Sunday, January 19, 2025

කුරුණෑගල කාණු දිගේ අසූචි ඉතිරේ.

Must read

කුරුණෑගල පොදු වෙළදපොළ භූමියෙහි මීට මාස කිහිපයකට පෙර අලූතින් ඉදිකරන ලද පොදු වැසිකිළියේ මලප‍්‍රවාහන නල අබලන්වීම හේතුවෙන් ඉන් බැහැර කෙරෙන මිනිස් අසූචි නගරයේ ප‍්‍රධාන කාණු පද්ධතිය වෙත මුදාහරිමින් පවතින අයුරු වයඹ ටුඩේ මෙලෙස අනාවරණය කරයි.

දැනට සති කිහිපයක සිට මෙම පොදු වැසිකිළියෙහි මලප‍්‍රවාහන නල අබලන්වීම නිසා එම වැසිකිළියෙන් ඉවතට ගලන අසූචිවලට වතුර ගසමින් ඒවා වැසිකිළිය තුළින් පිටතට බැහැර කිරීමට එහි නඩත්තු කටයුතු භාර නගර සභා සේවකයින් විසින් කටයුතු කරමින් සිටිති. එලෙස වතුර ගසා බැහැර කරනු ලබන මිනිස් අපද්‍රව්‍ය කෙලින්ම එකතුවන්නේ කුරුණෑගල පොදු වෙළදපොළ භූමිය වටා ඇති කාණු පද්ධතියට වන අතර ඒ හේතුවෙන් එම කාණු පද්ධතිය තුළ මිනිස් මළපහ එක් රැස් වී ඇති අයුරුද දැකගත හැකිය. ආවරණයක් නොමැති මෙම කාණු පද්ධතියට එකතු වී ඇති මිනිස් මළ හේතුවෙන් මේ දිනවලදී පොදු වෙළදපොළ භූමිය පුරා දැඩි දුර්ගන්ධයක්ද පැතිරී පවතී.

කුරුණෑගල පොදු වෙළදපොළ භූමිය වටා ඇති කාණු පද්ධතිය නගරයේ ප‍්‍රධාන කාණු පද්ධතියට සම්බන්ධ වන අතර එම ප‍්‍රධාන කාණු පද්ධතිය නගර හරහා දිවෙන බූ ඇල සමග සම්බන්ධ වී පවතී. ඒ අනුව කුරුණෑගල පොදු වෙළදපොළ භූමියේ වැසිකිළියෙන් බැහැර කෙරෙන මිනිස් අසූචි සමස්ත නගරය පුරාම පැතිරී ගොස් තිබීම මෙන්ම ප‍්‍රධාන ජල මූලාශ‍්‍රවලට එකතුවී තිබීම හේතුවෙන් කුරුණෑගල නගරවාසීන් බරපතල සෞඛ්‍ය ගැටඵවකට මුහුණ දී සිටිති. මෙලෙස විවෘත භූමියකට මිනිස් මළපහ මුදාහැරීම නගර සභා ආඥාපනත යටතේ මෙන්ම නිරෝධායන හා රෝග වැලැක්වීමේ පනත යටතේද අධිකරණයකින් දඩුවම් ලැබිය හැකි වරදක් ලෙසද සැලකේ.

මේ පිළිබදව විමසීමට ඊයේ (15 දා ) කුරුණෑගල නාගරික කොමසාරිස් වරුණ සමරදිවාකර මහතාගේ කාර්යාල දුරකථනයට ඇමතූ විට දුරකථනයට පිළිතුරු දුන් අයෙකු ප‍්‍රකාශ කළේ කොමසාරිස්වරයා රැස්වීමක් සදහා කාර්යාලයෙන් බැහැර වී ඇති බවය. ඉන් අනතුරුව මේ පිළිබදව විමසීමට කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතාගෙන් ජංගම දුරකථනයට ඇමතූ නමුත් ඔහු ඊට ප‍්‍රතිචාර නොදැක්වීය.

මිනිස් අසූචි නගරයේ ප‍්‍රධාන කාණු පද්ධතිය වෙත මුදාහරිමින් පවතින අයුරු

mck_toilets_5 mck_toilets_6 mck_toilets_1 mck_toilets_2 mck_toilets_4 mck_toilets_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article