Saturday, January 18, 2025

ගැබිණි ගුරුවරියන්ට අකිලගෙන් සහනයක්.

Must read

Pregnant_teachers_uniformදරු ප‍්‍රසූතියට ආසන්නව සිටියදී පවා සාරිය ඇදගෙන පාසලට පැමිණීමට සිදුවීමෙන් ගර්භණී තත්වයේ පසුවන ගුරුවරියන් මුහුණදෙන දුෂ්කරතාවයන් පිළිබදව සලකා බලා ඔවුන්ට විධිමත්, සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදිය හැකිදැයි සොයාබැලීම සදහා කමිටුවක් පත් කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ රුපියල් කෝටි 8 මුදලක් වැයකරමින් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත නව ශ්‍රවණාගාරය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට පෙරේදා ( 27 දා) එක්වෙමිනි.

එමෙන්ම රජයේ පාසල් සදහා නියම කර ඇති ටයි පටිය සහිත සුදු පැහැති නිල ඇදුම හේතුවෙන් සිසු සිසුවියන්ද පීඩා විදිමින් සිටින බව පෙනී යන හෙයින් මෙරට පාසල් සිසු සිසුවියන්ගේ නිල ඇදුම වෙනස්විය යුතු කාලයද එළැඹ ඇ‍තැයි තමන් කල්පනා කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙලෙස පැවසීය.

“ මේ සුදු පාට ඇදගෙන ඉන්න අපේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දකිද්දී මට වේලාවකට හිතෙනවා ලෝකයේ අනිත් රටවල්වල නම් සුදු පාට අදින පාසල් ශිෂ්‍යයෝ හරි අඩුයි කියලා. සමහර වෙලාවට මම දකිනවා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇදුම් පොඩි වෙයි කියලා, කිලිටි වෙයි කියලා පරිස්සමෙන් හැසිරෙනවා. ඇයි අපි මේ සුදුපාටම අදින්නේ කියලා එතකොට මම හිතනවා. රස්නෙටත් ඔරොත්තුදෙන විදිහට ලා පාට හතරක් පහක් තෝරලා දීලා, ඒ ඒ පාසල්වලට තමන් කැමැති පාටක් තෝරාගන්න දෙන්නේ නැත්තේ ඇයි කියලා මම හිතනවා. අපේ රටේ පාසල් ශිෂ්‍යාවෝ ටයි දාගෙන ඉන්නවා මම දකිනවා. මොණරාගලට යද්දි දාඩිය පෙරාගෙන එහේ ශිෂ්‍යාවොත් ටයි දාගෙන ඉන්නවා. සමහර පාසල්වල නම් ටයි එක නැතිව, කර කපලා අපේ රටේ ප‍්‍රදේශවලට ගැලපෙන විදිහට ඒ ඇදුම නිර්මාණය කරගෙන තියෙනවා. ඇයි අපි මේ වෙනසට යන්නේ නැත්තේ ? අලුතින් හිතන්නේ නැතිව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙතරම් අපහසුතා මැද අධ්‍යාපනය ලබාදෙන්නේ ඇයි කියලා අධ්‍යාපන ඇමැතිවරයා විදිහට මට හිතෙනවා.  ’’

‘‘ ඒ වගේම අපේ ගැබිණි ගුරුවරියන් පාසල්වලට එනවා. දරු ප‍්‍රසූතියට ඔන්න මෙන්න කියලා ඉදිද්දිත් මේ ගුරු මාතාවන් සාරිය ඇදගෙන පාසලට එනවා. මට එක්තරා අවස්ථාවකදී වෛද්‍යවරයෙක් කිව්වා අවස්ථා කිහිපයකදීම දරුවාට හානි වුණා මේ සාරිය ඇදගෙන, පටි හිරකරගෙන එන්න වෙලා තිබීම නිසා කියලා. ඒ නිසා මම ඒ පිළිබදව තීරණයක් ගන්න කමිටුවක් දැම්මා. මොකද අපේ රටේ ගුරුවරු දෙලක්ෂ තිස් හත්දහසක් ඉන්නවා . මේකෙන් කාන්තාවෝ ප‍්‍රමාණය වැඩියි. ඒ කාන්තා ගුරුවරියන්ට විධිමත් සුදුසු ඇඳුමක් අදින්න දෙන්නේ නැත්තේ ඇයි කියලා මම කල්පනා කරනවා. මේ වගේ දේවල් ගැන අලුතින් හිතන එකේ වැරැද්දක් නැහැ. අලුතින් හිතපු රටවල් සහ අලූතින් හිතපු මිනිස්සු අද ඉදිරියට ගිහින් ඉන්නවා. අධ්‍යාපනයේ විෂය මාලා ගැන හිතනවා වගේම, අධ්‍යාපනයේ අනාගතය ගැන හිතනවා වගේම මේ ක‍්‍රමවේද ගැනත් නැවත සිතිය යුතු කාලය ඇවිත් තියෙනවා. ඒ නිසා ඒ දේවල් ක‍්‍රියාවට නගන්න අපි නොපැකිලව  කටයුතු කරනවා කියන එකත් මම කියන්න ඕනෑ. ’’ යැයි පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article