදිංචිව සිටින බව කියයි. ඔවුන්ටද නීතියානුකූල ඔප්පු මේ වන තෙක් රජයෙන් නිකුත් නොකර තිබීම බරපතල ගැටළු සහගත තත්ත්වයකි. එයට හේතුව ලෙස ගොවියන් පෙන්වා දෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් පදිංචි ඉඩම් කොටස් රක්ෂිතයක් ලෙස රජයට පවරා ගෙන ඇති බවයි.
ඊට අමතරව තවත් පිරිසකට මෙම භූමි භාගයේ අක්කර 15ක් සදහා නීතියානුකූල ඔප්පු තිබුණද එම පුද්ගලයින්ට මෙම භූමි භාගයේ වගා කටයුතු අවහිර කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන රක්ෂිතයක් ලෙස එම කොටස වෙන් කර තිබෙන බව කියයි.
එලෙස අදාල භූමිය වන රක්ෂිතයක් ලෙස නම් කලද පවුල් 10ක් පමණ එම රක්ෂිතය තුලද පදිංචිව සිටින අතර, ඔවුන් හේන් ගොවිතැනේද නියැලෙන බව කියති.
මෙහිදී ගොවියන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ තමන්ට අයත් ඉඩම් මෙලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ගම්මානය මැදිකරමින් වන රක්ෂිතයක් වෙන් කර මායිම් කණු යොදා තිබීමත් එම රක්ෂිතය තුලට වල් අලින් කඩා වැදීමෙන් නුදුරේදීම අලි මිනිස් ගැටුමක් නිර්මාණය වන බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී තේවනුවර ගොවි ගම්මානයේ පදිංචි ජී.ඩී.ප්‍රේමරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි.
අපිට අලි ගැටළුව උග්‍රව තියෙනවා. කිසිම ඉඩමක ගොවිතැනක් බතක් කරගෙන ජීවත් වෙන තත්ත්වයක් අපිට නෑ. මේ සම්බන්ධව බලධාරින්ට කොච්චර කීවත් අපිට කිසිම සහනයක් නෑ. මේකට ප්‍රධානම හේතුව තමයි, රක්ෂිත කියලා ගම්මැද්දෙ කෑලි කෑලි තැන් තැන් වල ඉතුරු කරලා අපිට ගොවිතැන් කරන්න දෙන්නෙ නෑ. තේවනුවර ගමේ අලි වැටක් ඉදිකරලා තියෙනවා. ඒ අලි වැට ආරක්ෂා කරන්න කියලා සිවිල් ආරක්ෂක නිළධාරි කොතෙක් දැම්මත් වැඩක් නෑ. හොර ජාවාරම් කාරයන්ට කැලේට ඇතුල් වෙන්න අලි වැට කඩලා ඉඩ දෙනවා.
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී තේවනුවර ගොවි ගම්මානයේ පදිංචි එච්.ඒ.දයාරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි.
අපි මේ දවස් වල කරන්නෙ ගොවිතැන් අපිට මේ වැස්සත් එක්ක ගොවිතැන් බතක් කරන්න විදියක් නෑ හවස 4-5 වෙද්දි ගෙවල් වටේට අලි එනවා. අලි එන්න හේතුව තමයි ගම හතර වටේම පාරවල් තියෙනවා ගෙවල් තියෙනවා. ඒ මැද රක්ෂිතයක් තියෙනවා. මේ රක්ෂිතයට තමයි කඩා බාන්දුවෙන වල් අලි රිංගගෙන අපේ ගොවිතැන් විනාශ කරන්නේ අපි බලධාරින්ට කියන්නෙ මේ රක්ෂිතය ඉවත් කරලා ජනතාව පදිංචි කරන්න කියලා එතකොට අපිට මේ අලි කරදරේ නැතිව යනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී තේවනුවර ගොවි ගම්මානයේ පදිංචි පී. උදේනි රම්‍යලතා මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.
”අපිට හැමදාම මේ අලි කරදරේ තියෙනවා. ඒකට හේතුව තමයි අපේ ගම මැදින් රක්ෂිතයක් කියලා කොටසක් වෙන් කරලා තියෙනවා. ඒ රක්ෂිතයට අලි මැදි වුණාම තමා අපිට ගොඩක් කරදර තියෙන්නෙ. අපි බලධාරින්ගෙන් ඉල්ලන්නෙ හැමදාම වගේ මේ රක්ෂිතය නිදහස් කරලා දෙන්න කියලා මේ රක්ෂිතය නිසා අපේ ඉඩම වටේටම කැලේ වැවිලා තියෙන්නෙ. මනුස්සයො මැදිවෙලා ඉන්නවා අලිත් එක්ක ඔය කියන රක්ෂිතයට. මේක අපිට ලොකු ගැටළුවක් ”
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී තේවනුවර ගොවි ගම්මානයේ පදිංචි කේ.ඒ.චමින්ද රත්නසිරි මහතා පවසා සිටියේ මෙවැන්නකි.
”අපි දැන් අවුරුදු විස්සකටත් වැඩිය ගොවිතැන් කරගෙන හිටපු ඉඩම් මේ ඉඩම් වට කරලා වන රක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කණු දාලා අපේ ඉඩම් අත්පත් කරගෙන තියෙන්නෙ. මේවට අපිට බලපත්‍ර රජයෙන් නිකුත් කරලා තියෙද්දි තමා මේ විදියට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අත්පත් කරගෙන රක්ෂිතයක් විදියට නම් කරලා තියෙන්නෙ. අපිට මේවට ඔප්පුත් තියෙද්දි දැන් කියනවා ඇතුල් වෙන්න එපා ගොවිතැන් කරන්න එපා. සුද්ධ කරන්න එපා කියලා. අහල පහළ කාගේ හරි ගොවිතැනක් බතක් විනාශ කරපු දාට මම ගමේ ඉදලා ඉවරයි මට සේරම දෙහි කපන්න ගන්නවා. ඔයාලගෙ ඉඩම් සුද්ධ කරන්නෙ නැති නිසා තමයි අලි එන්නෙ කියලා. කිහිප වතාවක්ම මම මගේ ඉඩම සුද්ධ කරන්න ගියා වන සංරක්ෂණ දොපාර්ත්තුමේන්තුවෙන් ඇවිත් අපිව උසාවි ගෙනියනවා. ”
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී තේවනුවර ගොවි ගම්මානයේ පදිංචි එච්.පී.ජයතිලක මහතා පවසා සිටියේ මෙවැන්නකි.
”මම දැන් අවුරුදු 35ක් විතර මේ ඉඩමෙ වගා කරගෙන තේක්ක හිටවගෙන ඉද්දි තමයි වන රක්ෂණ එකෙන් ඇවිල්ලා මගේ ඉඩම මැදිනුත් කණු පේලියක් දාගෙන ගියා. අපි දැන් බයෙන් ඉන්නෙ කොයි වෙලාවේ වන රක්ෂණ එකට අපේ ඉඩම් පවර ගනියිද කියලා. මීට අවුරුදු 20ට කලින් මේ ඉඩම් වල මිනිස්සු පදිංචි වෙලා පොල් හිටවගෙන ඉද්දි තමයි එව්වා අයින් කරලා මේ විදියට කණු දාලා ජනතාව අයින් කෙරුවෙ අපි බළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට නිදහසේ ගොවිතැනක් බතක් කරගෙන ජීවත් වෙන්න මේ රක්ෂිතය නිදහස් කරලා දෙන්න කියලා.”
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී තේවනුවර ගොවි ගම්මානයේ පදිංචි ඒ. එස්. නිමේෂා මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.
”අපිට අක්කර දෙකකට ඔප්පුව තියෙනවා. ඒත් අපි දැනට පදිංචි වෙලා වගා කටයුතු කරගෙන යන්නෙ අක්කර එක හමාරක විතර කොටසක. අනෙක් අක්කර භාගය රක්ෂිතයට කියල වන සංරක්ෂණ එකට පවරගෙන තියෙන්නෙ. ඒ පවර ගත්තට පස්සෙ අපිට අපේ කිසිම ගොවිතැනක් බතක් කරන්න තියා ඒ කොටසට අඩියක්වත් තියන්න දෙන්නෙ නෑ. ඇතුළු වුනොත් නඩු දාලා උසාවි ගෙනියනවා. දඩ ගහනවා. හැබැයි ඔය කියන රක්ෂිතය මැදින් තමයි අපිට විදුලිය, ජලය දීලා පාරවල් පවා ඉදි කරලා තියෙන්නෙ. ඉතිං අපි කියන්නෙ වග කිය යුතු බලධාරින්ට අපේ මේ ගම ඇතුළට රක්ෂිතයක් අවශ්‍ය නෑ. මොකද අලින්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්නත් බෑ. ඒ නිසා අපි කියන්නෙ මේ රක්ෂිතය නිදහස් කරලා අපේ ඉඩම් අපට ලබා දෙන්න කියලා.”
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප විමසුමකදී පුත්තලම අඩවි වන නිළධාරි කොටුව ගෙදර මහතා පවසා සිටියේ.
”තේවනුවර රක්ෂිතයක් තියෙනවා. ඔය කියන රක්ෂිතයේ ජනතාව පැරණි කාලයේ ඉදලා පදිංචි වෙලා හිටපු ඉඩම් අපි නිදහස් කිරීමට මේ දිනවල කටයුතු කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් අපි ප්‍රධාන කාර්යාලයට දැණුම් දීමක් කරලා තියෙනවා. අපි නැවත ගැසට් පත්‍රයකින් දන්වලා මේ ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරනවා. ”
වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන/ තිලක්ෂි කෞෂල්‍යා
ගම්මානය තුල ඉදිකර ඇති කැලෑ රක්ෂිතය තුල වල් අලි රැදී සිටින අයුරු
ගම්මානය මැද ඉදිකර ඇති නාම පුවරුව
පුද්ගලික තේක්ක වතු යායක් මැදින් රක්ෂිත කණු යොදා ඇති ආකාරය
බල පත්‍ර හිමි තම ඉඩමට වන රක්ෂණ දෙපාර්තමේන්තුව මායිම් කණු යොදා ඇති ආකාරය පෙන්වන ගොවි මහතෙක්
රක්ෂිත කණුව අසලින් විදුලි කණුව ඉදිකර ගමට විදුලිය ලබා දී ඇති ආකාරය
රක්ෂිතය තුල වගා පොකුණු ඉදිකර ඇති ආකාරය
රක්ෂිතය යැයි පැවසෙන ඉඩම් තුල නිවාස ඉදිකර ඇති ආකාරය
රක්ෂිතය යැයි පැවසෙන භූමිය තුල ගොවීන් හේන් ගොවිතැන සිදු කර ඇති ආකාරය
වන රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම්කර ඇති රක්ෂිත ප්‍රදේශයට විදුලිය ලබා දී ඇති ආකාරය
අලි කාණුව විනාශ කර වල් අලි ගම් වදින ආකාරය
අලි වැටේ විදුලි රැහැන් කඩා දමා ඇති ආකාරය