Tuesday, November 19, 2024

කුරුණෑගල කුණු ඇළේ ඝාතනයේ සුළමුල මෙන්න !

Must read

උල් ආයුධයකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් හත්දෙනෙකු අද (14 දා ) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුරුණෑගල වැඩබලන මහේස්ත‍්‍රාත් නලින් ජයසූරිය මහතා ඊයේ (13 දා ) නියෝග කළේය.

උල් ආයුධයකින් උදර ප‍්‍රදේශයට ඇනීමෙන් ඝාතනය කර තිබූ මෙම පුද්ගලයාගේ මළසිරුර කුරුණෑගල ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි කුණු ඇලක වැටී තිබියදී පසුගිය 11 වැනිදා උදෑසන පොලිසිය විසින් සොයාගනු ලැබීය. මෙලෙස ඝාතනය කර තිබුණේ වාහන අලෙවිකිරිමේ තැරැව්කරුවෙකු බව කියන මාවතගම, වෑඋඩ , බණ්ඩාරගලවත්ත ප‍්‍රදේශයේ පදිංචි ඇන්තනී ලක්ෂ්මන් විජේන්ද්‍ර කුමාර් නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

ප‍්‍රසිද්ධ මූල්‍ය සමාගමක කුරුණෑගල ශාඛාව විසින් වාහන අලෙවිකිරීමේ ආයතන හිමිකරුවන් සහ වාහන අලෙවිකිරිමේ තැරැව්කරුවන් සදහා පසුගිය 10 වැනිදා රාත‍්‍රියෙහි කුරුණෑගල වැවරවුමේ පිහිටි හෝටලයකදී සංවිධානය කර තිබූ සාදයකදී ඇති වූ ගැටුමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය කියයි.

අදාළ සාදයට සංගීතය සැපයූ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් සහ සාදයට පැමිණ සිටි වාහන අලෙවිකිරීමේ ආයතන හිමිකරුවන් කිහිපදෙනෙකු අතර ගැටුමක් හටගෙන ඇති බවත් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ඇතුඵ පිරිසක් විසින් පහරදීම නිසා තුවාල ලැබූ වාහන අලෙවිකිරීමේ ආයතන හිමිකරුවන් දෙදෙනෙකු එදින රාත‍්‍රියේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ඒ අවස්ථාවේදී පහරකෑමට ලක් වූ ව්‍යාපාරිකයෙකුගේ පුත‍්‍රයෙකු ඇතුඵ කණ්ඩායමක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ ඇති බවත්, වරදවා වටහාගැනීම නිසා රෝගියා ඇතුලත් කිරීමට රෝහල වෙත පැමිණ සිටි පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. එම පිරිස අතර සිටි දැනට මියගොස් සිටින පුද්ගලයාටද ව්‍යාපාරිකයෙකුගේ පුත‍්‍රයා ඇතුඵ කණ්ඩායම විසින් පහර දී ඇති අතර ඔහු විසින් එම ස්ථානයෙන් පලායන්නට උත්සාහ කිරීමේදී දුනු පිහියකින් ඔහුගේ බඩට ඇන ඇති බවත් දැනට කෙරී ඇති පොලිස් පරීක්ෂණයන්හිදී හෙළි වී තිබේ.

සැකකරුවන් පිරිස අද කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කුරුණෑගල ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි කුණු ඇලක වැටී තිබූ මළසිරුර

murder3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article