Saturday, January 18, 2025

අධිකරණයට අපහාස කළැයි වයඹ සමූපකාර ඇමැතිට එරෙහිව පෙත්සමක්.

Must read

dehigama - Copyවයඹ පළාත් මාර්ග,ප‍්‍රවාහන,සමූපකාර සංවර්ධන හා වෙළද,නිවාස හා ඉදිකිරීම්,කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් සිය දේශපාලන බලය යොදාගනිමින් කුරුණෑගල පළාත්බද මහාධිකරණයෙන් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කර ඇති බවට සහ එම නියෝගය කඩකිරීම තුළින් අධිකරණයට අපහාසයක් කර ඇති බවට චෝදනා කරමින් අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් සලකාබැලීම කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විසින් දෙසැම්බර් මස 18 වැනිදා දක්වා කල් තැබීය.

නීතිඥ ලක්මල් වික‍්‍රමාරච්චි සහ නීතිඥ තුෂාර හේරත් යන මහත්වරුන් වෙනුවෙන් නීතිඥ සංජීව විජේපාල මහතා විසින් පසුගිය 03 වැනිදා කුරුණෑගල පළාත්බද මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමෙන්,අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කිරීම සදහා වගඋත්තරකාර ඇමැතිවරයාට අධිකරණය ඉදිරියේ පෞද්ගලිකවම පෙනීසිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන්නැයිද වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කරන පෙත්සම්කාර නීතිඥයින් දෙපළ විසින් මීට පෙර අවස්ථාවකදී, එනම් 2015ඔක්තෝම්බර් 13වැනි දින කුරුණෑගල පළාත්බද මහාධිකරණය වෙත ඉදිරිපත් කළ HCW/19/2015 දරණ රීට් අයදුම්පත‍්‍රය සලකා බැලූ මහාධිකරණ විනිසුරුතුමා විසින් අදාළ රීට් අයදුම්පත‍්‍රය විභාග කර අවසන් වන තෙක් වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව වෙත නව සාමාජිකයින් පත්කිරීම වළක්වාලමින් අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව නීතිඥ සංජීව විජේපාල මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙහි සදහන් වෙයි.

කුරුණෑගල මහාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් අදාළ නියෝගය පිළිබදව දැනුම් දී තිබියදීත් වගඋත්තරකාර අමාත්‍යවරයා විසින් ඊට පසුදිනම එනම්, 2015 ඔක්තෝම්බර් 14 වැනිදා කොළඹ පිහිටි රජයේ මුද්‍රණාලය වෙත අතින් භාරදෙන ලියැවිල්ලක් හරහා වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවට නව සාමාජිකයින් තිදෙනෙකු පත්කිරීමට අදාළව අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කරන ලෙසට දැනුම්දීමක් කර ඇති බවත්, ඒ අනුව අංක 1936/43 හා 2015 ඔක්තෝම්බර් 15 වැනි දිනැති අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවට නව සාමාජිකයින් තිදෙනෙකු පත්කිරීමට කටයුතු කර ඇති බව බවද පෙත්සම්කාර නීතිඥවරුන් දෙපළ සිය පෙත්සම මගින් කියා සිටී.

රීට් අයදුම්පත‍්‍රයක් හරහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් ඒ බව නොතැකූ විත්තිකාර අමාත්‍යවරයා වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවට පත් කළ නව සාමාජිකයින් තිදෙනෙකුට දිවුරුම්දීමට සලස්වා, 2015 නොවැම්බර් 12 වැනි දින එම සාමාජිකයින් රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකටද සහභාගි වී ඇති බවටත්,
අමාත්‍යවරයා අදාළ අවස්ථාවට සහභාගි වී සිටින අයුරු දැක්වෙන ඡායාරූමය සාක්ෂි තමන් සතු බවටත් පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සමෙහි සදහන් කර තිබේ.

එබැවින් විත්තිකාර අමාත්‍යවරයා විසින් සිය දේශපාලන බලය යොදවා උත්තරීතර අධිකරණය මගින් ලබා දුන් අතුරු තහනම් නියෝගය උල්ලංඝණය කර ඇති බවටත්, එය ඉතා පැහැදිලිවම 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 18 වැනි වගන්තිය ප‍්‍රකාරව අධිකරණයට කරන ලද අපහාසයක් බවද එම පෙත්සමෙහි වැඩිදුරටත් සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article