උහුමීය, කොට්ටගස් හන්දියේ සිට හංහමුණ දක්වා මාර්ගය දිගු කලක් තිස්සේ පිළිසකර නොකිරීමට විරෝධය පළකරමින් ප්රදේශවාසීන් විසින් කපා දැමූ ගස් සහ ලී කොටන් යොදා මාර්ගය අවහිර කරමින් අද උදෑසන සිට ආරම්භ කර තිබූ විරෝධතාවයක මීට ටික වේලාවකට පෙර අවසන් කෙරිණි.
ගම්මාන පහළොවකට අධික ප්රමාණයක් හරහා දිවෙන මෙම මාර්ගය දහසකට අධික ජනතාවක් විසින් සිය ගමනාගමන කටයුතු සදහා දෛනිකව භාවිතා කරන බවත්, රජයේ පාසල් දෙකක් පිහිටා ඇති මෙම මාර්ගයෙහි පුද්ගලික සහ ලංගම බස් රථ හයක් දිනපතා ධාවනය කෙරෙන බවත් විරෝධතාකරුවෝ මෙහිදී කීහ. වසර ගණනාවක සිට දැඩි අබලන් තත්වයක පවතින මෙම මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ජනතාව විසින් දේශපාලනඥයින්ට සහ බලධාරීන්ට දැනුම් දී ඇතත් මේ වනතෙක් එම මාර්ගය කිසිදු ප්රතිසංස්කරණයකට ලක්නොවු බවද විරෝධතාවයේ යෙදුණු ප්රදේශවාසීහු කීහ.
මාර්ගය මතට වැටෙන ලෙස කපා දැමූ ගස් සහ ලී කොටන් යොදා කොට්ටගස් හන්දියේ සිට හංහමුණ දක්වා වූ ප්රධාන මාර්ගය සහ අතුරු මාර්ග සියල්ලම අවහිර කර තිබීම හේතුවෙන් අද දිනය තුළදී කිසිදු වාහනයකට එම මාර්ගයට ඇතුලූ විය නොහැකි වූ අතර එම මාර්ගයේ ධාවනය කෙරෙන ලංගම සහ පුද්ගලික බස් රථ තැන තැන නවත්වා ඇති අයුරුද දැකගත හැකි විය.මාර්ගය අවහිර කිරීමෙන් පසුව අද උදෑසන අටට පමණ කුරුණෑගල – මීගමුව මාර්ගයේ උහුමීය, කොට්ටගස් හන්දිය අසලට රැස් වු දෙසියයකට අධික ගම්වාසීන් පිරිසක් එම හන්දියේ වාඩි වී විරෝධතාවයේ යෙදුණහ. විරෝධතාකරුවන් විසින් කුරුණෑගල – මීගමුව මාර්ගය අවහිර කිරීම වැළැක්වීම සදහා මෙම ස්ථානයට පොලිස් කැරළි මර්දන ඒකකයද කැදවා තිබිණි.
අද දහවල් මෙම ස්ථානයට පැමිණි පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක එච්. එම්. ජයරත්න මහතා ගම්වාසීන් සමග සාකච්ඡා කිරීමට උත්සාහ කළ ගම්වාසීන් විසින් හූ හඩ නගමින් ඔහු එම ස්ථානයෙන් පළවා හරිනු ලැබීය.
ඡායාරූප- ගුණරත්න ලියනආරච්චි / නිරෝෂන් ජයතිස්ස