නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ මත්පැන් බෝතල් තොගයත් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ සන්ධාන අපේක්ෂක තාරානාත් බස්නායක මහතාගේ රුව සහිත මැතිවරණ ප්රචාරක පත්‍රිකා තොගයක් රාජසන්තක කරන ලෙසට මහව මහේස්ත්‍රාත් දමිත විජේසිංහ මහතා අද (11 දා ) පස්වරුවේ නියෝග කළේය.
මෙලෙස රාජසන්තක කෙරුණේ , නවීන පන්නයේ සුඛෝපභෝගී ජීප් රථයකින් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබියදී පොල්පිතිගම පොලිසිය විසින් නිකවැව රජයේ රෝහල ඉදිරිපිටදී අද අඵයම 1.30 ට පමණ අත්අඩංගුවට ගෙන තිබූ මත්පැන් බෝතල් 66 ක් සහ මැතිවරණ ප්රචාරක පත්‍රිකා තොගයකි. එම ප්රචාරක පත්‍රිකා තොගයට තොගයට මහින්ද රාජපක්ෂ මහතාගේ සහ තාරානාත් බස්නායක මහතාගේ රුව සහිත පෝස්ටර් 1330 ක් සහ අත්පත්‍රිකා 510 ක් ඇතුළත්ව තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ කීය.
බලපත්‍ර රහිතව මත්පැන් ප්‍රවාහනය කිරීම, ප්‍රමාණය ඉක්මවා මත්පැන් ළගතබාගැනීම සහ මැතිවරණ ප්රචාරක පත්‍රිකා නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීම යන චෝදනා නගමින් මත්පැන් සහ පෝස්ටර් තොගය සමග අත්අඩංගුවට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් දෙදෙනෙකුද පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියහ. එහිදී නීති විරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කිරීමේ වරදට රුපියල් දසදහසක් සහ නීති විරෝධී ලෙස මැතිවරණ ප්රචාරක පත්‍රිකා ප්‍රවාහනය කිරීමේ වරදට රුපියල් සියයක්ද වන පරිදි එක් අයෙකුට රුපියල් දසදහස් එකසියයක දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව විත්තිකරුවන් මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.මත්පැන් සහ පෝස්ටර් ප්‍රවාහනය කිරීමට යොදාගෙන තිබූ සුඛෝපභෝගී ජීප් රථයද රුපියල් ලක්ෂ විස්සක ඇප බැදුම්කරයක් මත මුදා හරින ලෙසටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
මෙලෙස දඩමුදල් නියම කෙරුණේ තාරනාත් බස්නායක මහතාගේ ආධාරකරුවන් බව කියන ගල්ගමුව , ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි එච්. එම්. මනෝජ් සාලින්ද ජයසිංහ සහ එච්. එම්. දිනේෂ් ඉන්දික චන්ද්‍රසේකර නැමැති තරුණයින් දෙදෙනෙකුටය.
පොල්පිතිගම බණ්ඩාර තල්පත්වැව
අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථයේ ඡායාරූප කිහිපයක් පහත දැක්වෙයි.