අප රටේ පාසල් ගුරුවර ගුරුවරියන්ට නිළ ඇඳුමක් නැත. බහුතර ගුරුවරු දිග කලිසම් කමිස වලින් සැරසී සිටිති. ගුරුවරියන් සෑම කෙනෙකුම සැරසී සිටිනුයේ සාරියෙනි. නැත්නම් ඔසරියෙනි.ඒ අනුව ඔවුනට ගුරුවරුන්ට නොමැති ඇඟලුම් කේතයක්( Dress code) ජන සම්මතයේ පවතී.එනම් සාරිය (හෝ )ඔසරිය යන්න ය. එහෙත්, ගුරුවරුන් පසෙක සිටියදී පාසල් ගුරුවරියන් හට සාරිය හෝ ඔසරිය වෙනුවට පහසු වෙනත් ඇඳුමකින් සැරසී රාජකාරියට පැමිණීමට ඉඩ හළ යුතුය යන මතවාදයක් පසුගිය කාලයේ පැන නැඟිණ.එය ප්‍රධාන වශයෙන් සමාජ ගත කරන ලද්දේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලීන් විසිනි.එහෙත්,ඔහු ගේ එම ප්‍රකාශය දේශපාලනික පසුබිමකින් මතු වීම මුල්කොට දෝ මේ දිනවල බරපතල සමාජ කතිකාවක් පැන නැගී තිබේ. අද වන විට පාසල් අභ්‍යාස පොත් සහ ලිපි ද්‍රව්‍ය පාසල් බෑග් සහ සපත්තු වල මිල බොහෝ දෙමාපියන්ට දරා ගත නොහැකි ලෙස ඉහළ ගොසිනි. ඒ තත්වය යටතේ තම දරුවන් 2023 වසරේ මුල් වාරයේ සිට පාසල් එවනුයේ කෙසේද? යන ගැටළුවට අද වන විට අප රටේ පාසල් දූ දරුවන් ගේ මාපිය ප්‍රජාවෙන් සැලකිය යුතු කොටසක් මුහුණ දී සිටිති.
පාසල් ගුරුවරියන්ට සාරිය හෝ ඔසරිය හැර වෙනත් පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට ඉඩ දීම සහ නොදීම පිළිබඳ සමාජ කතිකාව පැන නැඟී ඇත්තේ ඉහත සඳහන් බරපතල අර්බුදයේ ඛේදනීය බව යටපත් කරමිනි. මේ අතර තමන්ට සුපුරුදු සාරිය හෝ ඔසරිය අතහැර පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධ නොයෙක් තොරතුරු ද ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අනාවරණය වෙමින් තිබේ.ඒ ඇතැම්හු බරපතල පීඩනයන්ට පවා නතු වී සිටිති.
ආයතනික වශයෙන් නිල ඇඳුමක් නොමැති පාසල් ගුරුවරියන් හට සාරිය හෝ ඔසරිය “නොනිල නිල ඇඳුමක්” වූයේ කෙසේද? යන්න පිළිබඳ මෙතෙක් එෛතිහාසික විමසුමක් සිදු වී නැත. එහි ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් 1930 වසරේ දොස්තර මේරි රත්නම් මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් අරඹන ලද ලංකා මහිලා සමිති ව්‍යාපාරය හා බැඳී ගත් සංසිද්ධියකි. ග්‍රාමීය කාන්තාවන්ගේ විනය,සංවරය, සදාචාරය කේන්ද්‍ර කර ගනිමින් සෞඛ්‍යය, ආර්ථිකය, නඟා සිටුවීමත් ඔවුන්ගේ ස්වීයත්වය සේම පවුල්, ප්‍රජා, සමාජ සම්බන්ධතා සවිමත් කිරීමත් අරමුණු කරගත් ලංකා මහිලා සමිති ව්‍යාපාරය මගින් විශේෂිත ළදරු පාසල් ගුරු පුහුණු පාඨමාලා සංවිධානය කරන ලදී.එමෙන්ම ඒවාට එක්ව සියළුම යුවතියන් හට සාරිය හෝ ඔසරිය අනිවාර්ය කරන ලදී.
සිරිමාවෝ බණ්ඩාරනායක දිවංගත අග්‍රාමාත්‍ය වරිය ද 1941 වසරේ මෙම මහිලා සමිති ව්‍යාපාරයට සම්බන්ධව සිට 1960 වසරේ අගමැති පදවිය දරන තෙක්ම එහි නොයෙක් තනතුරු දැරුවා ය.සබරගමු කුල කතක වූ ඇය නිරතුරුවම සමාජය හමුවට පැමිණියේ ඔසරියකින් සැරසීගත් වනම ය.නමුත් එම යුගයට ඉහත අප රටේ පාසල් ගුරුවරුන් “ගුරුන්නාන්සේලා”, “ඉස්කෝල හාමිනේලා” යනුවෙන් හැඳින්වුණු යුගයේ එවක පාසල් ගුරුවරියන් වෙනත් සංවර ඇඳුම් වලින් සැරසී පාසල් පැමිණි අයුරු මතකයෙන් කිව හැකි පිරිස් තවමත් අප සමාජයේ සිටිති.විශේෂයෙන් එවක සිටි පරිනත ගුරු මාතාවන් අත් දිග බ්ලවුසයෙන් ද දිගු රෙද්දකින් ද සැරසී පාසල් පැමිණ තම ඉගැන්වීම් කටයුතු කළහ. ඒ අතර ඉංග්‍රීසි විෂය උගන්වන ගුරු තුමියන් දිගු අත් සහිත වික්ටෝරියානු සම්ප්‍රදායේ ගවුම් වලින් සැරසී පාසල් පැමිණි බව ද අපට කලින් පරපුරේ වැඩිහිටියෝ කියති. එවක පාසල් ගුරුවරුන් ජාතික ඇඳුම, කබා සරම්, කබා කලිසම් සහ කමිස කලිසම් යන ඇඳුම් විලාසිතා හතරෙන්ම සැරසී පාසල් පැමිණ ඉගැන්වීම් කර තිබිණ. මේ අතර ඉන්දියානු නිදහස් සටනට යම් තරමකට අනුරූප වූ ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරය සහ 1956 බණ්ඩාරනායක රජය බලයට පැමිණීම වැනි හේතු මත පාසල් ගුරුවරුන් අතරේ ජාතික ඇඳුම විශේෂ ප්‍රවර්ධනයකට ලක් විය.ගුරු විද්‍යාල සිසුන් ද ජාතික ඇඳුම හැඳ සිටි යුගයක් විය.
විශේෂයෙන් ගුරුවරියන්ගේ මෙම සාරිය අප රටේ පහතරට ප්‍රදේශවල ව්‍යාප්ත වූ මුත් ඉංග්‍රීසි යටත් විජිත සමයේ කන්ද උඩරට රාජධානියේ පාලනය යටත්ව තිබූ ‘සිංහලේ’නම් හැඳින්වුණු ප්‍රදේශයේ තත්වය මීට සපුරාම වෙනස් විය. ඊට හේතුව එම ප්‍රදේශවල ගුරුවරියන් සාරිය වෙනුවට තම සාම්ප්‍රදායික ඇඳුම වන ඔසරියෙන් සැරසී සේවය සඳහා පැමිණීම ය. සාරිය ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පැතිරුණු ඇඳුමක් වුව ඔසරිය යනු කන්ද උඩරට රාජධානි සමයේ දකුණු ඉන්දියානු කාන්තා ඇඳුමක් ඇසුරින් අප රටේ දීම නිර්මාණය වූ කාන්තා ඇඳුම් විලාසිතාවකි.මුල දී “ඔහොරිය” අනුවෙන් හැඳින්වුණු මෙය ඔසරිය ලෙස සුභාවිත ඇත්තේ පසු කලෙක ය.අප දන්නා පරිදි අප රටේ මධ්‍යම, වයඹ, උතුරුමැද,සබරගමුව ආදී ප්‍රදේශ බොහොමයක ගුරුවරියන් ගේ පමණක් නොව වෙනත් රජයේ සේවිකාවන් ගේ ප්‍රධානතම ඇඳුම අතරට අදත් ඔසරිය එක් වී තිබේ. මේ අතර 1960 දශකයේ ආරම්භයේ දී මෙම සාරි ඔසරි ආදිය හැඳීමේ දී කාන්තා සිරුරේ ඉන ප්‍රදේශයේ තීරයක් නිරාවරණය වී පැවැතීම අශ්ලීල දෙයක් ය යන සමාජ කතිකාවක් පැන නැඟිණ.එවක එම නිරාවරණ තීරුව එවක බොහෝ දෙනෙකු ‘ඔබේ තීරය’ යන සරදම් නමින් හැඳින්වූහ. ඊට හේතුව එවක ජනප්‍රිය පුවත් පතක පාඨක ලිපි සඳහා එවැනි තීරුවක් වෙන් කොට තිබීම ය.පාසලේ එදිනෙදා ඉගැන්වීමේ කටයුතු වල දී ගුරුවරියන් කළු ලෑල්ල භාවිතා කිරීමේ දී ඇය ඉදිරියේ හිඳින දරුවන්ට ගුරුවරියන් ගේ මෙම නිරාවරණ ඉඟ තීරය පහසුවෙන් දර්ශනය වීම සාමාන්‍ය දෙයකි. මේ අතරේ එම ඇතැම් ගුරුවරියන් තම ඉන ප්‍රදේශය අනවශ්‍ය ලෙස හුවා දක්වමින් සාරි ඔසරි අඳින බවට එවක අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි ලැබුණු අතර ඒ කාලයේ එය ජාතික පුවත් පත්වල ප්‍රධාන සිරස්තලය සඳහා පවා යොදා ගන්නා ලදී.
මේ සියලු ඓතිහාසික සමාජමය පසුබිම් කරුණු ඔස්සේ වර්තමානයේ පාසල් ගුරුවරියන් සාරි ඔසරි හැරුණු කොට වෙනත් ඇඳුමකින් සැරසී පාසල් නොපැමිණිය යුතුය යන චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුබට වන බවක් පෙනේ.මේ අතර කොරෝනා සමයේ රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් ඇඳගෙන එන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය 2022.09 07 දින නිකුත් කළ 5/2001 චක්‍රලේඛය පරිදි සකස් කර නැවත ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දුන් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවසීය.කොරෝනා සමයේ රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් ඇඳගෙන එන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එම චක්‍රලේඛය නිකුත් කර තිබූ බව කී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය සේවකයන් ගුරුවරුන් ද රාජ්‍ය සේවකයන්ට අයත් වන බැවින් ඔවුන් ද මෙසේ වෙනත් ඇඳුම් ඇඳගෙන පැමිණ ඇතැයි සඳහන් කළේය.
එම චක්‍රලේඛය වෙනස් කොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් ඉදිරිපත් කළ පසුව ඇතිවන තත්ත්වය ගැන බලමු යැයි ද ඇමති වරයා කීය.නමුත් අධ්‍යාපන අමාත්‍යංශය එවන් චක්‍රලේඛයක් නිකුත් නොකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ “පානෙන් එළිය බැලීමට” ඇමති වරයා සිතනුයේ ඇයි? ඒ එවිට එය ගුරුවරියන්ගේ නිල ඇඳුම වශයෙන් ප්‍රකාශයට පත් වී ඔවුනට වැටුපට අමතර නිල ඇඳුම් දීමනාවක් ද ගෙවීමට සිදුවන නිසා විය යුතු ය. ඒ කෙසේ හෝ අප රටේ පාසල් ගුරුවරියන් සාරි ඔසරි අතහැර වෙනත් ඇඳුමකට පිවිසීම මෙරට සංස්කෘතික සහ සාර ධර්ම පද්ධතියට අහිතකර බලපෑමක් සිදුවන බවට හඬ නඟන්නෝ ද වෙති. නමුදු ඔවුන් සාරිය හෝ ඔසරිය යන පෙරදිග ඇඳුම හැඳ සිටින ගුරුවරිය සිසුනට ලබා දෙන්නේ ද බටහිර අධ්‍යාපනික මූල ධර්ම මත පදනම් යුරෝ කේන්ද්‍රීය අධ්‍යාපනයකි. එමෙන්ම ගුරුවරියන් සාරි ඔසරි හැර වෙනත් ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමෙන් අප සමාජයේ සංස්කෘතික සන්දර්භයට අනර්ථකාරී බලපෑමක් සිදු වන බවට මෙරට භික්ෂු සමාජයෙන් නැඟෙන පොදු චෝදනාව කෙරෙහි ද අප විමසිලිමත් විය යුතු ය.ඔවුන් පවසන අන්දමට එවැන්නක් සිදුවේ නම් ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා මාලිගාව වැනි දේශීය ආගමික සංස්කෘතික කේන්ද්‍රස්ථාන වෙත පිවිසෙන කාන්තාවන්ට සුදුසු සංවර ඇඳුමක් යන සංකල්පය පසෙක දමා සාරියෙන් හෝ ඔසරියෙන් සැරසී එන ලෙසටත් නියමයක් පැනවිය යුතු නොවන්නේද?
දමයන්ති ගමගේ