පුත්තලම කලපු තීරය ආශ්‍රිතව ඉදිකර ඇති ඉස්සන් කොටුවලින් බැහැර කරන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර අපවිත්‍ර ජලය කලපුවට මුදාහැරීමෙන් එම කලපුවේ මත්ස්‍ය අස්වැන්න සීඝ්රයෙන් පහළ වැටී ඇතැයි ධීවර කර්මාන්තයේ නියැලෙන සුළුපන්න ධීවරයෝ මැසිවිලි නගති.
පුත්තලම කලපු තීරය ආශ්‍රිතව ඉදිකර ඇති ඉස්සන් කොටු 500ට ආසන්න ප්‍රමාණයකින් දිනපතා කලපුවට මුදාහරින රසායනික මිශ්‍ර අපජලය කලපු ජලය සමග මුසුවීමෙන් ඉස්සන් අස්වැන්න ඉතා සීඝ්රයෙන් පහත වැටී ඇති බව එම කලපුව ආශ්‍රිතව පාරම්පරික ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් පෙන්වා දෙති.
පරිසරයට හානිකරන මෙවැනි ඉස්සන් කොටු අතරින් බහුතරයක් පිහිටා ඇත්තේ ආනකුත්තුව, මන්තිව්, සේවන්තිව්, වෙඩතමුනේ, රෙඩ්බානා සහ පුබුදුගම යන ධීවර ගම්මානවල බවට වාර්තාවෙයි.
ඉස්සන් කොටුවලින් බැහැර කරන අපවිත්‍ර ජලය , කලපු ජලය සමග මුසුවීමෙන් ඉස්සන්ගේ අභිජනන කටයුතු පවා සම්පූර්ණයෙන් නැවතී ඇති බව ධීවරයින් කියති. ඉස්සන් වගාබිම්වලින් ඉවත් කරන අපජලයෙන් කඩොලාන ශාකවල මූල පද්ධතියෙහි හටගන්නා කාවට්ටි වැනි කැපෙන සුළු කොටස් හේතුවෙන් කඩොලාන ශාකවල මූල පද්ධතිය ආශ්‍රිතව රැදී සිටින ඉස්සන් සහ කකුළුවන් ගැඹුරු දියට ඇදී යන බවද ඔවුහු කියති. පාරම්පරික සුළුපන්න ධීවරයින් සතුව ගැඹුරු දියේ මත්ස්‍ය අස්වැන්න නෙළීමට යොදාගන්නා ධීවර යාත්‍රා නොමැතිවීම හේතුවෙන් ඔවුන් දැඩි අසරණ බවට පත් වී සිටිති.
ධීවරයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පුත්තලම කළපු තීරය ආශ්‍රිතව ඉවක් බවක් නොතකා නව ඉස්සන් වගා බිම් ඉදිකිරීම මෙන්ම එම වගා බිම් නියමිත ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යාම නිසාවෙන් මෙවැනි තත්ත්වය උද්ගත වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී අදහස් දැක්වූ ටී.මහාලිංගම් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
දැන් රක්ෂාව හොදටම අඩු වෙලා තියෙන්නෙ. හේතුව තමයි මේ ඉස්සන් ෆාම් වලින් ඉවත් කරන ජරා වතුර කලපුවට එකතු වෙනවා. ඒ වතුර එකතු වුණාම වෙන්නෙ කලපුවෙ මාළු ඉස්සො නැතුව යනවා. තව දෙයක් තමයි කඩොලාන ගස් අස්සෙ ඉන්න මාළුන්ට ඉස්සන්ට, කකුළුවන්ට ඉන්න බෑ උන් ඈතට යනවා. එහෙම වෙද්දි අපිට කලපුවෙ රෑ එළිවෙනකම් නිදි මරලා දැල් ටික වකුටු කරගෙන ආපහු එන්න සිද්ධ වෙලා තියෙනවා. මේක අපිට ලොකු ගැටළුවක් නමුත් මේක බලධාරින්ට සුළුදෙයක් වෙලා තියෙන එක පුදුමයක්.
පාරම්පරික සුළුපන්නෙ ධීවරයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ඉස්සන් කොටුවලින් ඉවක් බවක් නොමැතිව කලපු ජලයට මුදාහරින අපවිත්‍ර ජලය බැහැර කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් සකස් කරන ලෙසය.
(වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන /තබ්බෝව නිමාලි ප්‍රියදර්ශණී)
ඉස්සන් කර්මාන්ත වලින් බැහැර කරන අපජලය ගම්මානය මැදින් ගලන ආකාරය
අලුතින් ඉදිකර ඇති ඉස්සන් වගාවක්
අස්වැන්න නෙළීමට දියඹට යන ධීවරයින් පිරිසක්