Saturday, November 23, 2024

අහෝ බණ්ඩා නොදිටි මොක්පුර! ( වයඹ අඵ යට ගිනි )

Must read

alu_yata_ gini_march_17_3

banda_2. banda_ 3

පෙරේදා දිනයෙන් ගෙවී අවසන් වූයේ වෙසක් මාසයයි. ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල්තැනක් දෙමින් සකලලෝවැසි බොදු දනන් සම්බුදු තෙමගුල මහත් බැතියෙන් යුතුව සමරන්නට යෙදුණු අතර බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් යුතුව නොයෙක් ආකාරයේ වෙසක් පින්කම් සදහාද තම ශක්ති ප‍්‍රමාණයෙන් දායක වී සිටියහ. ඇතැම් වෙසක් පින්කම් සදහා බෞද්ධයින් පමණක් නොව අන්‍යාගමිකයින් පවා සිය ධනය, ශ‍්‍රම සහ කාලය වැයකරමින් දායක වී සිටි අතර තමන්ගේ ආගම නොවූ නමුත් ඒ සෑම කෙනෙකුම පාහේ බුදුදහම කෙරෙහි දැක්විය යුතු ගරු බුහුමන් දැක්වීමට අමතක නොකළ බවක් දැකගත හැකි විය. දේශපාලන පොර පිටියේ කියුම් කෙරුම් සදහා වෙන්කෙරෙන අඵ යට ගිනි පිටුවේ ආරම්භයේදී සුපුරුදු රටාව තරමක් වෙනස්කරවමින් වෙසක් පොහොය පිළිබදව එවැනි පෙරවදනක් ලියන්නට සිදුවූයේ එවැනි උතුම් පොහොයක් යෙදුණු සතියක් තුළදීම හෙළ බොදු පිළිවෙත් අමු අමුවේ කෙලෙසා දමමින්, බුදුන්ටත් නිගා වන අන්දමින් එක්තරා දේශපාලනඥයෙකු විසින් පෙන්නුම් කළ අවිනීත හැසිරීමක් පසුගිය දිනෙක දැකගත හැකි වූ බැවිනි. ඒ දෙස්පාලක තෙමේ අන් කිසිවෙකුත් නොව මින් පෙර අවස්ථාවක වයඹ පළාත් සභාවේ මුලසුන පවා අමු අමුවේ කෙලෙසා දැමූ සභාපති ටිකිරි බණ්ඩාමය. වෙසක් පොහොය නිමිති කරගනිමින් මැයි මාසය මුඵල්ලේම දිවයිනේ හැම අස්සක් මුල්ලක් නෑර පින්කම් සංවිධානය වී තිබූ පසුබිමෙක පොල්ගහවෙල, සාප්පුවත්ත ප‍්‍රදේශවාසීන්ද එම මංසන්ධියේ බුදු මැදුරක් ඉදිකිරීම සදහා මුල පුරා තිබුණේ වෙසක් පොහොය නිමිතිකරගනිමිනි. ඒ සදහා මුල්ගල් තැබීම පසුගිය සෙනසුරාදාවේ සිදු වූ අතර ඒ සදහා සාප්පුවත්ත ප‍්‍රදේශවාසීන් විසින් ආරාධනා කර තිබුණේ එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන සභාපති ටිකිරි බණ්ඩාටය. බුදු මැදුරකට මුල්ගල් තැබීමක් වැනි ආගමික කටයුත්තකට ඔබින සංවර ඇදුමක් තෝරාගැනීමේ ඥාණය නැතිකමින්දෝ ටිකිරි බණ්ඩා එහි පැමිණ තිබුණේ ආගමික උත්සවයකට සුදුසු ඇදුමකට වඩා බක්මහ උළෙලක අවුරුදු කුමාරයා තරගයකට යාමට සුදුසු අන්දමේ වෛවර්ණ කමිසයකින් සහ සරමකින් මෙන්ම තොප්පියකින්ද සැරසීගෙනය. එලෙස පැමිණි ටිකිරි බණ්ඩාට මල් පහන් පුදා මේ යහපත් කටයුත්ත වෙනුවෙන් මුලපුරන ලෙසට ප‍්‍රදේශවාසීන් විසින් ඇරයුම් කළහ. ඕනෑම සුබ කටයුත්තකදී සැකසෙන ගොක් අතු පහන් පැලක් වෙනුවට එහි පහන දල්වන්නට සූදානම් වී තිබුණේ කම්බි කණුවක එල්ලූ හිස් විස්කෝතු ටින් බෙලෙක්කයකි. යකාගේ හැටියට විමානේ කිව්වාක් මෙන් මුල්ගල තියන්නට එන ටිකිරි බණ්ඩාට ගැලපෙන ලෙසට පහන් පැළක් සකස් කිරීමට සාප්පුවත්ත ප‍්‍රදේශවාසීන් විසින් කටයුතු කර තිබුණාදැයි හරියටම කිවනොහැකි නමුත් ඒ ගැන වචනයක් හෝ නොවිමසූ ටිකිරි බණ්ඩා තමන් පැළද සිටි තොප්පිය මෙන්ම සෙරෙප්පු යුවළ පිටින්ම ටින් බෙලෙක් පහන දැල්වීය. අනතුරුව එළැඹුණේ මුල්ගල් තැබීමේ වාරයයි. තමන් විසින් මුල්ගල් තියන්නේ පූජනීය බුදු මැදුරකට බව තඹ දොයිතුවකට හෝ මායිම් නොකළ ටිකිරි බණ්ඩා ඊට මුල්ගල තියන්නේද පෙර කී තොප්පිය හිස මතත්, සෙරෙප්පු යුවළ දෙපාවලත් රුවාගෙනය. පන්සලකට පෙනෙන තෙක් මානයේදී පවා හිස් වැසුම්, පාවහන් ගලවන්නට ඕනෑම බෞද්ධයෙකු හුරුවන්නේ හය හතර තේරෙන්නට ගත් දා සිටමය. ඒ ආභාසයෙන් ත‍්‍රිවිධ රත්නය පමණක් නොව බෝධිය, බුදු පිළිමය, විහාරය ආදී බෞද්ධ සංඛේත මුලකරගෙන කෙරෙන ඕනෑම කටයුත්තකදී පවා හිස් වැසුම් හෝ පාවහන් දුරුකිරීම ඕනෑම බෞද්ධයෙකු විසින් සුරකින අනිවාර්ය පිළිවෙතකි. නමුත් ජනතාවට මග පෙන්වන්නෙකු මෙනම ජන නයකයෙකුද බව කියන ටිකිරි බණ්ඩා විසින් තොප්පි සෙරෙප්පු ලාගෙන පහන් දල්වා අමු අමුවේ කෙලෙසා දැමුවේ වසර දහස් ගණනක් තිස්සේ සුරුකෙමින් ආ හෙළ බොදු සිරිත් විරිත්ය. දැන දැනම වැරැදි කළා මදිවාට මුහුණුපොතේ සිය ගිණුම හරහා තමන්ගේ හපන්කම ලෝකයටම පෙන්වන්නටද ටිකිරි බණ්ඩා විසින් වගබලාගෙන තිබිණි. පාවහන් සහ හිස්වැසුම් සහිතව පහන් පත්තු කර ටින් බෙලෙක්කයක බුදුන් පුදන ආකාරය දැක්වෙන ටිකිරි බණ්ඩාගේ ඡායාරූප දුටු මුහුණු පොතේ සාමාජිකයින් බොහෝ පිරිසක් සුද්ද සිංහලෙන් ටිකිරි බණ්ඩා අමතමින් අදහස් දැක්වීම් පළකර තිබිණි. නමුත් එම විවේචනාත්මක කොමෙන්ටුවලට වැඩි වේලාවක් රැදී තිබෙන්නට නොදුන් ටිකිරි බණ්ඩා විසින් ඒවා මුහුණුපොතින් මකා දමා තිබිණි. මුහුණුපොතේ සාමාජිකයින්ට ටිකිරි බණ්ඩාගේ මේ උමතු හැසිරීම් අරුමයක් වුවත්, ඔහුගේ තරම දන්නා වයඹ ජනතාව නම් දැන් දැන් එම හැසිරීම්වල අරුමයක් නැති තත්වයකට පත් වී සිටිති. මුලින්ම වයඹ පළාත් සභාවෙන් මාධ්‍යවේදීන් පන්නා දමා සභාපති පුටුව කෙලෙසූ ටිකිරි බණ්ඩා ඊළගට රටට අඩ බෙර ගැහැව්වේ තමන් ජනාධිපතිවරයාගේ පක්ෂයේ සංවිධායකවරයෙකු බවටය. ජනපති මෛත‍්‍රීගේ සංවිධායක බව කියමින්ම ටිකිරි බණ්ඩා මහින්ද, නාමල් සහභාගිවන හැම රැස්වීමක් ගාණේ පමණක් නොව මෛත‍්‍රීගේ නායකත්වයට එරෙහිව පැවැති රහස් සාකච්ඡා ගණනාවකටද පසුගිය කාලයේදී සහභාගි වූ අයුරු අඵ යට ගිනි ඔස්සේ විටින් විට හෙළිකෙරිණි. ජොන්ස්ටන්ගේ අලූත් අවුරුදු මේසයේදී ලූණු මිරිස් තලියක් බෙදන්නට ගොස් මහින්දට කිරිබත් කෑල්ලක රස බැලීමේ අවස්ථාවද අහිමි කළ ටිකිරි බණ්ඩා ගාල්ල සහ කිරුළපන මැයි රැළි දෙකටම සහභාගී වූ බවටද පුවත්පත් වාර්තා පළවිය. පසුගිය කාලය පුරාවටම එවැනි විකාරරූපී, දෙපිටකාට්ටු සහ නින්දාසහගත හැසිරීම් ගණනාවක් ප‍්‍රදර්ශණය කරමින් ඉන්නා ටිකිරි බණ්ඩා තොප්පි සහ පාවහන් සහිතව ටින් බෙලෙක්කයක බුදුන් පිදුවා යැයි කීවාට වයඹ ජනතාව එතරම් කලබල නොවන්නේ ඔවුන් විසින් මේ වනවිට බණ්ඩාගේ කැරැට්ටුව හොද හැටි අවබෝධ කරගෙන සිටින බැවිනි. සුදු පිරුවටවල දැවැටීගෙන, මල් වට්ටි දෝත දරාගෙන, මහෝපාසක සේ ජනතාව ඉදිරියේ පෙනී සිටින්නට දගලන ටිකිරි බණ්ඩාගේ උපාසක වෙස් මුහුණු ගැලැවී ගියේ සාප්පුවත්ත බුදුමැදුරේ හාස්කම් ඉදිකරන්නටත් පෙර ඵලදෙන්නට පටන්ගැනීම නිසාදෝ දැන් දැන් ප‍්‍රදේශවාසීන්ගේ කතාබහට ලක් වී තිබේ. ජනතාවගෙන් එකතු කරගත් ගංවතුර සහනාධාර බෙදාදෙමින් පසුගිය දිනවලදී අනේපිඩු සිටාණන්ගේ චරිතයට ඇදගැනීමට මහත් වෑයමක යෙදී සිටි නමුත් තමන් ඇතුළේ ඉන්නේ බුදුන්ටත් ගල් පෙරලූ දෙව්දත් කෙනෙකු බව ටිකිරි බණ්ඩා විසින් මේ වනවිට ක‍්‍රියාවෙන්ම ඔප්පු කර අවසන්ය.

නි. ඇමැති අශෝක්ගෙන් ප‍්‍රවාහන කොමසාරිස්ට ලයිෂන් එකක්.

ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පසුගිය සිකුරාදා දහවල් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලයට ගොඩවැදුණේ එහි නිරීක්ෂණ චාරිකාවක් සදහාය. මෝටර් රථ ප‍්‍රවාහන සහකාර කොමසාරිස් ටී. එම්. ජී. තෙන්නකෝන් ඇතුලූ නිලධාරීන් විසින් පිළිගැණුනු නියෝජ්‍ය අමාත්‍යවරයා රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම වැනි මහජනතාව වෙත සැපයෙන සේවාවන් පිළිබදව පුද්ගලිකවම විමසා බැලීය. රියදුරු බලපත‍්‍රය සදහා ඔන්ලයින් ක‍්‍රමයට දත්ත ඇතුළත් කෙරෙන ස්ථානයට ගිය අශෝක් එය සිදුකෙරෙන ආකාරය පිළිබදව එහි සිටි සේවිකාවගෙන් විමසීය. ‘‘සර් මෙතැන කෙනෙක් වාඩිවෙලා එයාගේ ඇගිලි සළකුණු ගත්තහම තමයි මේ සිස්ටම් එකේ ඉස්සරහට යන්න පුලූවන්. ’’සේවිකාව කීවාය.‘‘හරි එහෙනම් අපි කොමසාරිස්තුමාම වාඩිකරවලා බලමුකෝ. ’’වට පිට බැලූ අශෝක් ඒ අසල සිටි සහකාර කොමසාරිස් තෙන්නකෝන් දෙස බලමින් පැවසීය. ඒ අනුව සහකාර කොමසාරිස්වරයා සේවිකාව ඉදිරිපිට මේසයේ අසුන්ගත් අතර සේවිකාව විසින් කොමසාරිස්වරයාගේ ඇගිලි සළකුණු ලබාගෙන ඔහුගේ හැදුනුම්පත් අංකයද පරිගණකයට ඇතුළත් කළාය. දත්ත ඇතුළත් කිරීම පියවරෙන් පියවර ඉදිරියට යනු දුටු අශෝක් ඇසුවේ ‘‘ආ. කොමසාරිස්තුමාටත් ලයිෂන් එකක් නැහැ වගේ. ’’යනුවෙනි. ‘‘නැහැ ඇමැතිතුමා . මගේ ලයිෂන් එක මුල් කාලේදිම ගත්ත එකක්. ඒවා මේ සිස්ටම් එක ඇතුලේ පෙන්වන්නේ නෑ. අනික ඒවා රිනිවල් කරන්න ඕනෙත් නැහැ.’’කොමාසාරිස්වරයා කීය. ‘‘ආ. මට තියෙන්නෙත් ඒ ලයිෂන් එක්ක තමයි. ’’අශෝක් එවර පැවසීය. නිරීක්ෂණ චාරිකාවෙන් පසුව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡාවක් සූදානම් වී කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය තුළය. එහිදී පසුගිය සමයේදී මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදු වී ඇතැයි කියන මුදල් අක‍්‍රමිකතාවයන් පිළිබදව හෙලිදරව්වක් කිරීමටද අශෝක අමතක නොකළේය. ‘‘මට හම්බවුණු එක ලීසිං සමාගමක ඔඩිට් එකක ආර් එම් වී හැන්ඞ්ලින් චාර්ජ් කියලා රුපියල් මිලියන 285 ක මුදලක් සදහන් වෙලා තිබුණා . මම ඒ ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙන් කතාකරලා ඇහැව්වාම එයා කිව්වා මේ මුදල නිත්‍යානුකූලව දීපු එකක් නෙවෙයි. නමුත් මේ ලීසිං සමාගමෙන් ඒ මුදල ආර් එම් වී නිලධාරින් අතට ගිහින් තියෙනවා. නමුත් අදටත් ඒ මුදලට ආර් එම් වී එකට ඇවිත් නැහැ.ඒ වගේ තත්වයක් තමයි ආර් එම් වී තියෙන්නේ. ’’කෙසේවෙතත් අශෝක්ගේ නිරීක්ෂණ චාරිකාව අවසන් වූයේ දැනට අඩු ඉඩ පහසුකම් මැද පවත්වාගෙන යනු ලබන මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලය මල්කඩුවාව ප‍්‍රදේශයේ පිහිටි ඉඩ පහසුකම් සහිත ස්ථානයක වෙත ගෙනයාමට කටයුතු කරන බවට ලබා දුන් පොරොන්දුවකුත් සමගය.

මාලකයි – ඩී. බී.යි මළගෙදරදී ඇවිළෙති.

පක්ෂ – විපක්ෂ ගැටුම් සම්බන්ධයෙන් මෙන්ම එකම පක්ෂයේ අය අතර ගැටුම් සම්බන්ධයෙනුත් කලක් තිස්සේ නම් දරා සිටින මැතිවරණ කොට්ඨාශයකි, වාරියපොල. එකම පිළක සිටි නමුත් කලක් තිස්සේ පසමිතුරන් බවට පත් වී සිටි එස්. බී. නාවින්න සහ ඩී. බී. හේරත් අතර ගැටුමට නාවින්න එක්සත් ජාතික පක්ෂයට මාරුවීමෙන් පසුව හෝ නැවතීමේ තිත වැටෙනු ඇති බවට ඇතැමුන් කල්පනා කළ නමුත් ගැටුම තවත් ඔඩු දුවනු විනා සමථයක් පිළිබදව සේයාවක්වත් නැති බවක් දැන් දැන් සිදුවන දේවල්වලින් පෙනී යයි. එහි ආසන්නතම සිදුවීම පසුගිය සතියේ දිනක අසන්නට ලැබුණේ ඇතව පැත්තේ මළගෙදරකිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධයක් ඇති අයෙකුගේ මළගෙදරක් වූ බැවින් එම මළගෙදරට වයඹ පළාත් සභා මන්ත‍්‍රී ඩී. බී. හේරත් මෙන්ම නිකවැරටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී මාලක මිහිර බණ්ඩාරද පැමිණ සිටියේ එකම වේලාවකය. මන්ත‍්‍රී ඩී. බී. මේ වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද පිලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමික් සිටින අතර මාලක පසුගිය මැතිවරණ සමයේදී ඇමැති නාවින්න සමග එක්සත් ජාතික පක්ෂයට එක්වීම නිසා ඔහු දැන් සිටින්නේ ආණ්ඩු පක්ෂය පැත්තේය. ‘‘ආ. කොහොමද දැන් උඹලට යහපාලනේ හොදද ? ’’ඩී. බී. සුහද ලෙසින් මාලකගෙන් ඇසීය. ‘‘ කිසි වරදක් නැහැ. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව වගේ නෙවෙයි අපිට යහපාලනෙන් හොදට සලකනවා ’’මාලකද පෙරළා ප‍්‍රතිචාර දැක්වීය. ‘‘උඹ මොකටද නාවින්න එක්ක යුඇන්පියට ගියේ ? උඹට තිබුණේ ජොනිත් එකක් ඉන්න. ’’ කතාව තරමක් දුරට කෙරීගෙන යද්දී ඩී. බී . කීවේය. ඩී. බී. ගේ ඒ කතාව නම් මාලකට ඇල්ලූවේ නැත. ‘‘හරි , හරි, ඔයා මට ජොනී ගැන උගන්වන්න එන්න එපා. මම එයා ළග ඉදලා ගිය මිනිහා.’’ මාලක එවර ඩී. බී.ට පිළිතුරු දුන්නේ තරමක් තද ස්වරයකිනි. ඞී. බී.ද ඊට ප‍්‍රතිචාර දක්වන්නටවීම නිසා දෙදෙනා අතින්ම කියැවෙන්නට වූ වචනවල සැර ටිකෙන් ටික ගොස් අන්තිමේදී බහින්බස්වීමක් දක්වා දුරදිග ගියේය. දෙදෙනාගේ වචන හුවමාරුව මැද්දේ අතීත කියුම් කෙරුම්, කැපිලි කෙටිලි සහිත දේශපාලන ඉතිහාසයන්ද දිගහැරෙන්නට විය. තරමක් වේලා පැවැති ඞී. බී. සහ මාලකගේ වචන හුවමාරුව ඉන් එහා පියවරකට නොයා තොරව අවසන් වූයේ මළගෙදර පැමිණ සිටි පිරිසකගේ මැදිහත්වීමෙන් දෙදෙනාම මළගෙදරින් පිටත්කර හැරීමත් සමගය.

සාලින්ද හදිසියේ අසනීපවෙයි.

ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී සාලින්ද දිසානායක මේ වන විට සිටින්නේ කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමිනි. පෙරේදා රාත‍්‍රියේ කොළඹ සිට කුරුණෑගල පිහිටි නිවස බලා එමින් සිටි සාලින්ද කුරුණෑගලට ආසන්නවෙද්දී යම් අසනීප ගතියක් පෙන්නුම් කරන්නටවීම නිසා ඔහු සමග ගමන් කරමින් සිටි සාලින්දගේ හිතවතුන් කලබලයට පත් වූහ. කුරුණෑගල රෝහලට යන්නට සාලින්දගේ හිතවතුන් විසින් යෝජනා කළ නමුත් ඊට දැඩි ලෙස අකමැත්ත පළකළ සාලින්ද රියදුරුට කීවේ කෙලින්ම නිවසට යන ලෙසටය. නමුත් ඉන් ටික වේලාවකට පසුව ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි සාලින්ද පපුව අල්ලාගෙන ගැහෙන්නට පටන්ගැනීම නිසා වාහනයේ සිටි පිරිස සාලින්දගේ දැඩි විරෝධය නොතකමින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත වාහනය හැරවූහ. ට්‍රොලියක ආධාරයෙන් හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් කෙරුණු සාලින්දගේ තත්වය බරපතල අතට හැරෙන අන්දමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නටවීම නිසා වෛද්‍යවරුන් කණ්ඩායමක්ම සාලින්දගේ ඇද වටා රැස් වී ප‍්‍රතිකාර ආරම්භ කළහ. තත්වය තරමක් පාලනය කළ පසුව කොළඹ ජාතික රෝහලටත්, එතැනින් පුද්ගලික රෝහලකටත් මාරු කෙරුණු සාලින්ද මේ වන විට තරමක සුවයක් සමග එහි වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි. සාලින්ද අසනීප වූ ආරංචිය ලැබුණු තවත් දෙදෙනෙකු කලබලයට පත් වී සිටියහ. මහින්ද සහ බැසිල් දෙදෙනාම මාරුවෙන් මාරුවට ඇමැතුම් ලබාදෙමින් සාලින්ද කොළඹට ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර සාලින්ද රෝහල වෙත ඇතුළත් කළ වහාම එහි පැමිණ සාලින්දගේ සුව දුක් විමසන්නටද මහින්ද සහ බැසිල් කටයුතු කර තිබිණි.

උපුටාගැනීම – 2016 ජූනි 02 වැනි බ‍්‍රහස්පතින්දා මව්බිම පුවත්පතෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article