ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක අනුරාධ හේවගේ මහතාගේ ආධාරකරුවෙකුගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අද (17 දා) පැවැති වයඹ පළාත් සභා රැස්වීමටද සහභාගි නොවීය.
වයඹ පළාත් සංකීර්ණයේ පිහිටි සශ්රී ශාලාවේදී අද උදෑසන වයඹ පළාත් සභාව රැස් වූ අතර නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක මහතා විසින් සභා රැස්වීමේ මුලසුන හොබවනු ලැබීය. අදාල මරණ තර්ජනය කිරීමේ සිදුවීම සදහා යොදාගත් ගිනි අවියේ හිමිකරු බව කියන ටිකිරි බණ්ඩාට පසුගිය 13 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට පොල්ගහවෙල මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය විසින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ඉන් පෙර නියෝග කර තිබිණි. අධිකරණයේ නියමය පරිදි විත්තිකාර ටිකිරි බණ්ඩා එදින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර හෙතෙම මේ වනවිට ප්‍රදේශයෙන් අතුරුදන් වී සිටින බවද කියැවෙයි. අද වයඹ පළාත් සභාව රැස්වුණේ මෙවැනි පසුබිමක වූ අතර අධිකරණය හමුවේ පෙනී නොසිටි ටිකිරි බණ්ඩා අද පළාත් සභා රැස්වීමද මගහැරගොස් තිබීම පිළිබදව වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබිණි. සභා රැස්වීමට සහභාගිවීමට පැමිණියහොත් පොලිසිය විසින් අත්අඩංගුවට ගනීවියැයි බියවීම හේතුවෙන් සභාපතිවරයා විසින් සභා රැස්වීම මගහැර ඇති බවත්, මෙරට හිටපු ප්රභූවරයෙකුගේ දකුණු පළාතේ පිහිටි නිවසක ඔහු සැගවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් මේ පිළිබදව මාධ්‍යවේදීන් සමග අදහස් දැක් වූ ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පැවැසීය.
නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක මහතා අද පැවැති වයඹ පළාත් සභා රැස්වීමේ මුලසුන හෙබ වූ අයුරු.