Sunday, January 19, 2025

අගමැති රනිල්ගේ පින්තූරයට ඇමැති දෙහිගම පරල වෙයි !

Must read

alu_yata_gini_july_21_1

ඒකාබද්ධ කාලසටහන් උත්සවයෙන් අධිකාරියේ සභාපති විසිවෙයි.

ලංගම සහ පුද්ගලික බස් රථ සදහා ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කිරීමේ වයඹ පළාත් නිල උත්සවය පැවැත්වුණේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලංගමය පැත්තෙන් දැකගත හැකි වූයේ නිද්‍රාශීලි පිළිවෙතකි. නමුත් ඒකාබද්ධ කාලසටහනේ අනෙක් පාර්ශ්වය වන වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය නම් එම කාර්යය සාර්ථක කරගැනීම පිණිස සෑහෙන තරමේ මහන්සියක් ගන්නා ආකාරය උත්සවයට දින කිහිපයකට පෙර සිටම දැකගත හැකි විය. අදාළ උත්සවය පිළිබදව සැකැසූ විශාල ප‍්‍රමාණයේ කටවුට් වයඹ පළාතේ සෑම ප‍්‍රධාන බස් නැවැතුම්පොළක් ආසන්නයේම පාහේ සවි වී තිබූ අතර සැලකිය යුතු තරමේ පෝස්ටර් තොගයක්ද වයඹ පළාත පුරා ඇලැවී තිබිණි. මේ කටවුට් සහ පොස්ටර්වල විශේෂත්වය වූයේ ඒ හැම එකකම පාහේ වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ වත්මන් සභාපති දේශාන් සම්පත් වර්ණපුරගේ නම කැපී පෙනෙන ලෙස සටහන් වී තිබීමය. සභාපති වර්ණපුරගේ පුද්ගලික මුදලින් අදාළ පෝස්ටර් සහ කටවුට් මුද්‍රණය වී තිබීම ඔහුගේ නම එතරම් කැපීපෙනෙන ලෙස ඒවායේ සටහන්වීමට හේතු වූ බවද කියැවෙයි. අදාළ උත්සවය සදහා සභාපති වර්ණපුර විසින් දැක් වූ උනන්දුව කෙතරම්ද කිවහොත් ඒ පිළිබද නොදන්නා කෙනෙකුට සිතෙන්නට ඇත්තේ සභාපතිවරයාගේ පුද්ගලික උත්සවයක් සූදානම් කෙරෙනවා වැනි හැගීමකි. නමුත් සති ගණනක් තිස්සේ සිදු වූ සියලූ ලකලෑස්තිවීම් ගගට කැපූ ඉණි බවට පත්කරමින් උත්සවයට පෙර දිනයේදී සභාපති වර්ණපුරට විෂය භාර ඇමැති දෙහිගමගෙන් ලුණු ඇඹුල් ඇතිව අසාගන්නට සිදුවිය. ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කිරීමේ උත්සවය සදහා සභාපති වර්ණපුරගේ අනුදැනුම ඇතිව සූදානම් කෙරුණු කටවුට්, පොස්ටර්, ආරාධනා පත‍්‍ර පමණක් නොව උත්සවයේ ප‍්‍රධාන බැනරයට පවා අගමැති රනිල්ගේ ඡායාරූපයක් ඇතුලත් වී තිබීම ඇමැති දෙහිගමගේ උදහසට හේතු වී තිබිණි. එම බැනරයට ජනපති මෛත‍්‍රීගේ, ඇමැති නිමල් සිරිපාලගේ, නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහගේ මෙන්ම ඇමැති දෙහිගමගේත් ඡායාරූපයන්ද ඇතුළත් වී තිබූ නමුත් ඊට අගමැති රනිල්ගේ ඡායාරූපයක් ඇතුළත්කිරීම ගැන දෙහිගමට යකා නැග තිබිණි. බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත උත්සවයේ න්‍යාය පත‍්‍රය පිළිබදව සාකච්ඡා කිරීමට පසුගිය බදාදා ඇමැති දෙහිගමගේ අමාත්‍යංශයට ගොඩවැදුණු සභාපති වර්ණපුර දුටු ඇමැති දෙහිගම පරල විය. වර්ණපුර දුටු සැනින් අගමැති රනිල්ගේ ඡායාරූපය යොදාගැනීම පිළිබදව සභාපතිවරයාට බැණ වැදුණු ඇමැති දෙහිගම ඇසුවේ රනිල්ගේ පින්තූරය ඊට ඇතුළත් කළේ ඇයිද යනුවෙනි. නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහද අදාල උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගිවීමට නියමිත බැවින් අගමැතිවරයාගේ පින්තූරය ඊට ඇතුළත් කළ බව සභාපතිවරයා කී නමුත් ඇමැති දෙහිගම එම තර්කය පිළිගැනීමට සූදානම් නොවීය. උත්සවයේ ආරාධනාපත‍්‍ර සහ පෝස්ටර්වලට සභාපති වර්ණපුරගේ නමද ඇතුළත්කර තිබීම පිළිබදව දෙහිගමගේ නොසතුට පළවිය. ‘‘මොකටද මේකට ඔයාගේ නම දාන්න ගියේ ? මේවා ගහන්න කලින් ලේකම්තුමාට පෙන්නුවේ නැද්ද ? ’’දෙහිගම ඇසීය. ‘‘ඕක විතරක් නෙවෙයි. උත්සවේ ගැන කරපු සියලූ දේවල් ලේකම්තුමාට පෙන්නලා අවසර අරගෙන තමයි ගැහැව්වේ.’’සභාපති වර්ණපුර කීය. පසුදින උත්සවය වෙනුවෙන් සභාපති වර්ණපුර විසින් සකස්කර ගෙනැවිත් තිබූ න්‍යාය පත‍්‍රයද කුණු කූඩයට විසි විය. ඒ වෙනුවට නව න්‍යාය පත‍්‍රයක් ලහිලහියේ සකස් වූවා පමණක් නොව පෙර න්‍යාය පත‍්‍රයට ඇතුළත් වී තිබූ සභාපති දේශාන් වර්ණපුරගේ නමත් ඉන් කැපී ගොස් තිබිණි. කුරුණෑගල සමූපකාර උත්සව ශාලාවේදී පසුගිය බ‍්‍රහස්පතින්දා ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කිරීමේ උත්සවය ආරම්භ කෙරුණේ අඵ යට ගිනි පුපුරු දැල්වෙමින් තිබුණු එවැනි පසුබිමක් තුළය. නියෝජ්‍ය ඇමැති අශෝක් සහ පළාත් ඇමැති දෙහිගමට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලයේ, ජාතික ගමනාගමන කොමිසමේ, මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ නිලධාරින් මෙන්ම බස් හිමියන්ගේද සහභාගිත්වය ඇතිව උත්සවය පැවැත්වුණු නමුත් එම උත්සවය පුරාම සභාපතිවරයාගේ නම පවා නොකියැවුණු තරම්ය. ඒ නිසාම සභාපති වර්ණපුර අදාල උත්සවයේ රැදී සිටිනු දැකගත හැකි වූයේ විනාඩි කිහිපයක් පමණි. සභාපතිවරයා උත්සවයෙන් වැඩි වේලාවක් ගතකළේ උත්සවය පැවැති ශාලාවෙන් පිටත තිබූ අසුනකට වී හිදගෙනය.

නිලධාරීන්ට එරෙහිව මන්ත‍්‍රී කැරැල්ල පළ දරයි.

වයඹ පළාත් සභාවේ නිලධාරීන් සම්බන්ධයෙන් පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් විසින් ආරම්භ කර තිබූ අභ්‍යන්තර අරගලය සාර්ථක වන බවට පසුගිය සතියේදී සළකුණු පහළ වී තිබිණි. ඒ වයඹ පළාත් සභාව යටතේ ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් පාලන දෙපාර්තමේන්තුව සහ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල ප‍්‍රධානින්ට හදිසි ස්ථාන මාරු ලැබී තිබීම හේතුවෙනි. වයඹ පළාත් සභා නිලධාරින්ගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ විවේචනයන් එල්ලවන්නට පටන්ගත්තේ අදක ඊයෙක නොවේ. වයඹ පළාත් සභාවේ ඇතැම් නිලධාරින් ඇමැතිවරුන් පවා මායිම් නොකරමින් හිතුවක්කාරී ලෙස රාජකාරියේ යෙදෙන බව මන්ත‍්‍රීවරුන්ගෙන් නැගුණු සුලබ චෝදනාව විය. පළාත් සභා අරමුදල් වෙන්කරවා ගැනීම් , ස්ථාන මාරුවීම් වැනි රාජකාරි කටයුත්තක් ඉටුකරවාගැනීමට යාමේදී පවා නිලධාරින් තමන් තුට්ටුවකට හෝ මායිම් නොකරන බවට මන්ත‍්‍රීවරුන් ගණනාවක් පසුගිය සමයේ වයඹ පළාත් සභා රැස්වීම්වලදී ප‍්‍රසිද්ධියේම චෝදනා කළහ. මන්ත‍්‍රීවරුන් විසින් වයඹ පළාත් සභාව තුළදී ජනතා හිතවාදී යෝජනා කොතරම් සම්මත කරන නමුත් ඒවා නිලධාරින් අතින් ක‍්‍රියාත්මක නොවන බවටද මන්ත‍්‍රීවරුන්ගෙන් චෝදනා එල්ල විය. පළාත් සභා රැස්වීම තුළදී එලෙස එළිපිට කෙරුණු විවේචනයන්ට අමතරව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීත් පළාත් සභා නිලධාරින්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව ඊට වඩා රඵ පරඵ සහ දැඩි ස්වරයෙන් අවස්ථා කිහිපයකදීම සාකච්ඡුාවට ලක්විය. මේ සාකච්ඡාවන්වලදී මන්ත‍්‍රීවරුන් ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් සෘජුවම ඉල්ලා සිටියේ මන්ත‍්‍රීවරුන්ට පිළිබද තැකීමක් නොකරන පළාත් සභා නිලධාරින් පිළිබදව දැඩි පියවරක් ගන්නා ලෙසටය. පළාත් සභාව යටතේ පිහිටුවා ඇති දෙපාර්තමේන්තු සහ ආයතනවල දැනට සිටින ප‍්‍රධානින් බොහෝ දෙනෙකු වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩවම එම තනතුරුවල රැදී සිටින බැවින් ඔවුන්ට ස්ථාන මාරු ලබාදී මෙම තත්වය යම් තරමකට සමනය කරගත හැකි බවටද මන්ත‍්‍රීවරුන් විසින් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම්වලදී යෝජනා කර තිබිණි. පසුගිය සතියේදී වයඹ පළාත් සභාවේ දෙපාර්තමේන්තු හයක ප‍්‍රධානින් ඇතුඵ නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලැබී තිබුණේ මෙවැනි පසුබිමක් තුළය. ස්ථාන මාරුවීම් යැයි කීවාට මෙම නිලධාරින්ට දුර බැහැරට හෝ වෙනත් පළාතකට හෝ යාමට සිදුනොවන අතර බොහෝවිට සිදුවීටම ඉඩ ඇත්තේ ඒ ඒ ආයතන අතර කෙරෙන තනතුරු මාරුවක් පමණකි. කෙසේවෙතත් මෙම ස්ථාන මාරුවීම් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නැවත වරක් කඹ ඇදිල්ලක ලකුණු පහළවෙන්නට පටන්ගෙන තිබේ. ඒ මෙම නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් හේතුවෙන් මෙම වර්ෂය සදහා වයඹ පළාත් සභාව විසින් සැලසුම් කර ඇති වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේදී යම් බාධාවක් විය හැකි බැවින් ලබන වසර මුල සිට ස්ථානමාරුවීම් ක‍්‍රියාත්මක කරන්නැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු විසින් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලා සිටීමට සූදානම් වන බවක්ද වාර්තා වන හෙයිනි.
මෙලෙස ස්ථාන මාරු ලබා දී ඇත්තේ සුදුසුම නිලධාරින්ටදැයි මේ වන විට තවත් ගැටඵවක් මතු වී තිබේ. වයඹ පළාත් සභාව ආරම්භයේ සිට මේ දක්වාම එකම පුටුවකට මුල්ඇදගෙන සිටින නිලධාරින්ද පළාත් සභාව තුළ නැතුවා නොවේ. අලි, පුටු, රාජාලි, බුලත්කොළ නියෝජනය කරමින් වයඹ මහ ඇමැතිවරුන් හය හත් දෙනෙකුම වයඹ පළාත් සභාවේ රාජකාරි කර ඇතත් ඒ කිසිවෙකුගේ කාලවකවානුවකදී මේ නිලධාරින්ගේ පුටු නම් සෙලවුණේවත් නැත. විශේෂත්වය වන්නේ ඔවුන් විසින් නායකත්වය දෙමින් සිටින ආයතනයන් ගැන මහජන පැමිණිලි මෙන්ම මන්ත‍්‍රී චෝදනාවන්ද තොග ගණනින් එල්ල වී ඇති නමුත් එම නිලධාරීන් තවමත් එම පුටුවලට වී යෙහෙන් වැජඹීමය. තම තමන්ගේ අසුන්වල තවදුරටත් මුල් අද්දාගැනීමට එම නිලධාරින් වෙත තවත් අවස්ථාවක් ලැබී ඇති බව පෙනෙන්නේ ඊයේ පෙරේදා සිදුකෙරුණු ස්ථාන මාරුවීම් අදාළ නිලධාරීන් වෙතද බලපා නැති බවක් පෙනෙන හෙයිනි. තත්වය එය නම් නිලධාරින්ට එරෙහි මන්ත‍්‍රීවරුන් ගෙනගිය කැරැල්ලට දැන් ලැබී ඇත්තේ පළාත් රාජ්‍ය සේවය පිරිසිදු කිරීමේ පුඵල් අරමුණකින් ගෙනගිය සද්භාවයෙන් කෙරුණු සටනක පෙනුමකට වඩා තමන්ගේ පදේට නටවා ගත නොහැකි නිලධාරින් දමනය කරගැනීම වෙනුවෙන් කෙරුණු පටු සහ වෛරීසහගත අරමුණුවලින් යුත් සටනකට ලැබෙන අශෝභන මුහුණුවරක් බවද කිව යුතුය.

පියසිරි රාමනායක සන්ධ්‍යගේ ඇමැතිකම ඩැහැගැනීමේ මෙහෙයුමක.

සාමාන්‍යයෙන් බ‍්‍රහස්පතින්දාට පැවැත්වෙන වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම මෙවර පැවැත්වුණේ පසුගිය සදුදාය. බ‍්‍රහස්පතින්දාට නියමිතව තිබූ කණ්ඩායම් රැස්වීම හේතු කිහිපයක් මත සදුදා දක්වා කල්ගොස් තිබිණි. පසුදිනට ඇසළ පොහොය යෙදී තිබීම නිසාදෝ සදුදා පැවැති කණ්ඩායම් රැස්වීමට මැති ඇමැතිවරුන්ගේ සහ මන්ත‍්‍රීවරුන්ගේ සහභාගිත්වයෙහි සැලකිය යුතු අඩුවක් දැකගත හැකි විය. රැස්වීම අතරමැදදි ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ චෝදනාත්මක ස්වරයකින් කතා කළේය. ‘‘මටත් පොඩි ප‍්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. නමුත් අදාල පුද්ගලයා මෙතැන නැති නිසා මම ඒ ගැන මෙතැන කතා කරන්න කැමැති නැහැ. ’’සන්ධ්‍ය කීය. ‘‘ඒකට කමක් නැහැ. මොකක් හරි ප‍්‍රශ්නයක් නම් කියන්න. ’’මහ ඇමැති ධර්මසිරි කීය. ’’ඔබතුමා කියන්න කියන නිසා මම කියන්නම්. පියසිරි රාමනායක මහත්තයා මගේ ඇමැතිකම ලබාගැනීමේ උත්සාහයක යෙදිලා ඉන්නවා. එතුමා ජනාධිපතිතුමා, පක්ෂයේ මහලේකම්තුමා වගේම හොරගොල්ලට ගිහින් චන්ද්‍රිකා නෝනාවත් හම්බවුණා කියලා මට ආරංචියි. එතුමා දැන් තැන් තැන්වල කිය කියා යනවා මාව ඇමැතිකමින් අයින් කරලා මගේ ඇමැතිකම එයා ගන්නවා කියලා. මට කියන්න තියෙන්නේ එයා එහෙම දේකට ලෑස්ති වෙනවා නම් මමත් ලෑස්තියි ඒකට මුහුණදෙන්න. මොකද මේ තනතුරු, ඇමැතිකම් කියන්නේ අපිට පිනට ලැබුණු දේවල් නෙවෙයි. අපේ සුදුසුකම්වලට, අපි කරපු කැපකිරීම්වලට තමයි මේ තනතුරු ලැබිලා තියෙන්නේ. ’’සන්ධ්‍ය කීය. මන්ත‍්‍රී චින්තක මායාදුන්නේ කතා කළේ ඉන් අනතුරුවය. ‘‘පළාත් සභාවේ දැනට තනතුරු බෙදිලා තියෙන විදිහ පිළිබදව අපේ ගැටඵවක් නැහැ. මේ තනතුරු වෙනස් කරන්න අපිට උවමනාවකුත් නැහැ. නමුත් අපි ඇමැතිවරුන්ටත් කියන්නේ මන්ත‍්‍රීවරුන් විදිහට අපි ගැනත් වැඩි සැලකිල්ලක් දක්වන්න. අපි සූදානම් ඇමැතිවරුන් ආරක්ෂා කරගෙන වැඩකරන්න. ’’මන්ත‍්‍රී මායාදුන්න කියද්දී ඔහුගේ අදහසට විරුද්ධව කිසිවෙක් කතා කළේ නැත.

යහපාලනයෙන් සිමෙන්ති ගන්න ආ මහින්දගේ පුංචි මන්ත‍්‍රීවරු.

ඒකාබද්ධ විපක්ෂය හෙවත් මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන ලොකු කුඩා සියලූ මන්ත‍්‍රීවරුන්ගේ පොදු සතුරා බවට මේ වන විට පත් වී ඇත්තේ යහපාලන ආණ්ඩුවයි. ඒ කවර මන්ත‍්‍රීවරයෙක් වේවා ලැබෙන හැම අවස්ථාවකදීම යහපාලන ආණ්ඩුව නිර්දය ලෙස විවේචනය කිරීමට මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් සහභාගි වන උත්සවයකට පවා සහභාගි නොවීමට වගබලාගෙන සිටිති. මීට හාත්පසින්ම වෙනස් තත්වයක් පසුගිය සතියේදී දැකගත හැකි වූයේ මහවදීය. නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායකගේ සහ ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායකගේ ප‍්‍රධානත්වයෙන් මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී ඉකුත් සෙනසුරාදා උත්සවයක් සංවිධානය වී තිබුණේ අඩු ආදායම්ලාභීන් වෙත සිමෙන්ති ආධාර බෙදාදීම වෙනුවෙනි. පුදුමයකට මෙන් මෙම උත්සවයට මහව ප‍්‍රාදේශීය සභාවේ මහින්ද පිළ නියෝජනය කරන රෝහණ මැදගෙදර, එච්. පියසේන, වසන්ත මාකඩුවාව, සුනිල් ඒකනායක ඇතුඵ හිටපු මන්ත‍්‍රී පිරිසක් සහභාගි වී සිටියහ. සිමෙන්ති ආධාර බෙදාදීම සදහා මෙම මන්ත‍්‍රීවරුන් විසින් නම් කළ ප‍්‍රතිලාභීන් පිරිසක්ද තෝරාගෙන තිබූ බව කියැවිණි. කෙසේවෙතත් ඇමැති ටී. බී. වාහනයෙන් බසිනවාත් සමග එතැනට ගිය හිටපු මන්ත‍්‍රී පිරිස ටී. බී. සමග සුහද පිළිසදරක යෙදී සිටිනු පෙණිනි. අනතුරුව ටී. බී. මහින්ද පිළේ මන්ත‍්‍රීවරුන් සමගම උත්සවයට පැමිණ අසුන් ගත්තේය. ඒ එන අතරතුරදී හමු වූ මාධ්‍යවේදීන් වෙත රහසක් හෙළිකිරීමටද ටී. බී. අමතක නොකළේය. ‘‘අඩු ආදායම්ලාභියෙක් කියලා සිමෙන්ති ගන්න අන්න මුදලාලි කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. පේනවනේ යූඇන්පී ආණ්ඩුවෙන් සිමෙන්ති දෙන්න දුප්පත් මිනිස්සු තෝරලා තියෙන හැටි. ඔන්න ඕවා තමයි ඔයාලා නිවුස්වල දාන්න ඕනෑ. ’’ටී. බී. මාධ්‍යවේදීන්ට කීය. ඇමැති ටී. බී. සහ ඉන්දික සමග එක පෙළට උත්සවයේ වාඩි වී සිටි හිටපු මන්ත‍්‍රීවරුන්ගෙන් එක් අයෙක් උත්සවය අතරමගදී අසුනෙන් නැගිගිට්ටේය. ‘‘ ඕන එකක් ඉවසන්න පුලූවන්. මට අර ඉස්සරහා ගහලා තියෙන බෝඩ් එකේ තියෙන මූණවල් දිහා බලාගෙන ඉන්න එකනේ කරන්න බැරි. මම යනවා යන්න.’’යැයි කී හිටපු මන්ත‍්‍රීවරයා උත්සව ශාලාවෙන් පිටවී ගියේය. වේදිකාව මත සවි වී තිබුණේ ජනපති මෛත‍්‍රී, අගමැති රනිල්, ඇමැති සජිත් ඇතුලු පිරිසකගේ ඡායාරූප සහිත බැනරයකි. කෙසේවෙතත් අන්තිමේදී බලන විට උත්සවය අවසානයේදී සිමෙන්ති වැඩිපුර බෙදා දී තිබුණේ මහින්ද පිළේ හිටපු මන්ත‍්‍රීවරුන් වෙතින් නම් කර තිබූ ප‍්‍රතිලාභීන් වෙත බවක් පෙනෙන්නට තිබිණි. ‘‘ඔන්න පේනවානේ. මෛත‍්‍රීට විරුද්ධව ගිය අයටත් මෛත‍්‍රී , මෛත‍්‍රී කරලා වගේ . ’’උත්සවයට සහභාගි වී ආපසුයමින් සිටි අය කියනු ඇසිණි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 ජූලි 21 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article