Saturday, January 18, 2025

‘‘එෆ්සීඅයිඩී එකේ මහත්වරු ජනතාවගේ සල්ලිවලින් ලෝකේ වටේ රවුම් ගහනවා.“ ! මහින්ද මතව දී කළ සම්පූර්ණ කථාව

Must read

mahinda_mathwaපළාත් පාලන ආයතන අක්‍රියවීම හේතුවෙන් අද වන විට ඩෙංගු රෝගය විශාල වශයෙන් වැඩි වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මතව පානීය ජල යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් මතව, ශ‍්‍රී සුගතාරාම විහාරස්ථානයේදී පෙරේදා ( 04 දා) පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී රැස්ව සිටි පිරිස ඇමැතූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

‘‘අද නිදහස සමරන දවස. 69 වැනි නිදහස් දිනය සමරන අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම අපිට නිදහසක් තියෙනවාද කියන සැකයක් ජනතාව තුළ ඇතිවෙලා තියෙන බව මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. අද ආණ්ඩු කරන සමහර දේශපාලනඥයින්ට නිදහස කියන එක අමතකවෙලා තියෙනවා. අපිට පූර්ණ නිදහසක් ලබාගන්න පුලුවන් වුණේ එදා බණ්ඩාරනායක මහත්තයා නිසයි. ත‍්‍රිකුණාමලය වරාය සහ කටුනායක ගුවන් තොටුපොල එදා බි‍්‍රතාන්‍යයන්ට අයත්වෙලයි තිබුණේ. මේවායේ බි‍්‍රතාන්‍ය ධජයයි ලෙළදෙමින් තිබුණේ. ඒවා ඉවත්කරන්න පුලුවන්කම එදා බණ්ඩාරනායක මහත්තයාට තිබුණා. එදා ආණ්ඩුකාරයා නියෝජනය කළේ බි‍්‍රතාන්‍ය මහ රැජිණ. තමුන්නාන්සේලා දන්නවානේ මහ රැජිණව. මේ මෑතකදී අපේ ජනාධිපතිතුමාව පිළිගත්තා අතේ තිබුණු මේස් කුට්ටමත් ගලවලා. ඉතිං ඒ රැජිණ තමයි අපේ රැජිණ විදිහට සැලකුවේ. ඒක කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ජනරජයක් බවට පත්කළා. අපිටත් එදා ඒ ව්‍යවස්ථාවට අත උස්සන්න වාසනාව ලැබුණා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වශයෙන්. එදා තමයි අපිට පූර්ණ නිදහසක් ලැබුණා කියලා සන්තෝෂ වෙන්න පුලුවන් වුණේ. ඒ නිසා එයත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. නිදහස වෙනුවෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් එක්ක සටන් කරලා දිවි පිදූ අපේ නායකයෝ ඉන්නවා. ඒ පරම්පරා විශාල ගණනාවක් මේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළත් ජීවත්වෙනවා. ඊට පස්සේ මේ රට බෙදෙන්න යන අවස්ථාවේදී මේ රටේ රණවිරුවෝ රට එක්සේසත් කරන්න විශාල කැපවීමක් කළා. ඒ කැපවීම නැත්නම් අද අපිට මේ විදිහට නිදහසේ නිදහස සමරන්න ලැබෙන්නේ නැහැ. අපි දන්නවා ඒ රණවිරුවෝ ජීවිත පූජා කළේ මේ රට වෙනුවෙන්. අපිට නිදහසේ කතා කරන්න අවස්ථාව උදාකරන්න. අද ගෝල්ෆේස් පිට්ටනියට ඇවිල්ලා හමුදා භටයින්ට තමන්ගේ ශක්තිය පෙන්වන්න පුලුවන්කම ලැබුණේ. ඒ රණවිරුවෝ ජීවිත පූජා කරලා, අත් පා, ඇස් කන් පූජා කරලා සටන් කරපු නිසයි. ඉතිං මම දකින්නේ මේ කියන නායකයෝ කිසිකෙනෙක් පැරදුණේ නැහැ. ඔවුන් පරාජිතයෝ නෙවෙයි. ඔවුන් මේ රට වෙනුවෙන් ජීවමානව අපේ හදවත් තුළ අදත් ඉන්නවා. ඒක නැති කරන්න කාටවත් බැහැ. ත‍්‍රස්තවාදය, බෙදුම්වාදය විනාශ කරලා දලා අපි රට එක්සේසත් කළා. ඒක නැවත වාරයක් විනාශවෙන්න යනවා නම් ඒ රණවිරුවන් ජීවිත පූජා කරනකොට, පුජා කරපු අයට වඩා ජීවත් වෙන අපි රණවිරුවන්ට ඇත්ත වශයෙන්ම ඔවුන් පැරදුණු අය වුණාය කියලා ඔවුන් විශ්වාස කරන්න බලයි කියලයි මම විශ්වාස කරන්නේ. එහෙම එකක් විය යුතු නැහැ මේ රට තුළ. අපි ඒක මතක තියාගන්න ඕනෑ.

අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන සමහරු ඡන්දය ආවාම කියනවා ඡන්දයක් ඕනෑ නෑ කියලා. ඔවුන් දවස ගාණේ ඡන්දය කල්දානවා. පළාත් පාලනේ නැති හින්දා හාමුදුරුවනේ අද ඩෙංගු විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. කුණු අදින්නේ නැහැ නගරය තුළ. ගම තුළ කුණු ඇදෙන්නේ නැහැ. මදුරුවෝ බෝ වෙනවා. ජනගහණය අඩුකරන්න මදුරුවෝ ඇති කරනවාදෝ කියලා හිතෙනවා. එතරම්ම මදුරුවෝ. එතරම්ම මරණ සංඛ්‍යාවක්. දොස්තරවරු මැරෙනවා. නර්ස් නෝනලා, හෙදියන් මැරෙනවා. කොළඹ නගරය අද මදුරුවන්ගේ රාජධානියක් බවට පත්වෙලා. ඒ අවට පළාත්වලත් ඒ තත්වය ඇතිවෙලා තියෙනවා. ඉතිං මේවා ගැන කවුරුවත් කතාකරන්නේ නැහැ. මේවා පත්තරවල වැටෙන්නේ නැහැ. ඩෙංගු මදුරුවා ගමෙන් අයින් කරලා දාන්න කියනවා. ගෙදර සුද්දකරලා තියාගන්න ඇහැකි. නමුත් පාරේ මදුරුවෝ බෝවෙන තැන් ඒ ආකාරයෙන්ම කියනවා. ඒවාට පිළියමක් නැහැ. කුණු ටික අදින්න. තෙල් ගහන්න වැඩපිළිවෙලක් නැහැ. ඉතිං මේකට වගකියන්න ඕනෑ කවුද ? ඉතිං මේවායිනුත් රට නිදහස් කරගන්න ඕනෑ. එදා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී කෙනෙක් හිටියා නම්, සභාපති කෙනෙක් හිටියා නම්, නගරාධිපති කෙනෙක් හිටියා නම් අපිට ගිහින් කෑගහන්න පුලුවන් නගරාධිපතිතුමා මේ කුණු ගොඩ අයින් කරනවා කියලා. පහුවෙනිදාට ඒක අයින් කරගෙන යනවා. නමුත් අද කාටද කියන්නේ අපි ? මේක තමයි අද තියෙන ලොකුම ප‍්‍රශ්නේ. කියන්න කෙනෙක් නැහැ.

අද වෛද්‍ය විද්‍යාලවල ශිෂ්‍යයෝ සයිටම් එකට විරුද්ධව ගෙනියනවා විශාල ව්‍යාපාරයක්. කියන්න කෙනෙක් නැති නිසා මේ දරුවෝ ජනාධිපතිට කියන්න යනවා. මොකක්ද වෙන්නේ ? ඔවුන්ට එළව එළවා පහරදෙනවා. පළවෙනි දවසේ පහර දුන්නා. දෙවැනි දවසෙත් පහර දුන්නා. කාන්තාවන්ට ගහනවා. තව කාන්තාවත් බස් එකකට අහුවෙන්න හදනවා. යාන්තම් ඇය බේරාගන්නවා. මේ අපේම දරුවෝ. එහෙම නම් ඒ දරුවෝ වෙනුවෙන් මීට වඩා අවධානය යොමුකරන්න මේ රටේ ජනතාවත්, ආණ්ඩුවත් කටයුතු කරන්න ඕනෑ කියන හැගීම තමයි අපිට තියෙන්නේ. ඔවුන්ට කන්දෙන්න. ඔවුන් සාධාරණයක් ඉල්ලනවා නම් ඒ සාධාරණය ඉටුකරන්න. මේක සාකච්ඡා කළ යුතු කාර්යයක් මිසක් කදුලු ගෑස් ගහලා, බැටන් පොලුවලින් පහරදීලා විසදන්න බෑ. මේ අනාගත දොස්තරවරු. මේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වෙලා ඉන්නේ වැඩිම ලකුණු ගත්ත උදවිය. සුදුසුකම් නැතිව, එස් තුනක් අරගෙන වෛද්‍ය විද්‍යාලවලට ගිහින් නැහැ. ඔවුන්ගේ තාත්තා බලවත් පුද්ගලයෙක්වීම නිසා මේකට ඇතුල්වුණේ නැහැ. සමහරු එහෙම දොස්තරලා වෙන්න දගලනවා. එහෙම කරන්න පුලුවන්කමක් නැහැ ප‍්‍රමිතියක් තියෙනවා. ඒ හින්දා තමයි වෛද්‍ය සභාවක් තියෙන්නේ. ඒක ස්වාධීනයි. ඔවුන්ට ඒ ස්වාධීනත්වයෙන් කටයුතු කරන්න ඉඩදිය යුතුයි. මොකද වෛද්‍ය විද්‍යාලයෙන් එළියට එන දරුවා ඒ වෘත්තියට සුදුසුද නැද්ද කියලා තීන්දු කරන්නේ ඔවුන්. ඔවුන් තමයි ඔහුට දොස්තරකම කරන්න පුලුවන්ද බැරිද කියලා කියන්නේ. ඒකට අපිට හෝ නීතියට ඇගිලි ගහන්න පුලුවන්කමක් නැහැ. එහෙම වුනොත් මේ රටේ හැමෝම මේ ආකාරයෙන් වෛද්‍යවරු වෙන්න බලයි. ඒ නිසා මේවා පිළිබදව මීට වඩා අවධානයක් යොමුකළ යුතුව තියෙනවා සාධාරණ ලෙස ආණ්ඩුවක් වශයෙන්. ජනතාවගේ පැත්තෙනුත් මේවා පිළිබදව කටයුතු කරන්න අපි සියලුදෙනාටම වගකීමක් තියෙනවා.

අපිට එක ඉලක්කයක් තිබුණා. අපි කිව්වා හැම ගෙදරකටම විදුලිය දෙනවා කියලා. යාපනෙත් එක්ක බැලුවොත් අද වෙනකොට සියයට අනූ අටක් විදුලිය දීලා තියෙනවා. අද මට බණිනවා, චීනෙට බණිනවා. නමුත් නොරොච්චෝලේ හැදුවේ නැත්නම් අද අපි ඉන්නේ කලූවරේ. නොරොච්චෝලේ තමයි අද අපිට විදුලිය ලබාගන්න පිහිටවෙලා තියෙන්නේ. ඒ වගේම අපි සාම්පූර් හදන්න තීන්දු කළා. දැන් ඒක හදන්නේ නැතිලු. එහෙම වුනොත් හාමුදුරුවනේ දහ අටේදී අපිට කලුවරේ තමයි ඉන්න වෙන්නේ. වැඩි මිලක් ගෙවන්න සිද්ධවෙයි. හැම ගෙදරකටම නල ජලය දෙන්න අපි සැලසුම් කරලා තිබුණා. නමුත් දැන් අවුරුදු දෙකක් ගියා. මොකක්ද වුණේ ? ඒ අවුරුදු දෙක ගෙවුණේ පලිගන්න මිසක් වැඩකරන්න නෙවෙයි. කෙනෙකුගෙන් පලිගන්න සැලසුම් හදනවා නම්, කොහාමද මොවුන් අත්අඩංගුවට ගන්නේ, කොහොමද මොවුන් හිර කරන්නේ කිය කියා කටයුතු කරන්න යනවා නම් එතකොට වෙන කිසිවැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒකයි අද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. මම පටන්ගත්තා කුරුණෑගල හරහා කොළඹ ඉදන් දඹුල්ලට යන්න අධිවේගී මාර්ගයක් හදන්න. මේකට මුල්ගල් තිබ්බා. වැඩ ආරම්භ කරන්න සල්ලි දෙන්න ලෑස්ති වෙනකොට තමයි අපි මැතිවරණයකට ගියේ. ඒකේ සැලසුම් හදලා චීන සමාගමකට දීලා තිබුණේ. අපිට චීනය තමයි ඒකට වඩාත්ම සහයෝගය ලබාදුන්නේ. ඇත්ත, වරාය චීනය අපිට දුන්නේ. ගුවන් තොටුපොළ අපිට චීනය දුන්නේ. නොරොච්චෝලේ අපිට චීනය දුන්නේ. කටුනායක අධිවේගී මාර්ගය චීන සමාගමකට අපි දුන්නේ. අපි ණය ගත්තා. ණය අරන් අපි වැඩක් කළා. මේ ආණ්ඩුව ගත්තා ණය. මොකක්ද කරපු වැඩේ ? බදු බර වැඩිකරලා. සාමාන්‍ය ජනතාවට ගහන බදු වැඩිකරලා. දැන් කියනවා අපි බඩු මිල වැඩි කළේ නැහැ කියලා. බඩු මිල වැඩි කළේ නැහැ. හැබැයි බඩුවලට ගහන බදු මිල වැඩි කළා. ඒකයි වෙලා තියෙන්නේ. අපි බදු බර ජනතාවට දෙන්නේ නැතිව රටක් පාලනය කළා. රටේ කොහාට ගිහින් බැලුවත්, යාපනේට ගිහින් බැලුවත් පාරවල් ටික තියෙනවා, විදුලිය තියෙනවා, ඉස්පිරිතාල ටික හැදිලා, පොලිසි ටික හැදිලා, පාසල් හැදිලා. මේවා සියල්ලම ගොඩනැගිලා තියෙනවා. මේ අපි ගත්තු ණය, බදු අයකරන්නේ නැතිව, බදු අඩුවෙන්. දැන් බදු වැඩි කරලා, වැට් බද්දත් වැඩිකරලා, ජනතාවට බර පටවමින් මේ අය කටයුතු කරනවා.

දැන් අලුත් සෙල්ලමක් තියෙනවා. භාණ්ඩයක් වැඩිකරනවා රුපියල් විසිපහකින්. ඊට පස්සේ රුපියල් දහයක් පහළොවක් අඩු කරලා කියනවා ඔන්න අපි බඩු මිල අඩු කළා කියලා. දැන් හාල්වලට වෙලා තියෙන්නෙත් ඒකනේ. අපේ කාලේ මුතු සම්බා කීයද ? දැන් මුතු සම්බා ගන්නත් බෑ. ඒ කාලේ කිව්වේ කොහොමද ? හරි ගණන්නේ හාල්, මුතු සම්බා අසූවයි කියලා. මුතු සම්බාවලින් තමයි ගණන් හැදුවේ. දැන් නාඩු කීයද කියලා අහන්න. එකසිය දහයටත් නාඩු යනවා. මෙයාලා පිටරටින් ගෙනල්ලා තියෙනවා ඇලෙන හොද හාලක්. ඇයි දෙයියනේ කුඹුරු අක්කර හාරලක්ෂයක් වගාකරන්න එපා කියලා තහනම් කරන ආණ්ඩුවක් තියෙනවාද ? අපේ කාලේ පිටරට යවන්න හාල් තිබුණා. දැන් කියනවා මෙච්චර ස්ටොක් කරන්න බැහැයි කියලා. ස්ටොක් කරන්න තැනක් නැහැ කියලා අන්තිමට වී ගිහින් දැම්මේ මත්තල ගුවන්තොටුපොළේ. මොකද ඒක බාල්දු කරන්න. මම අන්තිමට මත්තලට යද්දි ප්ලේන් හතරක් ඇවිත් තිබුණා එක පාර. දාහකට වැඩිගාණක් විදේශිකයෝ ඇවිත් හිටියා. ඉතිං ඒකේ තමයි වී ගබඩා කළේ. එහෙම කියලා අක්කර හාරලක්ෂයක් වගා කිරීම නැවැත්තුවා. ජලය තියෙන වෙලාවේ ඒ අක්කර හාර ලක්ෂය වගා කළා නම් ගොවි ජනතාව මෙච්චර අමාරුවේ වැටෙන්නේ නැහැ. දැන් මම දැක්කා එක නායකයෙක් පත්තරේට කියලා තියෙනවා වියට්නාමෙන් අපිට හාල් මෙටි‍්‍රක් ටොන් දහදාහක් ලැබුණා කියලා. ලංකාවේ බත් කන විදිහට ඒක දවස් කීයක් කන්න පුලුවන් වෙයිද කියලා දන්නවාද ? දවස් දෙකයි. එහෙම නම් බත් කන එක නවත්වන්න තමයි වෙන්නේ. හැබැයි ඒකටත් කියයි බත් කන්න එපා අර මහින්ද මහත්තයා වගේ මහත්වෙනවා කියලා. ඒක හින්දා කොස්කොල සහ ක්‍රෝටන් කොළ කෑවම ඇගට ගුණයි කියලා. මේකටද ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ ? මේකටද වෙනසක් ඇතිකර ගත්තේ ? ආණ්ඩු පක්ෂයේ අයට අපිට බණින එක හැර වෙන වැඩක් නැහැ. එෆ්සීඅයිඞී එකේ මහත්වරු තුන්දෙනෙක් මේ දවස්වල ඇමරිකාවට ගිහිල්ලා . තව දවසකට චීනෙට යනවා. තව දවසක යනවා ප‍්‍රංශෙට. තව දවසක රුසියාවට. මේ කට්ටිය ආණ්ඩුවේ සල්ලිවලින් හොදට රවුම් ගහනවා. සැප විදිනවා. අපිට මේ දවස්වල පින්තූරත් එක්කම එනවා හාමුදුරුවනේ සමහරු සැප විදින හැටි. මේ එෆ්සීඅයිඞී එකේ මහත්වරු ආණ්ඩුවේ අතකොඵ වෙලා. සීඅයිඞී එකේ මහත්වරු අතකොඵ වෙලා. ඒ නිසා මෙතැනට ඇවිල්ලා ඉන්න බුද්ධි අංශයේ මහත්වරු කරුණාකරලා මම මේවා කිව්වා ලියලා යවන්න. මේවා දිහා අද ජනතාව පිළිකුලෙන් බලනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article