Sunday, January 19, 2025

ගුල්ලන්, පණුවන් සහ පුස් සහිත කේක් හැදූ කුරුණෑගල යසසිරි බේකර්ස් වසා දැමීමට නියෝග !

Must read

cake_1( අන්තර්ජාල ඡායාෑපයකි )

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් ගුල්ලන්, පණුවන් සහ පුස් සහිත කේක් වර්ග නිෂ්පාදනය කර බෙදාහැරීමේ චෝදනාවට වරදකරු වූ කුරුණෑගල යසසිරි බේකර්ස් ආයතනයේ සියලු නිෂ්පාදන වහාම නතර කරන ලෙසට නියෝග කළ වාරියපොල මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා එල්ල වූ චෝදනාව සහ සමාගම වසා දැමූ බවට පුවත්පත් දැන්වීමක් පළ කර අධිකරණය වෙත වාර්තා කරන ලෙසටද නියෝග කළේය.

මීට අමතරව අදාළ චෝදනාව වෙනුවෙන් රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවන ලෙසට යසසිරි බේකර්ස් හිමිකරුට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නුසුදුසු තත්වයේ යසසිරි කේක් අලෙවි කළ වාරියපොල රඹාවැව හෝටලයක හිමිකරුවෙකුටද රුපියල් පන්දහසක දඩයක් නියම කළේය.

වාරියපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක සී. එස්. මුතුකුඩ , පාදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. කේ. පතිරාජ සහ මිනුවන්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රත්නමලල යන නිලධාරීහු විසින් අදාළ වැටලීම සිදු කර 1980 අංක 26 දරණ ආහාර පනත යටතේ 2014 අප්‍රේල් මස 02 වැනි දින යසසිරි බේකර්ස් ආයතනයට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

වසර දෙකකට ආසන්න කාලයක් වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව පසුගිය 22 වැනිදා ප්‍රකාශයට පත් කළ වාරියපොල මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා යසසිරි බේකර්ස් ආයතනයට ලබා දී තිබූ ආහාර නිෂ්පාදන ලියාපදිංචි බලපත්‍රය අවලංගු කළේය. මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් කේක් වර්ග නිෂ්පාදනය කර බෙදාහැරීමේ චෝදනාව සම්බන්ධයෙන් යසසිරි බේකර්ස් ආයතනය මීට පෙර අවස්ථා පහකදී අධිකරණය හමුවේ වැරදිකරු වී ඇති බවටද මෙම නඩුවේදී අනාවරණය විය.

යසසිරි බේකර්ස් ආයතනය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන සුමනදාස මාපිටිගම සහ චන්ද්‍රෙස්න මාපිටිගම යන මහත්වරුන් වෙත මෙලෙස දඩ සහ තහනම් නියෝග නිකුත් කෙරිණි.

මව්බිම ඇසුරිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article