මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් ඊයේ (19) මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කළේය.
කොරෝනා ආසාදිත රෝගියෙකු පසුගිය දිනක මුන්දලම පොලිස් ස්ථානයේ රැඳී සිටීම හේතුවෙන් මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.මෙසේ හඳුනා ගත් කොරෝනා ආසාදිත රෝගියා පසුගිය (8 ) වැනිදා අනතුරක් සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාල පුද්ලගලයා පැය කිහිපයක් පොලිසිය තුළ රැඳී ඇති බවත් පොලිසිය කීය.
මෙම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මොහු ඉතාලියේ රැකියාවක් කර නිවාඩුවට පැමිණ සිටියදී තලවිල දේවාස්ථානයේ මාර්තු මංගල්‍යයට පවුලේ පිරිස සමඟ සහභාගි වීමට යමින් සිටියදී මුන්දලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය පැවසීය.
පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පුද්ගලයා දින දෙකක් පුත්තලම රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබූ බවත් පොලිසිය සඳහන් කළේය. මෙම පුද්ගලයාට කැස්ස සහ උණ රෝගය ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කර පසුව කොළඹ අයි.ඩි.එච් .රෝහල වෙත යොමු කර ඇත. එහිදි මෙම පුද්ගලයාට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පසුව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රසාක් ජවුසික් මහතාගේ උපදෙස් මත පොලිස් ස්ථානය සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරීමට පුත්තලම නාවික හමුදාවට දැනුම් දි තිබුණි.
ඒ අනුව නාවික හමුදාවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් අද (19) සවස මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කිරීමට කටයුතු කළේය.
පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සියලු දෙනාම දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
හිරාන් ප්‍රියංකර ජයසිංහ