Saturday, January 18, 2025

ජාතිවාදය තොරොම්බල් කර, ඡන්දය ගන්න තරම් ඇතැමුන් බංකොලොත් වෙලා

Must read

Vijitha-Herath-2019.10.21-1“ජාතික ප්‍රශ්නය මුල්කරගෙන උතුරේත් දකුණේත් මැතිවරණ වේදිකාවල, ජාතිවාදය, ආගම්වාදය, තොරොම්බල් කරන්න පටන්ගෙන තියෙනවා. මේක භයානක තත්වයක්. ජාතික ජන බලවේගය මේ ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීම සම්පූර්ණයෙන් හෙළාදකිනවා. මැතිවරණ ක්‍රියාවලිය තුළත් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ගොඩනැගීමට මතවාදී අරගලයක් කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අපි මේ දක්වා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ගණනාවක් එළිදක්වා තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය, ප්‍රවාහනය, ජාතික සමගිය, සංස්කෘතිය කියන ප්‍රතිපත්ති මේ වෙනකොටත් එළිදක්වා අවසන්.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්  මහත…

“ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෑතකදී ඇතිවී තිබෙන අලුත් ප්‍රවණතා කීපයක් පිළිබඳව ජාතික ජන බලවේගයේ කරුණු පැහැදිලි කිරීමට මේ මාධ්‍ය හමුව පවත්වනවා.

මේ වෙනකොට මල්වට්ටි වෙන්දේසියක් වගේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට මේ දක්වා රට පාලනය කළ පක්ෂ දෙකම පොරොන්දු දෙමින් ඉන්නවා. එක පැත්තකින් වී ගොවිතැනට පොහොර නොමිලේ දෙන බව කියනකොට අනෙක් පැත්තෙන් සියලු ගොවීන්ට පොහොර නිකම් දෙන බව කියනවා. අනෙක් පැත්තෙන් බදු අඩුකරන බව කියනකොට අනික් කණ්ඩායම වැට් බදු අඩුකරන බව කියනවා. මේ විදිහට දෙපැත්තම මාරුවෙන් මාරුවට එකිනෙකා පරයා යන විදිහට සහනාධාර පොරොන්දු මේ මැතිවරණයේදී ලබාදෙනවා.

පොරොන්දු ලබාදෙන මේ දෙපිල එකම පැත්තකට ගෙනල්ලා ඔය කියන පොරොන්දු තරගයේ දේවල් කළොත් ගොවීන්ට ගොවිතැන් කරන්න ඕන නැහැ. ස්වයං රැකියා කරන අයට ඒ ස්වයං රැකියා කරන්න ඕන නැහැ. ධීවර කර්මාන්තයේ යෙදෙන අයට ඒ කර්මාන්තය කරන්න ඕනත් නැහැ. මේ රටේ ජනතාවට කිසිම දෙයක් නොකර ඉන්න වෙනවා. මේ වගේ පොරොන්දු වෙන්දේසියේ දාලා පසුගිය වසර 71 පුරාම රට අගාධයට ඇද දැම්මා. අස්ථාවර කළා. ජාතික ජන බලවේගය, මේ පොරොන්දු දෙනවා වෙනුවට ජනතාවට කිරි වීදුරුවක් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා. පෝෂණීය ආහාර වේලක් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා. මේ පොරොන්දු දේශපාලනයට ජනතාව රැවටීම නතර කළ යුතුයි.

අනික් පැත්තෙන් ජාතික ප්‍රශ්නය මුල්කරගෙන උතුරේත් දකුණේත් මැතිවරණ වේදිකාවල, ජාතිවාදය, ආගම්වාදය, තොරොම්බල් කරන්න පටන්ගෙන තියෙනවා. මේක භයානක තත්වයක්. ජාතික ජන බලවේගය මේ ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීම සම්පූර්ණයෙන් හෙළාදකිනවා. මැතිවරණ ක්‍රියාවලිය තුළත් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ගොඩනැගීමට මතවාදී අරගලයක් කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අපි මේ දක්වා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ගණනාවක් එළිදක්වා තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය, ප්‍රවාහනය, ජාතික සමගිය, සංස්කෘතිය කියන ප්‍රතිපත්ති මේ වෙනකොටත් එළිදක්වා අවසන්. ජාතික ආර්ථිකය, කෘෂිකර්මය, ප්‍රතිපත්ති එළිදක්වන්න නියමිතයි.

ජාතික සමගිය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය වෙන්නේ කිසිම ජනතාවක් භූමි ප්‍රදේශය අනුව වෙන්නොකළ යුතුයි යන්නයි. එක් පළාතකට, එක් කලාපයකට වෙනම පාලන බලයක්, ජන කොට්ඨාසයකට ලබාදීමෙන් ජාතික සමගිය ගොඩනඟන්න බැහැ. යම් යම් කණ්ඩායම් තමන්ගේ සහයෝගය ලබාදෙන්න යෝජනා 13ක් ඉදිරිපත් කර තිබෙනවා. උතුරු නැගෙනහිර එකාබද්ධ කිරීම සම්බන්ධයෙන් හැමදාම මැතිවරණවලදී ඔවුන් ඉදිරිපත් කරනවා. නමුත් ජාතික ජන බලවේගය කිසිසේත්ම ඊට එකඟ නැහැ.

ඒ විතරක් නොවෙයි ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් එක්කළ උතුරු නැගෙනහිර අවුරුද්දකට පස්සේ ජනමත විචාරණයකින් ලැබෙන තීන්දුව අනුව ක්‍රියාකරන බව කීවා. නමුත් ඒක නොකර දිගින් දිගටම මේ පළාත් දෙක එක්කර තිබෙනවා. 2005 නොවැම්බර් 19 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත්වී නොවැම්බර් 23දා මුලින්ම අත්සන් කළ ගැසට් නිවේදනය උතුරු නැගෙනහිර එක්කිරීම දීර්ඝ කිරීම සම්බන්ධයෙන්. එහෙම අය දැන් බොරු දේශප්‍රේමයක් ගෙනයනවා. මැතිවරණ වේදිකාවේ බොරු දේශප්‍රේමයට මුවාවී ඒ අය ජාතිවාදය තොරොම්බල් කරනවා. නමුත් උතුරෙන් නැගෙනහිර පළාත වෙන්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පැවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ බුහාරි සහෝදරයාත්, වසන්ත පියතිස්ස සහෝදරයා වගේ අය.

බෙදුම්වාදීන්ගේ වුවමනාව වී තිබුණේ උතුරු නැගෙනහිර එක්කළාම බහුතර දෙමළ ජනතාවක් සිටින බව ජාත්‍යන්තරයට පෙන්වා වෙනම පාලන බලයක් ලබාගන්නයි. නමුත් ඒ තත්වය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවෙන් අහෝසිවී ගියා. දැන් ඉදිරිපත්කර තිබෙන යෝජනා 13 අතර, යුද සමයේ අත්පත් කරගත් ඉඩම් නිදහස් කරගැනීමත් තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලන සමයේදීම ඒ ඉඩම් නැවත නිදහස් කිරීමට පටන් ගත්තා. ඒ වගේම ඒ තරුණයන්ගේ රැකියා ප්‍රශ්න ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් කර තිබෙන ඉල්ලීම් ප්‍රතිපත්තිමය වශයෙන් අපට විරුද්ධත්වයක් නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ මර්දන නීති ඉවත්කිරීමත් ඊට අදාළයි. අපේ ප්‍රතිපත්තිය වන්නේ ප්‍රතිත්‍රස්ත පනත වගේ වෙනත් මුහුණුවරකින් නැවත මේ මර්දන අණපනත් ක්‍රියාත්මක නොකළ යුතු බවයි.

ආණ්ඩුව ජනාධිපතිවරණයේදී නීති විරෝධී ආකාරයට රාජ්‍ය බලය, මහජන මුදල් යොදවමින් මැතිවරණ අල්ලස් ලබාදෙමින් සිටිනවා. රාජ්‍ය වාහන ඇතුළු බොහෝ දේ මේ සඳහා යොදවා තිබෙනවා. දයා ගමගේ සමෘද්ධි ඇමතිවරයා හැටියට කරගෙන යන තොරතුරු රැසක් වාර්තා වී තිබෙනවා. පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි ලබාදීමට නියමිතයි. ඒ වෙනුවෙන් සුදුස්සන් තොරාගැනීම සිදුකර තිබෙනවා. නමුත් ඒකත් දැන් ජනාධිපතිවරණයේදී ඡන්ද අල්ලස් වශයෙන් පාවිච්චි කරන තරමට ආණ්ඩුව බංකොලොත් වී සිටිනවා. පවුල් ලක්ෂ තුනකට සමෘද්ධි ලබාදෙන්න කර තිබෙන ඉල්ලීම් අඩංගු එක ලියුම් කවරයක් කඩන්න, රුපියලකුත් ඒ තොරතුරු පරිගණක ගත කරන්න රුපියල් පහකුත් වැය කරනවා. ඒ වෙනුවෙන් ලක්ෂ 54ක් මේ වෙනකොට වියදම් කරලා.

මේ පවුල්වලට සමෘද්ධි හිමිකම් ලැබී තිබෙන බවත්, ජනාධිපතිවරණය නිමවීමෙන් පසුව ලබාදෙන බවත් සඳහන් නීති විරෝධී ලිපියක් මැතිවරණ කොමිසම අත්අඩංගුවට ගත්තා. නමුත් ඒ වෙනකොට අදාල ලිපි පිටකර ප්‍රාදේශීය සංවිධායකවරු මගින් බෙදාහරිමින් සිටිනවා. ඒ වගේම සමෘද්ධි අධිකාරියට අයත් WPKR 0824, WPKJ 7544, WPCAT 90008, WPTD 0824, WPGA 6710 යන වාහන  මේ වෙනකොට මැතිවරණ කටයුතුවලට යොදාගනිමින් තිබෙනවා. අල්ලස් දීලා ඡන්දෙ ගන්න තරම් බංකොලොත් මේ ආණ්ඩුවලට රට ගොඩනඟන්න බැහැ. ඒ වගේම ලබන අවුරුද්දේ මුල් මාස හතරට වියදම් ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේදී එක දවසින් සම්මත කරගන්න නියමිතයි. ජනාධිපතිවරයාට රුපියල් කෝටි 240ක් අගමැතිවරයාට රුපියල් කෝටි 28ක් වශයෙන් රුපියල් කෝටි 268ක් මේ දෙන්නට වෙන්කරගෙන. රටේ ජනතාව බදු බරෙන්, ණය බරෙන් මිරිකී සිටිද්දී, ජනතාවගේ මුදල් මේ විදිහට අවභාවිතා කරනවා.

ජාතික ජන බලවේගය මේ මැතිවරණය පුරාම පෙනී සිටින්නේ මේ මුදල් අවභාවිතය, නාස්තිය වළක්වන පාලනයක් බිහිකර ගැනීමටයි. ඒ වගේම ජාතික ප්‍රශ්නය මැතිවරණයට යොදාගෙන සියලුම ආකාරයේ අන්තවාදයන් පැතිරවීම පරාජයට පත්කිරීම මූලික අරමුණක්. ඒ නිසා වසර 71ක් මේ දෙගොල්ලෝ පවත්වාගෙන ආ පාලනයේ වෙනසක් කරන්න, රට ගොඩනඟන ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවන්න මේ ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන වර්ග තුනම සම සමව ජීවත්වෙනවා. අම්පාර, මඩකලපු දිස්ත්‍රික්කවලත් මුස්ලිම් සහ සිංහල ජනතාව බහුතරයක් ඉන්නවා. නැගෙනහිර පළාත, උතුරට එක්කරන්න කියන්නේ මේ පළාත් දෙකේම දෙමළ ජනගහනය වැඩි බව ජාත්‍යන්තරයට පෙන්වන්නයි. ඔවුන්ගේ මේ පදනම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් බෙදීම් සිදුවෙන, වෙනත් කිසිදු යෝජනාවකටත් අපි එකඟත්වය ලබාදෙන්නේ නැහැ. මේ දවස්වල දේශපාලන වුවමනාවන් මත ඉතා පැහැදිලිවම කටකතා පතුරුවා හරිනවා. මේ කටකතාවල අරමුණම ජනතාව දේශපාලනිකව බියවද්දා ඡන්දය ලබාගැනීමයි.

ඒ නිසා කටකතාවලට නොරැවටී මහජන ආරක්ෂාවත්, ජාතික සමගිය ගොඩනඟන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබෙන ජාතික ජන බලවේගය සමග එකතු වෙන්න කියලා, අපි ජනතාවට ආරාධනා කරනවා. මේ ජනාධිපතිවරණයේදී ඉන්පසුව ආණ්ඩු බලය ලබාගන්නත් අපි ඡන්ද ව්‍යාපාරය ගෙනියන්නේ මේ මූලික අරමුණු මත ඉඳලයි. කිසිසේත්ම ජාතික ආරක්ෂාවටත් මහජන ආරක්ෂාවටත් තර්ජනයක් වන කටයුතුවලට ඉඩ ලැබෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය මහජන ආරක්ෂාවත්, ජාතික සමගියත් තහවුරු කිරීමේ දිශාවට මැතිවරණ ව්‍යාපාරය ගෙනියනවා.”

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article