Saturday, January 18, 2025

ගුරු දිනය සමරා පැය කිහිපයකට පසු මොලොව හැර ගිය තමරා ටීචර්.

Must read

ලෝක ගුරු දිනය යෙදී තිබූ පෙරේදා දිනයේදී තම සිසු සිසුවියන්ගෙන් වැදුම් පිදුම් ලබමින් ඔවුන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ ගුරු මාතාවකට ඊට පැය කිහිපයකට පසුව අවාසනාවන්ත අයුරින් මෙලොව හැරයන්නට සිදුවීමේ පුවතක් පිළිබදව පොල්පිතිගම ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

පොල්පිතිගම, ගල්ටැන්වැව ප‍්‍රදේශයේදී රිය අනතුරකට ලක්වීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ ඒ. බී. ටී. එම්. තමරා කුමාරි බණ්ඩාරනායක නැමති 52 හැවිරිදි අවිවාහක ගුරුවරියකි.

තම මස්සිනා විසින් පැදවූ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ගසක වැදීමෙන් එහි ගමන් කරමින් සිටි තමරා කුමාරි මහත්මිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර මිය යන අවස්ථාව වන විට ඕ පොල්පිතිගම ජාතික පාසැලේ දෙමළ භාෂාව පිළිබදව ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියාය.

පෙරේදා සවස තම නැගණියගේ දරුවාට ප‍්‍රතිකාර ගැනීම සදහා ඇගේ නැගණිය, මස්සිනා සහ දරුවාද සමග මහනුවර ගොස් ආපසු නිවස බලා එමින් සිටියදී රාත‍්‍රි 11. 45 ට පමණ ගල්ටැන්වැව ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදු වී තිබිණි. වාහනය පාරෙන් ඉවතට පැන මීටර් 20ක් පමණ කාණුවක් දිගේ ඇදී ගොස් මාර්ගය අයිනේ තිබූ කොහොඹ ගසක සහ කොන්ක‍්‍රීට් බෝක්කුවක වැදී නතර වී තිබිණි. අනතුර සිදුවන අවස්ථාව වන විට මියගිය තමරා මහත්මිය සහ දරුවා ඉදිරිපස අසුනෙහි ගමන් කරමින් සිට ඇති අතර ගුරුවරියගේ හිස වාහනයේ ඉදිරි වීදුරුවෙහි වැදී තිබූ බවත්, ඇය වාහනය තුළම මියගොස් සිටි බවත් සිද්ධිය ඇසින් දුටුවෝ වයඹ ටුඩේ වෙබ් අඩවියට කීහ. දෙපා වලට සිදුවූ බරපතල තුවාල සහිතව ඇගේ තුරුළේ සිර වී සිටි දරුවා ප‍්‍රදේශවාසීන් විසින් ගලවා ගැනීමෙන් පසුව රෝහල් ගත කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ ගුරුවරියගේ නැගණිය සහ මස්සිනාද ප‍්‍රදේශවාසීන් විසින් පොල්පිතිගම දිසා රෝහල වෙත ඇතුලත් කර ඇති අතර තුවාලකරුවන් තිදෙනාම වැඩිදුර ප‍්‍රතිකාර සදහා කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. පොල්පිතිගම ජාතික පාසැල ආසන්නයේම පිහිටි තමරා කුමාරි මහත්මියගේ නිවසට අනතුර සිදු වූ ස්ථානයේ සිට ඇත්තේ කිලෝමීටර් හතරකටත් නොඅඩු දුරක් වීමද විශේෂත්වයකි.

පෙරේදා දිනයේදී ගුරු දිනය සැමරීම වෙනුවෙන් සිය පාසල් භූමිය සැරසිලි කළ පොල්පිතිගම ජාතික පාසැලේ සිසු සිසුවියන්ගේ අතින්ම තමරා ගුරු මහත්මියගේ අභාවය වෙනුවෙන් පාසල තුළ සුදු කොඩි එල්ලන ආකාරය ඊයේ දැකගත හැකි විය.

පොල්පිතිගම පොලීසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවන අතර, රියදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවටත්, මෝටර් රථයේ සිටි කිසිවෙකුත් අනතුර සිදුවන අවස්ථාව වනවිට ආසන බද පටි පැළැද නොසිටීම නිසා අනතුර බරපතල වී ඇති බවත් පොලිසිය කියයි.

පොල්පිතිගම වීරරත්න.

polpithigamateacher4 polpithigamateacher1 polpithigamateacher2 polpithigamateacher3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article