කුලියාපිටිය බස් නැවතුම්පොළේදී අතහැර දමා ගොස් සිටි අවුරුදු දෙක හමාරක් පමණ වයසැති සිගිති දැරියක් ඒ මේ අත දුවමින් තම මව සොයා හඩා වැලෙපෙන සංවේදී දසුන දුටු සිත් පිත් ඇති හැමකෙනෙකුගේම දෙනෙත් ඊයේ (30 දා ) පස්වරුවේ කදුළින් තෙමී ගියේය.
ඊයේ පස්වරු 5 ට පමණ බස් නැවතුම්පොළේ ඒ මේ අත දුවමින් සිටි මෙම දැරිය දුටු වේලා සටහන්කරුවන් සහ මගීන් කිහිපදෙනෙකුම ඇයගේ නම, ගම ආදි තොරතුරු විමසා ඇතත් ඉන් බියට පත් දැරිය මහ හඩින් හැඞීම විනා ඒවාට පිළිතුරු දීමට ඉදිරිපත් නොවූවාය.
මේ අවස්ථාවේදී තම සේවය නිමවා නිවස වෙත යමින් සිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩුබද්දාව ඩිපෝවේ සේවය කරන බව කියන එච්. ඩී. විනිප්රීඩා මහත්මිය විසින් හඩමින් සිටි මෙම දැරිය දැක ඇය තම තුරුලට ගෙන හිස අතගා දැක් වූ සෙනෙහස හේතුවෙන් හැඞීම මදකට නතර කළ දැරිය විනිප්රිඩා මහත්මියට අවනත වූවාය.
පසුව එහි පැමිණි පොලිස් නිලධාරීන් දැරිය කුලියාපිටිය පොලිසිය වෙත කැදවාගෙන යාමට උත්සාහ කළ නමුත් දැරිය විලාප නගමින් එය ප්රතික්ෂේප කළාය. මේ නිසා දැරිය පොලිසියට වෙත රැුගෙන යාමට මුණුපුරු මිනිපිරියන්ගේ කිහිපදෙනෙකුගේ ආදරණිය මිත්තනියක බව කියන විනිප්රීඩා මහත්මියගේ සහය පැතීමට පොලිසියට සිදු විය.
අධික තෙහෙට්ටුවෙන් මෙන්ම බිය හේතුවේන දුර්මුඛ වී සිටි මෙම අහිංසක දැරිය කුලියාපිටිය පොලිස් ස්ථානයේදී නහවා පිරිසිදුකර, ආහාරපාන ලබාදීමෙන් අනතුරුව විනිප්රීඩා මහත්මියගේ තුරුලට වී සුව නින්දකට වැටුණාය.
මෙම දැරිය සහ ඇගේ මව පිළිබදව අනාවරණය කරගැනීම සදහා පොලිසිය මහජන සහය පතයි. ඔවුන් පිළිබදව යම් තොරතුරක් වෙතොත් 0372281222 හා 0372281223 යන අංක ඔස්සේ කුලියාපිටිය පොලිසිය වෙත දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කුලියාපිටිය උපේන්ද්ර සේරසිංහ.
( නමක් ගමක් නොදන්නා මේ අවිහිංසක දැරියගේ පුංචි සිතට යම් සහනයක් හෝ ලබාදීම වෙනුවෙන් තමන්ගේ සියලු කටයුතු පැය කිහිපයකින් කල් දමා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ එච්. ඩී. විනිප්රීඩා මහත්මිය වෙත වයඹ ටුඩේ වෙබ් අඩවිය සිය ආචාරය පුදකර සිටියි.)