Sunday, January 19, 2025

ආණ්ඩුව පෙරළන්න එන්නැයි වයඹ පළාත් සභාවෙන් ලියුමක් !

Must read

alu_yata_gini_july_28

ඉබ්බාගමුව, කුඹුක්වැව ප‍්‍රදේශයේ පැවැති අවමංගල්‍යයකට සහභාගිවීම සදහා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පසුගිය සෙනසුරාදා පස්වරුවේ එහි පැමිණියේය. අවමගුල බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ නැන්දණියකගේය. අමාත්‍යවරයා එම අවමංගුලට සහභාගිවීමට පැමිණ තිබුණේ ඔහුට අයත් පුද්ගලික හෙලිකොප්ටරයකිනි. හෙලිකොප්ටරයට නැගීමට පෙර ඇමැති දයා ගමගේ හිරියාල එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක මංජුල යාපාට දුරකථනයෙන් කතා කළේය. ‘‘ජගත් , මට ඔයාගේ ආසනයේ කුඹුක්වැවේ කියන හරියේ තියෙන මළගෙදරකට එන්න වෙලා තියෙනවා. මගේ පර්සනල් චොපර් එකේ එන්න තමයි මම මේ සූදානම්වෙලා ඉන්නේ. මට චොපර් එක ලෑන්ඩ් කරගන්න තැනකුයි, මළගෙදරට යන්න වාහනයකුයි සූදානම් කරලා දෙන්න පුලූවන්ද ? ’’ඇමැති ගමගේ ඇසීය. ‘‘හරි. ඒ කිට්ටුව තියෙන කුඹුක්වැවේ ඉස්කෝලේ පිට්ටනියට චොපර් එක ලෑන්ඩ් කරගන්න පුලූවන්. එතැන ඉදලා මළගෙදරට යන්න මගේ වාහනේ ලෑස්ති කරන්නම්. ඔබතුමා ඔහෙන් පිටත්වෙන්න. මම දැන්ම එතැනට එන්නම්. ’’යැයි කී ජගත් කුඹුක්වැව බලා පිටත්විය. කෙසේවෙතත් ජගත්ට වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවූ අතර ඇමැතුම ලබා දී විනාඩි විස්සක් ගෙවෙන්නටත් පෙර ඇමැති දයා ගමගේ රැගත් හෙලිකොප්ටරය කුඹුක්වැව මධ්‍ය මහා විද්‍යාලයේ ක‍්‍රීඩා පිටියට ගොඩබැස්වීය. ජගත් යාපාගේ වාහනයට නැගුණු ඇමැති දයා ගමගේ මළගෙදරට පිටත්විය. දයා සහ මංජුල මළගෙදරට පා තබන විට දේහය පිළිබද ආගමික වතාවත් සිදුවෙමින් තිබිණි. මළගෙදරදී කෝපි කෝප්පයකින්ද සප්පායම් වූ ඇමැති දයා නිවැසින්ට ආචාර සමාචාර කර ආපසු ජගත් යාපාගේ වාහනයෙන්ම හෙලිකොප්ටරය නවතා තිබූ තැනට පැමිණියේය. කළ උදව්ව වෙනුවෙන් ජගත්ට මුව නොසෑහෙන ලෙස ස්තූති කළ ඇමැති දයා හෙලිකොප්ටරයට නගින්නට පෙර ජගත් සමග ඡායාරූප කිහිපයකට පෙනී සිටින්නට අමතක නොකළේය.

කෙසේවෙතත් ඇමැති දයා ගමගේගේ හෙලිකොප්ටර් ගමන ප‍්‍රදේශවාසීන් තුළ කුතුහලයක් ඇති කිරීමට සමත් වී තිබිණි. මක්නිසාද යත් ජනාධිපතිවරයා , අගමැතිවරයා ආදී ප‍්‍රභූන් ප‍්‍රවාහනය කිරීම පිණිස ගුවන් හමුදාව විසින් භාවිතා කරන බෙල් වර්ගයේ දැකපුරුදු හෙලිකොප්ටර්යකට වඩා ඇමැති දයා ගමගේ පැමිණි තිබූ හෙලිකොප්ටරය වෙනස් එකක් විය. දයා යනුවෙන් ඉංග‍්‍රිසි අකුරින් කැපී පෙනෙන ලෙස සදහන් වී තිබූ හෙලිකොප්ටරය බෙල් යානාවකට වඩා සුවපහසු සහ හුරුබුහුටි එකක් බව පෙණිනි. මහජන මුදල් කෝටි ගණන් කාබාසිනියා කරමින් පුද්ගලික සහ දේශලපාලන උවමනාවන් වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා තොග ගණනින් භාවිතා වූ කලෙක තමන්ගේම චොපරයකින් මළගෙදරකට ආ ආණ්ඩුවේ ඇමැතිවරයා කවුදැයි දැනගැනීම පිණිස ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් එම චොපරය වටා එක් වී සිටියහ. කුඹුක්වැව පාසල් පිටියට හදිසියේ ගොඩබැස්ස වූ චොපරය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් තුළ කුහුලක් ඇති කරන්නට තවත් අහඹු සිදුවීමක්ද හේතු වී තිබිණි. එනම් කුඹුක්වැව විද්‍යාලයට අල්ලපු වැටේ පිහිටි හෝටලයකදී ඒ වන විට ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් පැවැත්වෙමින් තිබීමය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සාලින්ද දිසානායක, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේ අරමුණ වී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනට ජනතාව සහභාගි කරවීමය. කෙසේවෙතත් ඇමැති දයාගේ හෙලිකොප්ටරය කුඹක්වැව පාසල් ක‍්‍රීඩාංගණයට ගොඩබාමින් තිබෙන විටදී වාගේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමද අවසන් වී සෙනග විසිරීයමින් සිටියහ. ඒ නිසා බොහෝදෙනෙකු සිතුවේ ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවක් සදහා යම් ප‍්‍රබලයෙකු හෙලිකොප්ටරයකින් පැමිණි ඇති බවකි.

ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවල හිස් පුටු රජ වෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙක වෙන්කර තිබුණේ මහනුවර සිට කොළඹ බලා එන පාද යාත‍්‍රාව පිළිබදව ආසන මට්ටමින් සංවිධාන කටයුතු සිදුකිරීම වෙනුවෙනි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් වෙත ඒ ඒ දිස්ත‍්‍රික්කයන් බෙදා දී එහි සංවිධාන කටයුතු කිරීම ඔවුන්ට භාර දී තිබිණි. කුරුණෑගල දිස්ත‍්‍රික්කය භාර දී තිබුණේ පවිත‍්‍රා වන්නිආරච්ච්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, විමලවීර දිසානායක සහ නිරෝෂන් පේ‍්‍රමරත්න ඇතුලු පිරිසකටය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ආසන කිහිපයකම රැස්වීම් සූදානම් වී තිබූ නමුත් ඒ හැම එකකම පාහේ දැකගත හැකි වූයේ වෙනදාට වඩා අඩු ජන සහභාගිත්වයකි. විශේෂයෙන් කුරුණෑගල ආසනය වෙනුවෙන් සංවිධානය කළ රැස්වීම පැවැත්වුණේ කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී වූ අතර රැස්වීම් ශාලාව පිරී තිබුණේ රැස්වීමේ සිටි පිරිසට වඩා හිස්ව තිබූ අසුන්වලිනි. වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩාගේ මෙහෙයවීමෙන් පොල්ගහවෙල නගර ශාලාවේදි සංවිධානය කර තිබූ රැස්වීමටත් සහභාගි වී සිටියේ අල්ප පිරිසකි. ඉලක්කමෙන් කිවහොත් සියයකටත් අඩු පිරිසකි. රැස්වීම්වලට සෙනග හැකිතරම් ගෙන්වාගනිමින් පිරිස් බලය පෙන්වීම සදහා ඒකාබද්ධ විපක්ෂය මුල් තැනක් දී ක‍්‍රියාකරන නමුත් පාද යාත‍්‍රාව සම්බන්ධ රැස්වීම් සදහා ජන සහභාගිත්වය අඩුවූයේ සෙනග ගෙන්වාගැනීම පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකයින් උනන්දු නොවූ නිසාද, නැත්නම් ඒකාබද්ධ විපක්ෂය ගැන ජනතා උනන්දුවක් නැති නිසාදැයි ඇතැමුන් දැන් ප්‍රශ්න කරති.

ආණ්ඩුව පෙරළන්න එන්නැයි වයඹ පළාත් සභාවෙන් ලියුමක් !

වයඹ පළාත් සභාවේ සභාපති නිල මුද්‍රාව සහ රාජ්‍ය සේවය පිණිසයි යන මුද්‍රාව සහිතව පසුගිය සතියේදී පොල්ගහවෙල ජනතාව වෙත තැපෑලෙන් ලිපියක් ලැබී තිබිණි. අදාල නිල මුද්‍රා සහ සටහන් අනුව අදාල ලිපිය වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වෙත ලබාදෙන නිදහස් තැපැල් පහසුකම් ප‍්‍රයෝජනයට ගනිමින් තැපෑල හරහා බෙදා හැර තිබූ ලිපියක් බව පහසුවෙන් වටහා ගත හැකි විය. පළාත් සභාවෙන් යම් ප‍්‍රතිලාභයක් ලැබී ඇතැයි අපේක්ෂාවෙන් එය තුළ වූ ලිපිය කියවා බැලූ ඇතැමෙකුට තරු විසිවුණේ එම ලිපියේ සදහන් වී තිබුණේ එවැනි ප‍්‍රතිලාභයක් නොව පොල්ගහවෙල නගර ශාලාවේ පැවැත්වෙන සාකච්ඡාවකට එන්නැයි දන්වමින් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා විසින් එවා ඇති ලියුමක් බව දැකීමෙනි. එම ලිපියෙහි අදාල රැස්වීම පැවැත්වෙන නිශ්චිත කාරණාවක් පිළිබදව සදහන් වී නොතිබුණු අතර ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සදහා කලුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්තගේ ප‍්‍රධානත්වයෙන් ජූලි මස 23 වැනිදා පොල්ගහවෙල නගර ශාලාවට පැමිණෙන ලෙසට පමණක් දන්වා තිබිණි. අදාල ලිපියට අත්සන් කර තිබුණේ මෛත‍්‍රී පිලේ එක කකුලකුත්, අනෙක් කකුල මහින්ද පිලේත් තබාගෙන දෙලොවක් අතර සිටින ටිකිරි බණ්ඩාවීම නිසාම ලිපිය අතට ගත් බොහෝ දෙනෙකු හැරෙන තැපෑලෙන් ටිකිරි බණ්ඩා අමතමින් විමසුවේ අදාල සාකච්ඡාව මෛත‍්‍රී පාර්ශ්වයේ එකක්ද නැතිනම් මහින්ද පාර්ශ්වයේ එකක්ද යන්නයි. ආණ්ඩුව පෙරළාදැමීම අරමුණු කරගනිමින් පැවැත්වෙන පාද යාත‍්‍රාව පිළිබදව සාකච්ඡා කිරිම අදාල රැස්වීමේ අරමුණ බවට ටිකිරි බණ්ඩාගෙන් පෙරළා පිළිතුරු ලැබිණි. ඒ අනුව ජනපති මෛත‍්‍රීට හිතවත් බව කියන මහ ඇමැතිවරයෙකු මුලසුන දරමින් සිටින වයඹ පළාත් සභාවේ නිල මුද්‍රාව සහ නිදහස් තැපෑල භාවිතා කරමින් එම පළාත් සභාවේම සභාපතිකම් කරමින් ඉන්නා ටිකිරි බණ්ඩා විසින් ජනතාව වෙත ලියුම් යවා ඇත්තේ ආණ්ඩුව පෙරළන්නට ආරාධනා කරමින් බව පැහැදිලිය. අදාළ ලිපියෙහි නිශ්චිත කාරණාවක් පිළිබදව සදහන් නොකරමින්, ලිපි ශීර්ෂය රහිත සාමාන්‍ය ලිපියක් පමණක් ඊට ඇතුළත් කිරීමට ටිකිරි බණ්ඩා විසින් පිරිස්සම් වී ඇත්තේ නිදහස් තැපෑල හරහා ආණ්ඩු පෙරළීමට ගිය බව අනාවරණය වුවහොත් ඉන් යම් බුරුලක් ලබාගැනීම පිණිස බව අඵ යට ගිනි වෙත වාර්තා වෙයි. නමුත් මේ සැබෑ තත්වයන් සගවා සෙනසුරාදා පැවැති රැස්වීමට පැමිණ සිටි ජනතාව ගොනාට අන්දවමින් ටිකිරි බණ්ඩා එදින කිව්වේ වෙන කතාවකි. ‘‘මම ඔබතුමාලා මෙතැනට කැදවන්න දාපු ලියුමේ මේ පිළිබදව කෙලින්ම සදහන් කළේ නැහැ. මොකද අපේ අයගේ ප‍්‍රතිචාරය මොකක්ද කියලා මට දැනගන්න උවමනා වුණා. ඒ ලියුම ලැබිලා තිබුණු සියයට අසූවක් වගේ පිරිසක් මට කතාකරලා ඇහැව්වා මේක මෛත‍්‍රීපාල මහත්තයාගේ රැස්වීමක්ද, නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රැස්වීමක්ද කියලා. ’’ටිකිරි බණ්ඩා මේ කියන්නේ ඔහු පොල්ගහවෙල ජනතාව ‘ටෙස්ට්’කර බැලූ බවකි. ජනතාවට ටෙස්ට් කර බලා ඔවුන් මෛත‍්‍රී පිළේදැයි මහින්ද පිළේදැයි සහතික නිකුත්කිරීමට සැරසෙන ටිකිරි බණ්ඩා තමන් ඊට සුදුස්සෙක්දැයි පළමුව විමසා ගත යුතු බව පොල්ගහවෙල ජනතාව දැන් කියති. මන්ද ජනපති මෛත‍්‍රීට පින්සෙන්ඩු වී වයඹ පළාත් සභාවේ සභාපති පුටුව ඩැහැගැනීමෙන් පසුව, මෛත‍්‍රී එන තැනත් මහින්ද එන තැනත් පෙනී සිට ලකුණු දමාගැනීමට හුරු වූ ටිකිරි බණ්ඩා ගාල්ලේ මැයි රැළියට මෙන්ම කිරුළපන මැයි රැළියටත් එකම දිනයේ සහභාගි වී වාර්තාවක්ද පිහිටවූයේය. පටු වාසි තකා ටිකිරි බණ්ඩා එවැනි දෙබිඩි රංගනයක නියැලී සිටි නමුත් පොල්ගහවෙල සැබෑ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් නම් අද වන විට නිශ්චිත එක පිළක් තෝරාගෙන සිටිති. මහින්දට හිතවත් අය මහින්ද පිළත්, මෛත‍්‍රීට හිතවත් අය මෛත‍්‍රී පිලත් නියෝජනය කරනවා හැර මේ දෙකටම මුක්කු ගසන වෙනත් දෙබිඩි චරිත නම් පොල්ගහවෙල නැත. එබැවින් තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ ඇති පොල් කෙන්දවල් සොයා ජනතාව ටෙස්ට් කරන්නට යන දෙබිඩි බණ්ඩලා ඊළග මැතිවරණයෙන් ‘අවුට්’කර ගෙදර යැවීම පොල්ගහවෙල ජනතාව සතු කාරියකි.

ටිකිරි බණ්ඩගේ පාරේම ගිය හිරියාලේ මන්ත‍්‍රීවරු !

ටිකිරි බණ්ඩා විසින් ආණ්ඩු පෙරළීමේ පටු අරමුණු වෙනුවෙන් වයඹ පළාත් සභාවේ නිදහස් තැපෑල අවභාවිතා කරද්දී මෛත‍්‍රී පිල නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පිරිසක්ද පසුගිය සදුදා දිනයේදී ඊට නොදෙවෙනි රාජ්‍ය සම්පත් අවභාවිතාවක යෙදුණහ. හිරියාල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක, වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික ප‍්‍රමුඛ ඉබ්බාගමුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් එදින මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණේ තමන් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාවට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කරන බව දැනුම්දීමටය. මෙම මාධ්‍ය සාකච්ඡාව කුඹුක්ගැටේ ප‍්‍රදේශයේ හෝටලයකදී පැවැත්වෙන බව මුලින් මාධ්‍යවේදීන් වෙත දැනුම් දී තිබූ නමුත් සදුදා උදෑසන මාධ්‍යවේදීන් නැවැත දැනුවත් කෙරෙන්නේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන්නේ ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ බවටය. ඒ අනුව එහි ගිය මාධ්‍යවේදින්ට දැකගත හැකි වන්නේ ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ සභා රැස්වීම් ශාලාවේදී අදාළ මාධ්‍ය හමුව සූදානම් වී තිබූ අයුරුය. ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාව මේ වන විට පවතින්නේ එහි ලේකම්වරියගේ පාලනය යටතේය. අදාළ මාධ්‍ය හමුවට වාඩි වී සිටි මන්ත‍්‍රීවරුන්ගේ තනතුරු අහෝසි වී මේ වනවිට වසරකට ආසන්න කාලයතුත් ගත වී අවසන්ය. එම මාධ්‍ය හමුවේ වාඩි වී සිටි එකම මන්ත‍්‍රීවරයා වන කමල් ඉන්දිකගේ පළාත් සභා මන්ත‍්‍රී වපසරිය තුළ හෝ ආසන සංවිධායක වපසරිය තුළ ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ සභා රැස්වීම් ශාලාව භාවිතාකිරීමේ නිත්‍යානුකූල අවස්ථාවක් ලැබී නොමැත. එසේනම් සිදු වී ඇත්තේ අනවසර භාවිතා කිරීමක් හෙවත් රාජ්‍ය දේපළ අවභාවිතාවක් බව පැහැදිලිය. එබැවින් කියන්නට ඇත්තේ මෛත‍්‍රී පිල වේවා, මහින්ද පිල වේවා ඒ කවුරු අතිනුත් අන්තිමේදි අවභාවිතා වී ඇත්තේ මහජන දේපොළ බවයි.

චන්ද්‍රසේනටයි, සනත් නිශාන්තටයි ඇමැති ප‍්‍රියංකරගෙන් තේ පාටියක් !

පාද යාත‍්‍රාව පිළිබදව පුත්තලම් දිස්ත‍්‍රික්කයේ සංවිධාන කටයුතු සිදුකිරීම භාර දී තිබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. චන්ද්‍රසේන සහ මොහාන් සිල්වා වෙතය. සෙනසුරාදා දිනයේ සාකච්ඡා නිමකිරීමෙන් පසුව චන්ද්‍රසේන අනුරාධපුරය බලා ආපසු ගිය අතර මොහාන් සිල්වා වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී ඇලෙක්ස් නිශාන්තගේ නිවසේ නවාතැන් ගත්තේය. දෙවැනි දිනයේ පළමු රැස්වීම යොදාගෙන තිබුණේ ආණමඩුවේදීය. අනුරාධපුරයේ සිට ආණමඩුවට එමින් සිටි චන්ද්‍රසේනගේ දුරකථනයට ආණමඩුව ශ‍්‍රීලනිප සංවිධායක, රාජ්‍ය ආමත්‍ය ප‍්‍රියංකර ජයරත්නගෙන් ඇමැතුමක් ලැබිණි. ‘‘අයියේ, උඹ අපේ ගෙවල් පැත්තේ එනවා කියලා ආරංචි වුණා. පිට පාරෙන් යන්නේ නැතිව තේ එකක් බීලා යන්න ගෙදර වරෙන්.’’ප‍්‍රියංකර චන්ද්‍රසේනට සුහද ආරාධනාවක් කළ නමුත් චන්ද්‍රසේන වැනෙන උත්තරයක් දී ඇමැතුම විසන්ධි කළේය. අනතුරුව හැරෙන තැපෑලෙන් හිටපු ජනපති මහින්දට ඇමැතුමක් ගත් චන්ද්‍රසේන ප‍්‍රියංකරගේ යෝජනාව ගැන කීවේය. ‘‘ඔයා එහේ ගියත් නොගියත් මට නම් ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා තනියම ගියොත් සනත් නිශාන්තගේ හිත රිදෙයි. ඒ නිසා මිනිහවත් එක්කරගෙන යන්න බලන්න. ’’මහින්ද කීය. එවර සනත් නිශාන්ත ඇමැතූ චන්ද්‍රසේන ප‍්‍රියංකරගේ යෝජනාව ගැන කියා ප‍්‍රියංකරගේ නිවසට යමුදැයි විමසීය. ‘‘යමු. යමු . මගේ ගැටලුවක් නැහැ. ප‍්‍රියංකර ඇමැතිතුමා කියන්නේ මගේ දේශපාලන ගුරුවරයා. අපි ගිහින් බලමු එයාවත් අපි ළගට ගන්න පුලූවන්ද කියලා. ’’සනත් නිශාන්ත කීය. ඒ අනුව අනුරාධපුරයේ සිට එමින් සිටි චන්ද්‍රසේනගේ වාහනයට නවගත්තේගමදී සනත් නිශාන්තද ගොඩනැගුණු අතර දෙදෙනාම ඇමැති ප‍්‍රියංකරගේ නිවසට පැමිණියහ. පළාත් සභා මන්ත‍්‍රී ටෙ‍්‍රවින් ප‍්‍රනාන්දු සමග වෙන්නප්පුවේ සිට ආණමඩුවට පැමිණ සිටි මන්ත‍්‍රී මොහාන් සිල්වා සනත් නිශාන්ත අමතා තමන් ආ යුත්තේ කොහාටදැයි විමසුවේ ප‍්‍රියංකර, චන්ද්‍රසේන සහ සනත් නිශාන්ත එක්ව තේ කෝප්පයක රස බලමින් සිටියදීය. ‘‘ ආ. ඔයාලා ඔහොමම ප‍්‍රියංකර ඇමැතිතුමාලගේ ගෙදරට එන්න. ’’සනත් නිශාන්ත කීය. ‘‘යකෝ විහිලු කරන්න එපා. වෙලා ගිහින් තියෙන්නේ . රැස්වීම තියෙන තැන කියපන්. ’’ මොහාන් කෝපයෙන් කෑගැසීය. ‘‘විහිලු නෙවෙයි අපි ඇත්තටම එහේ තමයි ඉන්නේ. බය නැතුව එන්න. ’’ඒ අනුව මොහාන් සිල්වා සහ ටෙ‍්‍රවින් ප‍්‍රනාන්දුත් ප‍්‍රියංකරගේ නිවසේ තේ සාදයට එක් වූ අතර තේ පානයෙන් පසුව පිරිස රැස්වීමට පිටත් වී ගියහ. තමන්ගේ වාසිය වෙනුවෙන් තවකෙකු අමාරුවේ දැමීමට දේශපාලනඥයින් පසුබට නොවන බව පිළිගත් සත්‍යයකි. එය නැවත සනාථ කරමින් ප‍්‍රියංකරගේ නිවසින් දුන් තේ කෝප්පයේ රස්නය ඇරෙන්නටක් පෙර සනත් නිශාන්ත එම රැස්වීමේදි ප‍්‍රසිද්ධියේම කීවේ හෙට අනිද්දාට පුත්තලම් දිස්ත‍්‍රික්කයේ තවත් මන්ත‍්‍රීවරු දෙදෙනෙකු ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිත බවත් මීට ටික වේලාවකට පෙර ඉන් එක් රාජ්‍ය ඇමැතිවරයෙකුගේ නිවසට ගොස් තේ එකක්ද බී පැමිණි බවත්ය.

උපුටාගැනීම – මව්බිම , 2016 ජූලි 28 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article