Sunday, January 19, 2025

“අනුන්ගේ අමාත්‍යංශ ගැන පොර ටෝක් දීම මහඇමැතිවරයෙකු‍ට ගැලපෙන්නේ නෑ.” අලවතුවල , ධර්මසිරිට ලියයි. !

Must read

alawatuwala wroteවෙනත් අමාත්‍යවරයෙකු විසින් හොබවනු ලබන අමාත්‍යංශයකට අයත් යෝජනාවක් පළාත් සභාවේ න්‍යාය පත‍්‍රයෙන් ඉවත්කරන බවට වහසිබස් දෙඩවීම ප‍්‍රධාන අමාත්‍යවරයකුගේ තනතුරට කිසිසේත්ම නොගැලපෙන බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා වෙත ලිපියක් යවමින් කියා සිටී.

අලවතුවල මහතා මෙලෙස ප‍්‍රකාශ කරන්නේ ” වයඹ පළාත් සභාවේ න්‍යාය පත‍්‍රයට මවිසින් යෝජනා කරන ලද, මහින්දෝදය විද්‍යාල සංකල්පය යටතේ පාසල්වලින් ඉවත් කෙරුණු 1 -5 ශ්‍රේණි නැවත ඇති කරන ලෙස ඉල්ලා සිටීම පිළිබඳ යෝජනාවක් න්‍යාය පත‍්‍රයෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටීම ” යන හිසින් යුතුව සහ 2015 නොවැම්බර් 10 වැනි දින දාතමින් යුතුව ධර්මසිරි දසනායක මහතා වෙත යවන ලිපියකිනි.

පසුගිය නොවැම්බර් 05 වැනිදා මව්බිම රජරට අතිරේකයේ පළ වූ ‘අඵ යට ගිනි ’ විශේෂාංගයෙන් අනාවරණය කළ කරුණක් පාදක කරගනිමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා විසින් වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත යවා ඇති එම ලිපියෙහි මෙසේද සදහන් වෙයි.

මා වයඹ පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන අවධියේදී 2015.03.03 වැනි දින පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ඉහත සදහන් යෝජනාව පළාත් සභාවේ න්‍යාය පත‍්‍රයට යෝජනා කළෙමි.

” පසුගිය අගෝස්තු 17 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් මා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත්වීම නිසා පළාත් සභාවට සමුදීමට සිදු වූ නමුත් මවිසින් කළ යෝජනාව අඛණ්ඩවම පළාත් සභා න්‍යාය පත‍්‍රයට ඇතුළත් වී තිබූ අතර ඒ අනුව පසුගිය නොවැම්බර් 03 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයටද මෙම යෝජනාව ඇතුළත් වී තිබුණි. එදින පළාත් සභා රැස්වීමේදී අදහස් දැක් වූ ඔබතුමා විසින් එම යෝජනාව අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවට යොමුකිරීමෙන් පසුව න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට කළ ප‍්‍රකාශයක් 2015 නොවැම්බර් 05 වැනි දින මව්බිම පුවත්පතේ ‘අඵ යට ගිනි ’ විශේෂාංග පිටුවෙහි සදහන් වී තිබුණි. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතාගේ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමින් එම යෝජනාව ඉවත් කිරීමට පියවර ගන්නා බව ඔබතුමා විසින් එහිදී ප‍්‍රකාශ කළ බවද එම පුවත්පත් වාර්තාවෙහි වැඩිදුරටත් සදහන් වී තිබෙනු දැක මා මවිතයට පත්වීමි.

මා වයඹ පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන අවධියේදී මෙම යෝජනාව ඉදිරිපත් කළේ මහින්දෝදය පාසල් සංකල්පය හේතුවෙන් වයඹ පළාතේ පාසැල් රැසක 1 -5 ශ්‍රේණි ඉවත්කිරීම නිසා අප පළාතේ දරුවන්ට සහ දෙමව්පියන්ට මුහුණපෑමට සිදු වී ඇති දුෂ්කරතා රාශියක් සියැසින් දුටු මහජන නියෝජිතයෙකු වශයෙනි. ඔවුන්ට අද දිනයේ පමණක් නොව මතු අනාගතයේදීත් මුහුණපෑමට සිදු වී ඇති මෙම ගැටළුව පිළිබදව වයඹ පළාත් සභාවේ අවධානය යොමුකර ඊට පිළියමක් යෙදීමේ අවංක අරමුණින් යුතුව මා විසින් මෙම යෝජනාව පළාත් සභාව වෙත ඉදිරිපත් කළෙමි. එලෙස සද්භාවයෙන් යුතුව මවිසින් ඉදිරිපත් කළ වැදගත් යෝජනාවක් කිසිදු වගවිභාගයකින් තොරව , ආණ්ඩු පක්ෂයේ එක් මන්ත‍්‍රීවරයෙකු පමණක් සතුටු කිරීමේ පටු අරමුණ වෙනුවෙන් න්‍යාය පත‍්‍රයෙන් ඉවත්කරනවා යැයි පැවසීම පළාතේ ප‍්‍රධාන පුරවැසියෙකු ලෙස ඔබතුමා විසින් අප පළාතේ සමස්ත දෙමව්පියන්ට හා දරුවන්ට කළ අසාධාරණයක් බවද කණගාටුවෙන් යුතුව ප‍්‍රකාශ කරමි.

මා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අයත් වන්නේ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ විෂය පථයටය. අධ්‍යාපන විෂය ඔබතුමා යටතේ පවතින අමාත්‍යංශයකට හෝ විෂය පථයකට කිසිසේත්ම අයත් වී නැත. එසේ තිබියදී සහ වයඹ අධ්‍යාපන අමාත්‍යවරයා මෙම යෝජනාව පිළිබඳව කිසිදු ප‍්‍රකාශයක් නොකර සිටියදීත් අනුන්ගේ අමාත්‍යංශයකට අයත් යෝජනාවක් ඉවත් කරනවා යැයි කියමින් ඔබතුමා විසින් කර ඇති වහසි බස්දෙඩවීම ප‍්‍රධාන අමාත්‍යවරයෙකුගේ තනතුරට නොගැලපෙන බවද මෙහිලා සදහන් කරමි.

මෙම යෝජනාව න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මාගේ බලවත් විරෝධතාවය මෙයින් ප‍්‍රකාශ කර සිටින අතර මේ පිළිබඳ වයඹ පළාත් සභාවේ අධ්‍යාපන විෂයභාර අමාත්‍යවරයාටද කරුණු පැහැදිලි කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් සදහන් කරමි. ”යැයි එම ලිපියෙහි සදහන් වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article