දිගු කලක් තිස්සේ පිළිසකර කිරීමකට ලක්නොවීම හේතුවෙන් පයින්වත් ගමන් කළ නොහැකි තරමට අබලන් වී තිබූ, දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශයේ ලිහිණිවැහැර සිට රෑද්දගොඩ දක්වා වූ මාර්ගය ප්රදේශවාසී සිංහල සහ මුස්ලිම් ජනතාව එක් වී ඔවුන්ගේ පුද්ගලික මුදල් සහ ශ්රම දායකත්වය යොදවා පිළිසකර කරගත්හ.
ගම්මාන දහයකට අධික ප්රමාණයක් හරහා දිවෙන ලිහිණිවැහැර සිට රෑද්දගොඩ දක්වා වූ මෙම මාර්ගය දෙදහසකට අධික ජනතාවක් විසින් සිය ගමනාගමන කටයුතු සදහා දෛනිකව භාවිතා කරති. රජයේ පාසල් හයක්, අපනයන මල් ගොවිපලක් සහ ආගමික ස්ථාන ගණනාවක්ද පිහිටා ඇති මෙම මාර්ගයෙහි පුද්ගලික සහ ලංගම බස් රථ තුනක්ද දිනපතා ධාවනය කෙරෙයි.
දැනට මාස කිහිපයක සිට දැඩි අබලන් තත්වයක පැවැති මෙම මාර්ගයෙහි ඉතා ගැඹුරු වළවල් පවා හෑරී තිබිණි. මාර්ගයේ පවතින දැඩි අබලන් බව සහ ඒ හේතුවෙන් තමන් පත් වී සිටින දුෂ්කරතාවයන් පිළිබදව ප්රදේශවාසී ජනතාව විසින් ප්රදේශයේ දේශපාලනඥයින් සහ අදාළ නිල බලධාරීන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇති නමුත් ඔවුන් විසින් ඊට ප්රතිචාර නොදැක්වීම නිසා මෙම මාර්ගය කලක් තිස්සේ අබලන් තත්වයේම පැවැතිණි.
මේ හේතුවෙන් ප්රදේශවාසීන් විසින් කළ ඉල්ලීමක් මත තෙළඹුගල්ල අල් හුදා මුස්ලිම් දේවස්ථානය විසින් රුපියල් පනස් දහසකට අධික මුදලක් වැය කරමින් මාර්ගය පිළිසකර කිරීම සදහා ඒ බී සී ගල් මිශ්රණය ලබා දුන් අතර තෙළඹුගල්ල සහ ලිහිණිවැහැර යන ගම්මානවල වෙසෙන මුස්ලිම් සහ සිංහල ජනතාව එක් වී අදාළ ගල් මිශ්රණය යොදා පාරේ තිබූ වළවල් වසා දමා මාර්ගය පිළිසකර කර ගත්හ.
මාර්ගය පිළිසකර කරගැනීමෙන් අනතුරුව අදහස් දැක් වූ ප්රදේශවාසීහු මෙසේ පැවැසූහ.
‘‘ මේ පාර හදලා දෙන්න කියලා අපි මැති ඇමැතිවරුන්ට අවස්ථා කිහිපයකදීම කීවත් ඒ වැඩේ කෙරුනේ නැහැ. ඒ නිසා අපි අපේ මහන්සියෙන් අපිට පුලුවන් තරටම අපේ පාර හදාගත්තා. නමුත් මේක තාවකාලික විසදුමක් විතරයි. ඒ නිසා මේ පාර තවත් සැරයක් අබලන් වෙන්න කලින් ස්ථිර විදිහට හදලා දෙන්න ඉදිරියේදී කටයුතු නොකළොත් අපේ පාර අපිම හදාගත්තා වගේ ඔබතුමාලගේ ඡන්දත් ඔබතුමාලටම හොයාගන්න වෙයි කියලා තමයි අපිට මැති ඇමැතිවරුන්ට කියන්න තියෙන්නේ . ’’ යැයි පැවසූහ.