Tuesday, November 26, 2024

කබල්ලෑලෙන පන්සලේ නිදන් හාරන්න ආ පිරිසකට ගම්මුන් හොද හැටි සලකලා !

Must read

පොල්පිතිගම, කබල්ලෑලෙන රජමහා විහාරස්ථානයෙහි නිදන් හෑරීමට පැමිණි බව කියන චීවරධාරීන් දෙදෙනෙකු ඇතුඵ නිදන් හොරුන් එකොළොස් දෙදෙනෙකු ගම්වාසීන් විසින් අල්ලාගෙන ඊයේ (19 දා ) රාත‍්‍රියෙහි පොලිසියට භාර දී තිබේ.

මෙම පිරිස සන්තකයේ තිබූ පොළව අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි නවීන ස්කෑන් යන්ත‍්‍රයක්, අලවංගු, උදඵ, යවුල් සහ පූජා භාණ්ඩ තොගයක් ඇතුඵ නිදන් හෑරීමට යොදාගත් බව කියන උපකරණ රැසක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස කබල්ලෑලෙන රජමහා විහාරස්ථානයට පැමිණි බව කියන නවීන ජීප් රථයක් සහ වෑන් රථයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රදේශවාසීන් විසින් පහරදීම නිසා එම වාහනවලට දැඩි අලාභහානි සිදු වී තිබේ. මෙම වාහනවල වින්ඩ්ස්ක්‍රීන් සම්පූර්ණයෙන්ම බිදී ගොස් ඇති අතර ඒවායේ ටයර් පවා පිහිවලින් කපා දමා තිබූ අයුරු දැකගත හැකි විය.

අත්අඩංගුවට ගත් පිරිස වැලිමඩ, උහන, අම්පාර, කැළණිය, ගාල්ල, හලාවත, අනුරාධපුර සහ කුලියාපිටිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මීට කලකට පෙර සිට කබල්ලෑලෙන රජමහා විහාරස්ථානය වෙත විටින් විට පැමිණ ඇති සැකකරුවන් තමන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ සම්බන්ධකම් ඇති බව එහි විහාරාධිපති හිමියන්ට පවසා , කබල්ලෑලෙන රජමහා විහාර භූමියෙහි ඇති නිධානයක් ගොඩ ගැනීමට යෝජනා කර ඇති බව පොලිසිය කියයි. විහාරාධිපති හිමියන් විසින් එම යෝජනාව තරයේම ප‍්‍රතික්ෂේප කර ඇති නමුත් සැකකරුවන්ගෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හමුවේ අදාළ පිරිස සහ ඔවුන්ගේ අරමුණ පිළිබදව එහිමියන් විසින් දායක සභාව දැනුවත් කර ඇති බව කියැවෙයි. පසුව කබල්ලෑලෙන ගම්වාසීන් විසින් එක්ව කළ සැලසුමකට අනුව ඊයේ දිනයේදී නිධානය ගැනීමට පැමිණෙන මෙන් විහාරාධිපති හිමියන් මාර්ගයෙන් සැකකරුවන් වෙත දැනුම් දී තිබේ. සැකකරුවන් පිරිස ඊයේ රාත‍්‍රියේ පන්සලට පැමිණ නිධානය ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ගම්මුන් විසින් පන්සල් භූමිය වටකර මෙම පිරිස අල්ලාගෙන පොලිසියට භාර දී තිබේ. ගම්වාසීන්ගේ ග‍්‍රහණයෙන් මිදී අසල පිහිටි කැලෑවකට වැදුණු තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සොයා කබල්ලෑලෙන සහ ඒ අවට ගම්මානවල ජනතාව පොලිසිය සමග එක්ව මේ වනවිටත් කැලෑ පීරමින් සිටිති.

මහව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙයි.

පොල්පිතිගම වීරරත්න බණ්ඩාර

nidhan_kaballalena3 nidhan_kaballalena4 nidhan_kaballalena2 nidhan_kaballalena6 nidhan_kaballalena5 nidhan_kaballalena7

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article