බණ්ඩිරිප්පුව, ෆාතිමාවත්ත, වැලිබැම්ම ප්රදේශයේ පවත්වාගෙන ගිය අනවසර ගව ඝාතකාගාරයක් අද (12) උදෑසන වටලා එහිදී මස් කිරීමට සුදානම් කර සිටි ගවයන් 5 දෙනෙකුගේ දිවි බේරාගත් වෙන්නප්පුව පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීහු සමග එම අනවසර ඝාතකාගාරයේ සේවය කළ බව කියන පුද්ගලයන් පස් දෙනෙක්ව සැකපිට අත්අඩංගුවට ගත්හ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ප්රදේශයේම පදිංචිකරුවන් පිරිසකි. කාලයක් තිස්සේ මෙම ස්ථානයේදී අනවසර ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යන බවට ලැබී තිබූ තොරතුරක් මත අදාල ස්ථානය වැටලූ පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන්ට අමතරව ගවයින් මස්කිරීමට යොදාගත් බව කියන පිහි, පොරෝ සහ කිරුම් උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වැටලීම සිදුකිරීමට පැයක් පමණ ප්රමාද වූවා නම් ගවයින් පස්දෙනාගේ මස් වෙන්නප්පුව ප්රදේශයේ පිහිටි මස් කඩවල කොකු වල එල්ලී තිබෙන ආකාරය දැකගත හැකිව තිබූ බව වැටලීම මෙහෙය වූ පොලිස් නිලධාරියෙකු පැවසීය.
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්රිය ජයතිලක මහතාගේ අධික්ෂණයෙන් මූලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත, එහි දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සුදුසිංහ , උප පොලිස් පරික්ෂක රුසිරු කොස්තාපල් වසන්ත (59696) රත්නායක(67308) සහ ජයසංඛ ((37911) යන නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.