‘බහුජන හිතාය – බහුජන සුඛාය’ යැයි බුදුන් වහන්සේ විසින් අනුදත් ධර්මයෙහි හැසිරීම පසෙක තබා ඒ වෙනුවට පක්ෂ සහ පාටවලට බෙදී ගහමරාගන්නා තත්වයට පත්ව සිටින මෙරට බෞද්ධ භික්ෂූ භූමිකාව දෙස සාතිශය සංවේගයෙන් යුතුව බලාසිටින්නට අද අපට සිදු වී තිබේ. රාජ්‍ය නායකයා වෙත අර්ථයෙන් , ධර්මයෙන් දේශණා කිරීමේ උත්තරීතර භූමිකාවට වෙනත් අර්ථකථනයන් ලබාදෙමින් සිටින මෙරට බහුතරයක් භික්ෂූන් වහන්සේ සෘජුවම දේශපාලනයට මැදිහත්වීමේ කටුක ආදීනව මෙන්ම ඒ ඔස්සේ ආරම්භ වී ඇති ශාසනික පරිහානියද බෞද්ධයින් ලෙස අප දැන් අත්විදිමින් සිටිමු. අර්ථයෙන් ධර්මයෙන් දෙසීම කෙසේ වෙතත් දේශපාලන වේදිකාගාණේ නැගගත් ඇතැම් දේශපාලක භික්ෂූන් වහන්සේ විසින් කරමින් සිටින දේශණාවන් නම් ඇතැම්විට දේශපාලකයින්ගේ කතාද ඉක්මවන තරමේ වෛරී සහගතය, විහිඵ සහගතය. එමෙන්ම පිළිකුල් සහගතය. (අවසර !)
මහමැතිවරණයට නාමයෝජනා ලබාදීමෙන් පසුව කුරුණෑගල නගරයේ ප‍්‍රකට පිරිවෙනකදී පැවැති බෝධි පූජාවකදී අනුශාසනාවක් පැවැත් වූ වයඹ පළාතේ ප‍්‍රධාන සංඝනායක හිමිනමනමකට එම අනුශාසනාව පුරාම රැස් වී සිටි පිරිසගෙන් ලැබුණේ සාධුනාද නොව අත්පොළසන්ය. උන්වහන්සේගේ අනුශාසනාව පුරාම කියැවුණේ කුරුණෑගලින් බිහිවන අගමැතිවරයෙකු ගැන මෙන්ම එතුමා කුරුණෑගලින් වැඩිම මනාප ලබාගෙන තබන වාර්තාවක් ගැන නිසාම අදාළ පක්ෂයේ ආධාරකරුවන් අතින් අත්පොළසන් වැදීමේ පුදුමයකුත් නැති. බුදු බණ නොව බැහැර කළ භික්ෂූන් වහන්සේගේ දේශපාලන කල්ලිගැසීමේ තවත් කණගාටුදායක දිගුවක් ගැන ලංකා සී නිවුස් වෙබ් අඩවිය ඊයේ වාර්තා කර තිබිණි. https://lankacnews.com/sinhala/main-news/134510/ අදාළ පුවත සත්‍ය නම් කල්ලිගැසී ගහමරාගන්නා ජාතියේ මුරදේවතාවන් දෙස බලා සිටීමට තරම් අප පව්කාරයන් වී සිටිමු.
ඉතිහාසයේ අන්කවරදාටත් වටා මෙම මැතිවරණයේදී බුද්ධ චීවරයේ පඩු පැහැය තදින්ම සේදී ගියේය. ඒ භික්ෂූන් වහන්සේ නායකත්වය ගත් දේශපාලන පක්ෂ මෙම මැතිවරණයට තරග කිරීමත්, සෑම ප‍්‍රධාන දේශපාලන පක්ෂයකින්ම පාහේ දේශපාලන අතකොඵ ලෙස භික්ෂූන් වහන්සේ ජනතාව ඉදිරියට තල්ලූ කිරීමත් හේතුවෙනි. අපේ කරුමය මහත් හෙයින්දෝ බුදුන් වහන්සේට වඩා දේශපාලකයින් ලොකු කරගෙන සිටින ඇතැම් භික්ෂූන් වහන්සේ මේ වන විට සිය ස්වාමි දේශපාලකයින් වෙනුවෙන් රැස්වීම් සංවිධානය කරමින් සිටිති. තම ස්වාමියාට ඡුන්දය දෙන ලෙස පළවන පුවත්පත් දැන්වීම්වලට අත්සන් කරමින් සිටිති. මනාප ඉල්ලා දායකයින්ට ලිඛිතව සහ වාචිකව බලපෑම් කරමින් සිටිති.
ජාතික දේශපාලනයෙන් ඇරඹුණු මේ ව්‍යසනය අද වන විට ලාංකීය ජන සමාජයේ මූල පද්ධතිය වන ගම වෙතද ඇදෙමින් පවතින බව පැහැදිලිවම දක්නට ලැබෙයි. පහතින් දැක්වෙන්නේ එම ඛේදවාචකයෙහි හැඩතල හදුනාගත හැකි එක් සරල උදාහරණයක් පමණි.
ඉබ්බාගමුව ප‍්‍රදේශයේ වෙසෙන එක්තරා පවුලක පියා මියගොස් අවුරුද්දේ දානය යෙදී තිබුනේ පසුගිය දිනකය. භික්ෂූන් වහන්සේ නිවසට වඩම්මවා දානයමය පිංකමක් කරනවා වෙනුවට මහව ප‍්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකට පියා සිහිකර දානයක් පිළිගැන්වීම සුදුසු බව එම පවුලේ සියළු දෙනාගේ ඒකමතික තීරණය විය. වැඩිහිටි නිවාසයට දානය පිලිගැන්වීමට අමතරව ධර්මදේශණයක් පැවැත්වීමද සුදුසු බව සිතූ ඥාතිපිරිස එම වැඩිහිටි නිවාසය ආසන්නයේම පිහිටි විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට ඒ සඳහා ආරාධනා කළේ මාසයකට පමණ ඉහතදීය. ආදාළ භික්ෂූන් වහන්සේද ආරාධනාව සතුටින් පිළිගත්හ.
දානයට සදහා ලක ලෑස්තිවෙමින් සිටින ඥාතීපිරිසට අදාළ භික්ෂූන් වහන්සේගෙන් ඇමැතුමක් ලැබෙන්නේ දානය දීමට නියමිත දිනට පෙර දින රාත‍්‍රියේදීය. උන්වහන්සේ පවසන්නේ පසුදින ධර්ම දේශණාවට තමන්ට පැමිණිය නොහැකි බවත්, එදින එම ප‍්‍රදේශයට පැමිණීමට නියමිත හිටපු රාජ්‍ය නායකයෙකුගේ දේශපාලන රැළියකට තමන් අනිවාර්්‍යයෙන්ම සහභාගී විය යුතු බවත්ය. එබැවින් ධර්ම දේශණය පිණිස වෙනත් භික්ෂූන් වහන්සේ කෙනෙකුන් සොයා ගන්නා ලෙසද උන් වහන්සේ වැඩිදුරටත් වදාරා තිබේ. එම ඇමතුමෙන් මහත් වියවුලට පත් ඥාතීහු කළයුතු වැඩ සියල්ල පසෙක තබා මහ මහ රෑ තිස්සේ පන්සල් පීරමින් ධර්ම දේශණය සදහා වෙනත් භික්ෂූන් වහන්සේ කෙනෙකුන් සොයන්නට පටන් ගත්තේ ‘අනේ අපේ හාමුදුරුවන්ට වෙච්ච දෙයක්’ යැයි පවසමිනි.
භික්ෂූන් වහන්සේට දේශපාලනය කිරීමට තහනම් යැයි අප කිසිවිටෙක කියන්නේ නැත. නමුත් එය සීමාසහිත විය යුතුය. එය බුදුන් අනුදත් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමේ උත්තරීතර භූමිකාවට සීමා විය යුතුය. හුදු දේශපාලනඥයින් රජකරවීමේ වෑයමට වඩා ජාතියේ මුරදේවතාවුන් ලෙස භික්ෂූන්වහන්සේ වෙත පැවරී ඇති වගකීමට උන්වහන්සේලාගෙන් මුල්තැනක් ලැබිය යුතුය. දේශපාලනඥයින්ට වඩා තමන් රැකබලා ගන්නා දායක පිරිසට උන්වහන්සේගෙන් තැනක් ලැබිය යුතු වන්නේය.
බුලත් මඩිස්සලේට හෙණ ගැසූ කල හුණු කිල්ලෝටය ගැන කතා කරන්නට දෙයක් ඉතිරි නොවන්නා සේ , නිදහසින් පසු මෙරට ආණ්ඩු කළ කොයි කොයි නායකයින් විසිනුත් අඩු වැඩි වශයෙන් මෙරටට දායාද කළ සමාජ, ආර්ථික, සංස්කෘතික පරිහාණියෙන් සඝ සසුනද බේරී තිබෙතැයි අපේක්ෂා කළ නොහැක. නමුත් දෙදහස් පන්සිය වසරක් තිස්සේ මෙරට බෞද්ධයින්ගේ බුහුමනට, ගෞරවයට ලක්වෙමින් මේ දක්වා රැකගෙන ආ බුදුදහම ඉදිරි පරපුර වෙතත් සුරක්ෂිත කරදීමේ පැහැර හැරිය නොහැකි වගකීමක් සහ යුතුකමක් බුද්ධ චීවරය දරමින් සිටින හැම බුද්ධ පුත‍්‍රයෙකුගේම හිස මත පැටවී තිබේ. ඒ වගකීමෙන් හා යුතුකමෙන් බැහැර වී මෙරට භික්ෂූන් වහන්සේ දේශපාලන අතකොඵ ලෙස තවදුරටත් ක‍්‍රියාකරන්නේ නම් අවසානයේ සිදුවන්නේ අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට ශ‍්‍රී සරණංකර සංඝරාජ හිමියන් වැනි සංඝ පීතෘවරුන් විසින් දිවි දී රැකගත් මෙරට මහ උතුම් සඝ සසුන වළපල්ලට යැවීමට දායකවීම පමණකි.
(මෙම ලිපිය සංවාදයට විවෘතය. කිසිදු දේශපාලන මතයක් නොදරමින්, බුදුන් අනුදත් ම`ගම යමින් අල්පේච්ඡ, සුවිනීත, ශික්ෂාකාමී දිවියක් ගතකරමින් සිටින මෙරට අතළොස්සක් වූ සංඝ පීතෘවරුන් මෙම ලිපියේ අඩංගු අදහස් ගැන කමත්වා !. )
අජන්ත බණ්ඩාර රත්නායක