Saturday, January 18, 2025

අනියම් සැමියාගේ පිහි පහරට බිලි වූ උයන්දන දෙදරු මවකට බරපතලයි.

Must read

uyandana_crime

සිය අනියම් පුරුෂයා විසින් කළ පිහි ඇණුමකින් බරපතල තුවාල ලැබූ බව කියන කුරුණෑගල, උයන්දන ප‍්‍රදේශයේ පදිංචි දෙදරු මවක් බරපතල තුවාල සහිතව ඊයේ (05 දා) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කුරුණෑගල උයන්දන, ඉසුරු උයන ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවකි. කාන්තාවට පිහියෙන් ඇණ පලායමින් සිටි ඇගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයෙකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාර දී තිබේ. දෙදරු පියෙකු වන එම පුද්ගලයා පොලොන්නරුව, කළුකැලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, හිටපු හමුදා සෙබළෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පපු පෙදෙසට හා පිට පෙදෙසට එල්ල වූ පිහි පහරවලින් කැපුම් තුවාල ලැබූ කාන්තාව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර ඇගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

තුවාල ලබා සිටින කාන්තාවගේ ස්වාමි පුරුෂයා මේ වනවිට විදේශ රැකියාවක නිරත වී සිටින බවත්, එලෙස සිටියදී ඉමෝ සමාජ මාධ්‍ය ජාලය හරහා හදුනාගත් පොළොන්නනරුව ප‍්‍රදේශයේ පදිංචි සැකකරු සමග මෙම කාන්තාව අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. වසර කිහිපයක් තිස්සේ පැවැති මෙම සම්බන්ධය මීට මාස කිහිපයකට පෙර කාන්තාවගේ පාර්ශ්වයෙන් එක්වරම නතර කර ඇති බවත්, ඒ පිළිබදව විමසමින් සැකකරු විසින් නිතර නිතර කාන්තාවට හිරිහැර කර ඇති බවත් පොලිසිය කියයි. මෙම පුද්ගලයාගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් ඔහුගේ නීත්‍යානුකූල බිරිදට දුරකථනයෙන් අමතා සියලු තොරතුරු අනාවරණය කිරීමට උයන්දන කාන්තාව කටයුතු කර ඇති බවත් පොලිසිය කියයි. තම සැමියාගේ අනියම් සම්බන්ධය පිළිබද දැනගැනීමෙන් කලකිරුණු සැකකරුගේ බිරිද දරු දෙදෙනා ද රැගෙන නිවසින් පිටත්ව ගොස් තිබේ. මේ හේතුවෙන් කෝපයට පත් සැකකරු ඊයේ අලුයම උයන්දන, ඉසුරු උයන ප‍්‍රදේශයට පැමිණ අනියම් බිරියගේ නිවසට හොර රහසේ ඇතුලු වී ඇයට පිහියකින් ඇණ ඇති බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළේය.කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩී.එම්.සී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මක වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article