කුරුණෑගල, කොළඹ පාරේ පිහිටි හෝටලයක කාමරයක් තුළ සිදු වූ පිහි ඇණුමකින් තුවාල ලැබූ පුරුෂයෙකු සහ ඔහුට පිහියෙන් ඇණීමෙන් පසුව වස පානය කළ බව කියන කාන්තාවක් මීට ටික වේලාවකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
වැඩි විස්තර සදහා වයඹ ටුඩේ සමග රැදී සිටින්න.
update (8.40 pm )
පිහිඇණුම හේතුවෙන් මෙලෙස තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලම ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුට පිහියෙන් ඇණ වස පානය කළ බව කියන කාන්තාව උකුවෙල ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක් බවට හදුනාගෙන ඇත.
අද උදෑසන 8.10 ට පමණ අදාළ හෝටලය වෙත පැමිණ ඇති මෙම යුවළ එහි කාමරයක් කුලියට ගෙන දහවල් වනතුරුම එහි රැදී සිට තිබේ. පස්වරු 2.45 ට පමණ පිරිමි පුද්ගලයා ලේ පෙරාගෙන කාමරයෙන් පිටතට පැමිණ ඇති අතර කාන්තාවද කාමරය මැද බිම වැටී දගලන අයුරු හෝටල් සේවකයින් විසින් දැක තිබේ. පසුව හෝටල් සේවකයින් විසින් මෙම දෙදෙනාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වස පානය කළ කාන්තාවගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි. පිරිමි පුද්ගලයාගේ සිරුරේ ස්ථාන දෙකකට පිහිපහරවල් වැදී ඇති නමුත් ඔහුගේ තත්වය බරපතල නොවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
තමන් ඇදේ නිදා සිටියදී කාන්තාව විසින් තමාට පිහියකින් ඇන්න බවත්, ඒ සමගම ඇය අතේ තිබූ වස කුප්පියක් කඩාගෙන පානය කළ බවටත් පිහි ඇණුම් කෑ පුද්ගලයා පොලිසිය වෙත ප්රකාශ කර තිබේ.මෙම යුවළ රැදී සිටි කුලී කාමරය පරීක්ෂාවට ලක් කළ පොලිස් නිලධාරීන් විසින් පිහි ඇණුමට යොදාගත් පිහියට අමතර කාන්තාව විසින් ගෙන එන්නට ඇති බවට සැකකෙරෙන තවත් පිහියක්ද එම කාමරය තුළ තිබියදී සොයාගෙන තිබේ. කුරුණෑගල මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.