Saturday, November 23, 2024

ගැලැවුණු පිළිමේ එල්ලුණු දේශපාලනය !

Must read

alu_yata_gini_16_9_1alg_july_7_4
වටයක් ගිය කැටවලගෙදර ආපසු හිටිතැනටම.

මාස ගණනක් තිස්සේ හැලහොල්මනක් නැතිව සිටි කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවලගෙදර පසුගිය සතියේ යළි කරළියට පැමිණියේය. කැටවලගෙදර කරළියට එන්නේ නිකම්ම නිකම් නොව පැත්ත මාරුවෙන ලෙසට උඩ පැන ගසන අපූරු කරණමක්ද සමගිනි. ඒ කරණමත් සමග පිල් මාරුව විෂයේදී තමන් රොනී ද මැල් පවා පරාජය කරන්නට තරමේ සමත් කරණම්කරුවෙකු බව කුලියාපිටියේ ජනතාව ඉදිරියේ ඔප්පු කර පෙන්වන්නට කැටවලගෙදර සමත් වී තිබේ. පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකිරීමට අවස්ථාව නොලැබීමේ වාඩුව පිරිමසන්නට කැටවලගෙදර එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ ඇමැති අකිලගේ කණදුල්ලේ පිහිටි නිවසේ කෑම මේසයේදීය. පක්ෂයෙන් තමාට සිදු වූ අසාධාරණකම් සහ පළාත් ඇමැති දෙහිගමගෙන් සිදුවන හිරිහැර හමුවේ තමාට තවදුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැදී සිටිය නොහැකි බව සිය ඥාතීන් මෙන්ම සමීපතම ආධාරකරුවන්ටත් කියූ කැටවලගෙදර එක්සත් ජාතික පක්ෂයට එකතු විය. ඊට පසුදින බොරැල්ල , හයිඩ් පිටියේ පැවති එජාප සමුඵවෙහි මුල්පෙළ අසුනක කැටවලගෙදර වාඩිකරවීමට ඇමැති අකිල විසින් වගබලාගෙන තිබිණි. මහ මැතිවරණය නිමා වී සති කිහිපයක් ගතවෙද්දී එජාපය සමග පටන්ගත් දීගය කටු ගා දැමූ කැටවලගෙදර මෛත‍්‍රී පාර්ශ්වය සමග අලුත් දීගයක් ආරම්භ කළේය. මේ කාලය පුරාම කාලයේදී මහින්ද, බැසිල් සහ ගෝඨාභය ඇතුලු රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ පාලන සමය කැටවලගෙදරගේ නිර්දය විවේචනයට ලක්විය. ඒ අතරේම ඇමැති දයාසිරි සමග පෙළපාලියෙන් ගිය කැටවලගෙදර ගාල්ලේ පැවැති ශ‍්‍රීලනිප මැයි රැළියටද සහභාගි විය. කුලියාපිටිය ශ‍්‍රීලනිප සංවිධායක තනතුරට ඇස ගසාගෙන සිටි කැටවලගෙදර හොරගොල්ල වලව්ව පැත්තේ රවුමක් ගසා තිබුනේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා මුණගැසීමට බවද තතුදත් අය කියති. ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායකද අවස්ථා කිහිපයකදීම මුණගැසුණු කැටවලගෙදර කුලියාපිටිය ශ‍්‍රීලනිප සංවිධායක තනතුර පිළිබදව ඉගිකර තිබූ නමුත්, වත්මන් සංවිධායක අතුල විජේසිංහගේ වෙනසක් කිරීමට දුමින්ද මැලිවීම නිසා අවසානයේදී කැටවලගෙදර තීරණය කර ඇත්තේ පළමු ඇරඹුම හෙවත් මහින්ද පිලේම සරණ පැතීමටය. ඒ සදහා මාන බලමින් සිටි කැටවලගෙදර මහින්ද පාර්ශ්වය සමග තමන්ගේ පැරණි ගණුදෙණුව යළි පණගැන්වීම සදහා කපුකම භාරදෙන්නේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් වෙතය. ”ඔයාට හොදයි නම් මට ප‍්‍රශ්නයක් නැහැ. මම වැඩේ සෙට් කරන්නම්” යැයි කී සමන්ප‍්‍රිය වැඩේට මුල පිරුවේය. ඒ අනුව පසුගිය සෙනසුරාදා ආණමඩුවේ රැස්වීමකට සහභාගිවෙමින් සිටි මහින්දගේ වේදිකාවට නැගුණු කැටවලගෙදර දෑත් එක්කොට ආචාර කරමින් නැවත වරක් මහින්ද සමග අත්වැල් බැදගත්තේය.

ටිකිරි බණ්ඩා පළාත් සභාවටත් කොලේ වහලා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සදුදා පස්වරුවේ වයඹ පළාත් සභා භූමිය වෙත පැමිණියේය. ඒ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැති අරංගේත‍්‍රම් ප‍්‍රසංගයකට සහභාගිවීමටය. මෛත‍්‍රී පිලේ මහ ඇමැතිවරයෙකු මහ ඇමැතිකම් කරමින් සිටින පළාත් සභාවකට මහින්ද පා තැබීම පුදුමය දනවන කරුණක් වුවුත් එම පුදුමය දෙගුණ කරවමින් මහින්ද පළාත් සභාව වෙත කැන්දාගෙන පැමිණ තිබුණේ එම පළාත් සභාවේම සභාපතිකම් කරනු ලබන ටිකිරි බණ්ඩා විසිනි. ටිකිරි බණ්ඩාගේ පවුලේ ඥාති දියණියකගේ හැකියාවන් එළිදක්වනු පිණිස සංවිධානය වී තිබූ මෙම අරංගේත‍්‍රම් ප‍්‍රසංගය සදහා පළාත් සභා ශ‍්‍රවණාගාරය වෙන්කරවාගැනීමේදී එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස මහින්ද සහභාගිවන බවක් සදහන් නොකර ශ‍්‍රවණාගාරය වෙන්කරවාගැනීමට ටිකිරි බණ්ඩා ඇතුලු පිරිස වගබලාගෙන තිබිණි. කෙසේවෙතත් ප‍්‍රසංගයට දින කිහිපයක් තිබියදී අදාල උත්සවය සදහා මහින්දත් සහභාගි වන බව වාර්තාවීම පළාත් සභාව තරමක් සලිත කරන්නට සමත් විය. අදාළ ආරංචියෙන් ඉහමොළ ගිනිගත් මහඇමැති ධර්මසිරි හැරෙන තැපෑලෙන් ටිකිරි බණ්ඩා ඇමැතීය. මහින්දගේ සහභාගිත්වය ස්ථිර බවට ටිකිරි බණ්ඩා වෙතින් තහවුරු කරගත් මහ ඇමැති ඊළගට කළේ අදාල ප‍්‍රසංගය සදහා තහංචි ගණනාවක් ටිකිරි බණ්ඩා වෙත පැනවීමය. අරංගේත‍්‍රම් ප‍්‍රසංගය වෙනුවට දේශපාලනික උවමනාවන් සදහා ශ‍්‍රවණාගාරය පාවිච්චි නොකරන ලෙසට ටිකිරි බණ්ඩා වෙත තරවටුවක් කරන්නටද මහඇමැති වගබලාගත්තේය. කෙසේවෙතත් මහ ඇමැතිගේ තරවටුවේ බලවත්කම නිසාද එසේත් නැතිනම් මහින්ද විසින් පනවාගත් ස්වයං වාරණයක් නිසාදැයි නිශ්චිතව කිව නොහැකි නමුත් මහින්ද අරංගේත‍්‍රම් රස වින්දා විනා එහිදී දේශපාලනයක් ගැන කතාකරන්නට නොගියේය. මහින්ද විසින් දේශපාලනය ගැන වචන කිහිපයක් කතා කළේ ඔහු එතැනින් පිටව යන අවස්ථවේදී පළාත් සභා ශ‍්‍රවණාගාරය අසලට රැස් වී සිටි මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. කෙසේවෙතත් ටිකිරි බණ්ඩා විසින් පළාත් සභාවට කළ මේ කොලේ වසා ගැහිල්ල පිළිබදව මාධ්‍යවේදීන් මහ ඇමැති ධර්මසිරිගෙන් ප‍්‍රශ්න කළේ පසුගිය අගහරුවාදා මහගෙදරදී පැවැති මාධ්‍ය හමුවකදීය. ‘‘අපි ඒ ශ‍්‍රවණාගාරය ඕනෑම කෙනෙකුට කුලියට දෙනවා. ටිකිරි අධිකාරි නෙවෙයි එයාගේ ඥාති කෙනෙක් තමයි මේක කලින්ම බුක්කරලා තියෙන්නේ. ශාලාව බුක් කරනකොට අපේ නිලධාරීන් අහන්නේ නෑ කවුද මේකේ ප‍්‍රධාන ආරාධිතයා විදිහට එන්නේ කියලා. ඒක නිලධාරින්ට අයිති වැඩක් නෙවෙයි. ඒ නිසා සල්ලි බැන්දාම අපි හෝල් එක දුන්නා. පස්සේ තමයි ටිකිරි අධිකාරි කියන්නේ හිටපු ජනාධිපතිතුමාටත් මේකට ආරාධනා කරලා තියෙනවා සහ එතුමා එනවා කියලා. නමුත් අපිට ඒක ප‍්‍රශ්නයක් වුනේ නැහැ. හෝල් එක කුලියට ගත්තාම ඕන කෙනෙකුට ඇවිත් ඒකේ වාඩිවෙන්න පුලුවන්. අපි ඒ ගැන කලබල වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම ස්වාධීනව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අපි ඒ කටයුත්තට ඉඩදීලා තියෙනවා. ’’ධර්මසිරි කීය.

ගැලුවුණු රණවිරු ස්මාරකයේ වැළලුණු ඇත්ත කතාව !

කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය එම ස්ථානයෙන් ඉවත්කිරීම පසුගිය සතියේදී කුරුණෑගල පමණක් නොව රටම කැළැඹූ සිදුවීමක් බවට පත් විය. ඉතා පැහැදිලි ලෙසම මාර්ග සංවර්ධන කටයුතු සදහා ඉඩ ලබාගැනීමේ ප‍්‍රමුඛ අවශ්‍යතාවය මත සිදුකෙරුණු මෙම ස්මාරකය ඉවත්කිරීමේ ක‍්‍රියාවලියට යම් යම් පිරිස් විසින් දේශපාලනික මුහුණුවරක් ලබාදෙන්නට උත්සාහ කරමින් සිටින බවක්ද පෙණිනි. මෙම රණවිරු ස්මාරකය ඉවත්කිරීම දේශපාලනික වාසියක් බවට පත්කරගත් පිරිස් විසින් ගොතන ලද හිතලු තොගයක්ම වෙබ් අඩවි හරහා සමාජ ගත වී තිබිණි. සැප්තැම්බර් 04 වැනිදා කුරුණෑගල මාළිගාපිටියේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප සමුඵව හේතුවෙන් මෙම රණවිරු ස්මාරකය කඩා ඉවත් කෙරෙන බවත්, එදිනට එම සමුඵවට සහභාගිවන උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ සිත් සතුටු කිරීම සදහා එම ස්මාරකය කඩා දැමූ බවත් කියමින් අන්තවාදී සහ ගෝත‍්‍රික අදහස්වලින් පිරුණු අතේ රෝල් ගණනාවක් අන්තර්ජාලය පුරා සැරිසරනු දැකගත හැකි විය. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම ස්මාරකය ඉවත්කිරීම මුල්කරගනිමින් නව සටන් පාඨයක් මුවහත් කරමින් සිටින බවක් මේ සටහන ලියැවෙන අගහරුවාදා වන විට පෙනෙන්නට තිබිණි. අගහරුවාදා වන විට ලැබී තිබූ තොරතුරුවලට අනුව ඊයේ දිනයේදී ( බදාදා) මෙම පිළිරුව ඉවත්කිරීමට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් එම පිළිරුව තිබූ ස්ථානයේදී විරෝධතාවයක් දැක්වීමටද සැලසුම් කර තිබිණි. ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම සිදුවීමට දේශපාලන මුහුණුවරක් ලබාදෙන්නට උත්සහ කරන නමුත් සත්‍ය ලෙසම සිදු වී තිබුණේ සාරගම වැව ආසන්නයේ පිහිටි වෙනත් භූමි භාගයක ඉදිකිරීම සදහා යුද හමුදාවේද සහය ඇතිව අදාළ ස්මාරකය සුරක්ෂිතව ගලවා ඉවත්කිරීම පමණකි.
වැටුණු වළෙන් ගොඩවීම පිණිස වැල් සොයමින් සිටින දේශපාලනඥයින් විසින් රණවිරු පාවාදීමක් ගැන කියමින් ජනතාව උසිගැන්වීමේ අවස්ථාවාදී වෑයමක යෙදී සිටින නමුත් කුරුණෑගල සහ ඒ අවට වෙසෙන ජනතාව මෙන්ම සිය ඕනෑ එපාකම් පිරිමසා ගැනීම සදහා නගරයට ඇදෙන ලක්ෂ ගණනක් වූ ජනතාව නම් මෙම සිදුවීම දෙස බලන්නේ ඊට වඩා බුද්ධිමත් තලයක සිටය. මක්නිසාදයත් කුරුණෑගල නගරයේ දැනට පවතින අධික තදබදය යම් තරමකින් හෝ සමනය කිරීම සදහා මාර්ග පද්ධතියේ පුඵල් කිරීමක් කුරුණෑගල ජනතාව කලෙක පටන් දැඩි ලෙස බලාපොරොත්තු වූ දෙයකි. විවිධ කාලවකවානුවලදී නගරයේ මාර්ග පද්ධතිය පුඵල් කිරීම සදහා සැලසුම් සකස් කෙරුණු නමුත් යම් යම් හේතුන් මත එම සැලසුම් හමස් පෙට්ටියටම තල්ලු වී ගියේය. නමුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආරම්භ කළ අඹේපුස්ස – දඹුල්ල මාර්ග සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල නගරයේ මාර්ග පද්ධතිය පුඵල්කිරීම ආරම්භ වූ අතර ඒ සදහා නගරයේ ප‍්‍රධාන මර්මස්ථානවලින් පවා භූමිය ලබාගැනීමට සැලසුම් වී තිබිණි. කුරුණෑගල මහ රෝහල, පොලිසිය, මාළිගාපිටිය, වෙළගෙදර ක‍්‍රීඩාංගනය, කොතලාවල විදුහල වැනි නගරයේ ප‍්‍රමුඛ ස්ථාන ගණනාවකින් මාර්ගය පුඵල් කිරීම සදහා ඉඩ ලබාගැණුනේ ඒ වනවිට ඒවායේ තිබූ ඉදිකිරීම් ගණනාවක්ද ඉවත් කරමිනි. උදාහරණයක් ලෙස කුරුණෑගල මහ රෝහල භූමියේ තිබූ පොලිස් මුරපොළ, ආපන ශාලාව, පොත්හල ආදිය පිහිටා තිබූ ගොඩනැගිලි කිහිපයක් පමණක් නොව, උමං මාර්ගයේ කොටසක්ද මාර්ග පුඵල් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කඩා ඉවත් කිරීමට සිදු විය. මෙම මාර්ග පුඵල් කිරීමේ ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබදව සෑම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදීම සාකච්ඡාවට ගැණුනු අතර මාර්ගය පුඵල් කිරීම සදහා රණවිරු ස්මාරකය පමණක් නොව පේ‍්‍රමදාස පිළිරුව, ධර්මපාල පිළිරුව සහ ඩී. බී. වෙළගෙදර පිළිරුව ඇතුලු නගරයේ පිහිටි සෙසු ස්මාරකයන් ගණනාවක්ද ඉවත්කිරීමට නියමිත බව එහිදී කියැවිණි. ස්මාරකයන් පමණක් නොව කුරුණෑගල නගරය හා බැදුණු ඓතිහාසික සංඛේතයක් වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේ වැඩමවීම දැක්වෙන බිතු සිතුවම සහිත කුරුණෑගල බන්ධනාගාර බිත්තිය පවා ඉවත්කිරීමට සිදුවන බවට දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ඒ පිළිබදව කරුණු දැක් වූ ව්‍යාපෘති භාර නිලධාරීහු කීහ. මෙලෙස ඉවත් කෙරෙන ප‍්‍රතිමා සහ ස්මාරක කුරුණෑගල සාරගම වැව ආසන්නයේ පිහිටි භූමියක ඉදිකෙරෙන මනරම් උද්‍යානයක ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සදහා දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතියද ලැබිණි. අනතුරුව වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලිගේ මූලිකත්වයෙන් පිහිට වූ කමිටුවක් හරහා අදාළ උද්‍යානය ඉදිකිරීම පිණිස සැලසුම් සකස්කර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කෙරුණු අතර ඊටද සංවර්ධන කමිටුවේ අනුමැතිය ලැබී තිබිණි. නගරයේ අහුමුලුවලට සීමා වී ඇති මෙම ස්මාරක ප‍්‍රතිස්ථාපනය කිරීම හරහා ඒවාට වැඩි ගෞරවයක් සහ පිළිගැනීමක් ලබාදිය හැකි බව දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ පොදු මතය වී තිබිණි. වෙළගෙදර පිටිය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය ඉවත්කිරීමට පසුගිය සතියේදී මුලපිරෙන්නේ ඒ අනුවය. විවිධ පාර්ශ්ව විසින් පතුරවා හැරි ආකාරයට එම ස්මාරකය කඩාබිද දැමීමක් සිදුනොවූ අතර ඊට සිදුවන හානිය අවම කරගනිමින් හමුදා සාමාජිකයින්ගේ දෑත්වලින්ම එම ස්මාරකය කොටසින් කොටස ගැලැවී ගියේය. එලෙස ගෞරවනීය ලෙස ඉවත් කෙරුණු රණවිරු ස්මාරකයේ ඇතැම් කොටස් කුරුණෑගල මහනගර සභා ගෘහස්ථ ක‍්‍රීඩාංගණ භූමියේ තැන්පත් කෙරුණු අතර ඇතැම් ස්මාරක කොටස් ප‍්‍රවාහනය කිරීම සදහා යුද හමුදාවට අයත් සුවිසල් ලොරි රථ පවා හමුදාව විසින් භාවිතා කළ අයුරු දැකගත හැකි විය. ආණ්ඩුව විසින් රණවිරුවන් අමතක කර දමා ඔවුන්ගේ ස්මාරක බිදහෙළන්නට පටන්ගෙන ඇති බවට ඒකාබද්ධ විපක්ෂය ඇතුලූ බලවේගයන් විසින් රටට අණපෙර ගසන්නට පටන්ගෙන ඇත්තේ මෙවැනි පසුබිමක් තුළදීය. මෙවැනි බොර දියේ මාලු බෑම්වලින් සිදුවිය හැකි එකම දෙය නම් අධික තදබදයෙන් මිරිකෙමින්, විස වායු ආඝ‍්‍රහණය කරමින් වසර ගණනාවක් තිස්සේ පටු මාර්ග පද්ධතියකට හිරවී බැටකමින් සිටින කුරුණෑගල ජනතාවට යම් අස්වැසිල්ලක් ලැබිය හැකි සංවර්ධන ව්‍යාපෘතියකට කණකොකා හැඞීම පමණි. කොළඹ සිට කුරුණෑගල රණවිරු පිළිමය ගැන කිඹුල් කදුඵ සලන මහත්වරුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කිරීමට ලියුම්කරු අදහස් කරයි. පාසල් ඇරෙන වැහෙන වේලාවක් බලා කුරුණෑගල නගරයේ එහා කොණ සිට මෙහා කොණ දක්වා පාගමනින් හෝ වාහනයකින් ගමන්කර බලන්නැයි අප ඔබෙන් ඉල්ලා සිටිමු. නගරයේ දෙකෙළවර යා කිරීමට කොතරම් වේලාවක් ගතවෙන්නේදැයි ගණන් තබාගෙන පරීක්ෂා කර බලන්නැයි අප ඔබෙන් ඉල්ලා සිටිමු. කිලෝමීටර් දෙක තුනක දුරක් ගෙවීමට පැය දෙක තුනක් ගෙවීමේ කරුමයකට මුහුණ දී සිටින කුරුණෑගල ජනතාව විදිමින් සිටින දුක ඒ මහතුන් විසින් නිසියාකාරයෙන් වටහා ගතහොත් පාරවල් ටික ලොකු වෙනවා නම් ඇතුගල වුවත් වෙනත් තැනකට ගෙනගියාට කමක් නැති බව ඒ මහත්වරුන් විසින් කියනු ඇති බවට නොඅනුමානය.
( ලිපිය සදහා යොදාගෙන ඇති ඡායාරූපයේ හිමිකම මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න මහතා සතුය. )

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 සැප්තැම්බර් 01 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article