මව්පියන්ගේ පවුල් ආරවුලක් හේතුවෙන්, අකාලයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ අට මස් වියැති සිගිත්තෙකු පිළිබදව කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයෙන් පෙරේදා ( 22 දා) වාර්තා විය.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වැල්ලව, පහළ වරද්දන, පල්ලේකොටුව ප්‍රදේශයේ පදිංචි ජනිත් කෞශල්‍ය නැමැති සිගිති දරුවාය. ජනිත් ළදරුවාගේ මව්පියන් විසින් ඇතිකරගත් ආරවුලක ප්‍රතිඵලයක් ලෙස, චතුර ගයාන් මදුශංක නැමැති 30 හැවිරිදි ඔහුගේ පියා විසින් ජනිත් ද වඩාගෙන දුම්රියට පැන පෙරේදා පස්වරුවේ සියදිවි හානිකරගෙන තිබිණි. ජනිත් දරුවාගේ නිවස ඉදිරිපිටින් උතුරු දුම්රිය මාර්ගය දිවෙන අතර, පෙරේදා පස්වරු 3.30 ට පමණ, කොළඹ සිට යාපනය බලා එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියකට පිය පුතු දෙපළ බිලි වී ඇති බව ප්‍රදේශවාසීහු කියති.
මිය ගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිද අතර පෙරේදා උදෑසන ආරවුලක් ඇතිව තිබෙන බවත්, බිරිය විසින් ඒ පිළිබදව වැල්ලව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් පවුලේ ඥාතීහු වයඹ ටුඩේ වෙබ් අඩවියට කීහ. අදාල පැමිණිල්ල පිළිබදව විභාග කිරීම සදහා දරුවාද සමග පැමිණෙන ලෙසට පොලිසිය විසින් මදුශංක වෙත දුරකථන ඇමැතුමක් ලබා දී ඇති බවත්, එයින් කලබලයට පත් මදුශංක, දරුවා ද වඩාගෙන නිවස ඉදිරිපිටින් ධාවනය වූ දුම්රියට පැන ඇති බවත් ඥාතීහු වැඩිදුරටත් පැවසූහ. දුම්රියේ ගැටී මියගිය සිගිති දරුවාගේ අත තිබූ කිරි බෝතලය සහ ඔහු හැද සිටි කුඩා ඇදුම් දුම්රිය මාර්ගය අවට විසිරී තිබූ අයුරු, දුටුවන්ගේ හද පාරවන දසුනක් බවට පත් වී තිබිණි.
මියගිය පිය පුතු දෙපළගේ මෘතදේහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබූ අතර මෘතදේහ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව ඒවා ඊයේ (23 දා) පස්වරුවේ ඥාතීන් වෙත භාරදෙනු ලැබීය. වැල්ලව පොලිසිය මෙම සිදුවීම පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෙම සිදුවීම පිළිබද සැකසූ වීඩියෝ වාර්තාව පහතින් දැක්වෙයි.