Saturday, January 18, 2025

ඈවරයි! දෑවරයි!! තබ්බෝවත් විනාශයි !! (Special Report )

Must read

වයඹට, ශ්‍රී ලංකාවටම පමණක් නොව සමස්ත පෘතුවි තලයටම රැකවරණයක්, ආභරණයක් සහ අමිල වස්තුවක් වූ තබ්බෝව අභය භූමිය තව වැඩි කාලයක් ගතවීමට මත්තෙන් ලෝක සිතිය‍මෙන් මැකී යනු ඇති බවට වූ සාධාරණ බියකින් ඊයේ දිනයේ මගේ සිත වෙළී ගියේය.

ඒ , තබ්බෝව අභය භූමිය තුළ සිදුවන මහා පරිමාණ දැව ජාවාරමක් පිළිබදව අනාවරණය කරගැනීමේ අපේක්ෂාවෙන් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිළධාරින් පිරිසක්ද සමග ඊයේ (27 දා) මුඵ දිනය පුරාම එම රක්ෂිතය පීරමින් කළ කළ සංචාරයක් අතරතුරේදීය.

තබ්බෝව රක්ෂිතයට නීතිවිරෝධී ලෙස ඇතුඵ වී එහි තිබූ වටිනා ශාඛ තොගයක් දරට කපා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමත් සමග රක්ෂිතය තුළ සිදු වී ඇති විනාශය පිළිබදව සොයාබැලීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු උත්සුක වූ අතර මාධ්‍යවේදියෙකු ලෙස එම අවස්ථාව ආවරණය කිරීමේ දුර්ලභ අවස්ථාවක් මටද හිමි විය.

විල්පත්තු ජාතික වනාන්තර පද්ධතියට සමගාමීව පිහිටා ඇති තබ්බෝව රක්ෂිත වනාන්තරය වීරක්කොලිචෝලේ ,එළුවන්කුලම යෝජිත රක්ෂිතය සමගද භූගෝලීය වශයෙන් බැදී තිබේ.  ගංගා රැසක ජල පෝෂක ප්‍ර‍දේශය ලෙස පිහිටා ඇති තබ්බෝව රක්ෂිතය ජුරාසික් යුගයට අයත් පොසිල හමුවන විශේෂ කලාපයක් ලෙසද පරිසරවේදින් විසින් මේ වන විට නම් කරනු ලැබ තිබේ. මෙම වනය තුළ ඇති ශාඛ සහ පැළෑටි මෙන්ම එහි ජීවත්වන වන සත්වයින් අතරින් බොහෝමයක් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දුර්ලභ ශාඛ සහ සත්ව ‍කොට්ඨාශයන් වෙති.

තේවනුවර ප්‍රදේශය හරහා ඉදි කර ඇති අලි වැටෙන් රිංගා තබ්බෝව අභය භූමියට ඇතුල් වූ අපට දැකගත හැකි වූයේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ වන විනාශයක් රක්ෂිතය තුළ සිදු වී අවසන් බවය. රුපියල් සතවල මිස ගහක , කොළක වටිනාකම පිළිබදව අල්පමාත්‍ර තැකීමක් හෝ නැති මෙම දැව ජාවාරම්කරුවන් අභය භූමිය ඇතුලත අත් ට්‍රැක්ටර්වලට පහසුවෙන් ගමන් කළ හැකි පරිදි පාරවල් පවා සකස් කරගෙන අවසන්ය. දැව ජාවාරමුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි  ඔවුන් විසින් සකස් කරගෙන ඇති පාරවල් ගණනාවක් වනය තුළට පිවිස කිලෝමීටර්  5 ක පමණ දුරක් පයින්ම ඇවිද ගිය අපට හමු විය.  එම පාරවල් ප්‍රයෝජනයට ගනිමින් වනයෙහි තැන් තැන් තැන්වලින් කපා හෙලූ රූස්ස ගස් ,  කොටන් බවට පත්කර  අභය භුමියෙන් එලියට රැගෙන ඒමට මෙම ජාවාරම්කාර ගස් වැද්දන් විසින් කටයුතු කර තිබේ. ඉහළ පාරිසරික සහ වාණිජමය වටිනාකමක් සහිත පළු , වීර ,  තම්මැන්න , කඵ මැදිරිය  සහ කළුවර  ඇතුඵ ලොකු  කුඩා ගස් වර්ග රැසක්ම දැව ජාවාරම්කරුවන් මෙහිදී අමු අමුවේ විනාශ  කර දමා ඇති අයුරු අපට දැක ගත හැකි විය. අත් ට්‍රැක්ටර්වල පිහිටෙන් අලි වැට ආසන්නයට ගෙන එන දැව කොටන් එහිදී වෙනත් වාහනවලට පටවා දිවයින පුරා පිහිටි ලී මෝල් වෙත ප්‍රවාහනය කිරීම ජාවාරදුන් විසින් කලත් තිස්සේ සිදු කර ඇති බවට සාක්ෂි ගණනාවක් වනයේදී අපට හමු විය.

මෙම ජාවාරම්කාර තිරිසනුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තබ්බෝව අභය භුමිය සිය වාස භවනය කරගත් වන අලින් හා අනෙකුත් වන සතුන්ගේ ජීවිතාරක්ෂාව පිළිබදව මේ වන විට දැඩි අවධානමක් ඇති වී තිබේ. තබ්බෝව අභය භුමියෙහි වාසය කරන  වන  අලීන් ගම් වදින්නේ මෙම වන අපරාධකරුවන් විසින් දිනෙන් දින උන්ගේ වාස භූමීන් වනසා දමමින් වනය තුළ සිදුකරන අමන ක්‍රියාකාරකම් හේතුවෙන් බව ඒ අවට ගම්වල වෙසන ජනතාවගේ මතය වෙයි.

තබ්බෝව අභය භුමිය තුළ සිදුවෙමින් පවතින මේ මහා වන විනාශය අද ඊ‍යේ ආරම්භ වූවක් නොව දැනට වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින එකක් ඇති බව වනයට පිවිසෙන සිහි බුද්ධිය ඇති  ඕනෑම අයෙකුට පහසුවෙන් වටහාගත හැකිය. මෙපමණ කාලක් තිස්සේ නිදි වදිමින් සිටින බලධාරීන් මේ වන තෙක්ම මෙම දැව ජාවාරමුන් මැඩලීම සදහා කිසිදු පියවරක් ගෙන නොතිබීම කණගාටුවට කරුණකි.

තබ්බෝව අභය භුමියට හිතේ හැටියට විනාශකිරීම සදහා දැව ජාවාරම්කරුවන්ට ඉඩ දී  බලධාරීන් විසින් තවදුරටත් ඇස් කන් පියාගෙන සිටින්නේ නම් තබ්බෝව අභය භූමිය වැඩි කාලයක් යාමට පෙර ලංකා සිතිය‍මෙන් පමණක් නොව ලෝක සිති‍යමෙන්ද මැකී යනු ඇතැයි සාධාරණ බියක් ඇති වූ බව මුලින්ම ලීවේ එහෙයිනි.

දැන්වත් අවදිවෙමු. තබ්බෝව රැකගනිමු. !!!!

ගවේෂණය, සටහන සහ ඡායාරූප

පුත්තලම – නලින්  හෙන්දුරුගොඩ

thabbowa_winasaya 1 thabbowa_winasaya 2 thabbowa_winasaya 3thabbowa_winasaya 4thabbowa_winasaya 5thabbowa_winasaya 6thabbowa_winasaya 7

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article