Saturday, September 21, 2024

” හයිබ්‍රිඩ් වාහනයක් පදවන කෙනෙකුට, විශේෂ වාසි කිහිපයක්ම තියෙනවා” – දීප්ත අප්පුහාමි

Must read

වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මාරාවිල මුදුකටුව ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වු නැසීගිය බැසිල් අප්පුහාමි මහතාගේ එකම පුතු වූ දීප්ත අප්පුහාමි මහතා ද දක්ෂ ව්‍යාපාරිකයෙකි. සිය පියාගේ අඩි පාරේ යමින් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසි ඔහු වෘත්තියෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකි. ඔහු මේ වන විට හයිබ්‍රිඩ් තාක්ෂණයෙන් යුත් රථ වාහන සඳහා මාරවිල මුදුකටුව ප්‍රදේශයේ හයිබ්‍රිඩ් වාහන අලුත් වැඩියා කිරීමේ සහ සර්විස් කිරීමේ මධ්‍යස්ථානයක් ඉතා සාර්ථකව පවත්වාගෙන යයි.  දීප්ත අප්පුහාමි මහතාගේ ව්‍යාපාරික ඥානය සහ හයිබ්‍රිඩ් වාහන සම්බන්ධයෙන් ඔහු සතු දැනුම සහ අත්දැකීම් පාථක ඔබ සැම සමඟ බෙදා හදා ගන්නට ඔහු සමඟින් සිදු කළ පිළිසඳර පහත පළවේ.

යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයම තෝරාගන්න,  පාසල් යන කාලේ ඉදලම ඔබේ යම් කැමැත්තක් එහෙම තිබුණද ?
      ඇත්තෙන්ම ඔව්, මම කුඩා කාලේ ඉඳලාම මැකෑනික් පැත්තට හුඟක් ආසාවෙන් හිටියේ. අපේ ගෙදර වාහනයක් තිබුණා , ඒත් එක්කම මගේ පියාගේ ව්‍යාපාර කටයුතුවලට ගෙනාපු ට්‍රැක්ටර් වගේ වාහනත් අපේ ගෙදර තිබුණා. ඉතින් මම අපේ ගෙදර තිබුණු කාර් එකේ සමහර යාන්ත්‍රික අංග උපාංග ගලෝලා කරලා හදන්න එහෙම පුළුවන්කම තිබුණා . ඒත් එක්කම මට මතකයි , මම ඕලෙවල් වගේ ඉන්න කාලේ අපි පියාගේ ව්‍යාපාර කටයුතුවලට භාවිතා කරපු ට්‍රැක්ටර් වල එන්ජින් එහෙම ගලවලා හදනවා. මට ඔය එන්ජින් වල වැඩ වලට මම කුඩා කලේ ඉඳලා පුදුමාකාර ලැදියාවක් ආශාවක් තිබුණා. මා මුලින්ම පාසල් ගියේ මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලයට. උසස් පෙළ කරන්න මම වෙන්නප්ප්ව ජෝසප් වාස් විද්‍යාලයට ඇතුල් වුණා.  මම ඒලෙවල් වලට ගණිත අංශයෙන්  ඉගෙන ගෙන  සමත් වෙලා  මොරටුව විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. මම මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය සඳහා යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයම තෝරා ගත්තා.

වෘත්තියෙන්  ඉංජිනේරුවරයෙක් වෙන්න කලින් ඔබ නියැලුණු වෙනත් රැකියාවන් ගැන කෙටියෙන් කිව්වොත් ?

                  එක මෙහෙමයි, දැන් මම 1990 තමයි කැම්පස් එකෙන් උපාධිය ලබා ගත්තේ. එතකොට මම එහෙම කැම්පස් එකෙන් එලියට ඇවිල්ලා මාස හයක් විතර වගේ යද්දී මගේ පියා මිය යනවා. එතකොට මම කැම්පස් එකේ ඉන්න කාලේත්. ඒ කියන්නේ 1988, 1989 වගේ කාලෙත්  එක දිගටම කැම්පස් වහලා අධ්‍යන කටයුතු සිදුවුණේ නැහැ. ඒ කාලයේ. කාලෙන් කාලෙට කැම්පස් එක වහනවා. ආයේ අරිනවා. කැම්පස් එකේ ළමයිව වරින් වර අරගෙන ගිහින් මරලා දානවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් තිබුනා, ඒ කාලේ. ඉතින් ඒ කාලෙදි මට සිද්ධ වුණා මගේ පියා සමඟ එකතු වෙලා, එයා කරපු බිස්නස් වගේම තවත් අලුත් බිස්නස් කීපයකුත් එයා එක්කම පටන් ගන්න.මගේ පියා ප්‍රදේශයේ හොඳ  පොල්  ව්‍යාපාරිකයෙක්. ඒ වගේම කොහු , සහ පොල්තෙල් වගේ දේවලුත් ඔහු බිස්නස් කළා. ඉතින් මම කැම්පස් එකේ ඉන්නැද්දිම මගේ පියා එක්ක එයාගේ බිස්නස් වලටත් යම් යම් විදිහට සම්බන්ධ වුණා. ඒත් එක්කම මගේ පියා සමග මම පටන් ගත්තා ටුවයින් ලණු ඒකට අපි හොප්යාන් කියලත් කියනවා, අන්න ඒ ටුවායින් ලණු  අපි එංගලන්තෙටයි ඇමරිකාවටයි අපනයනය කරන්න පටන් ගත්තා. ඉතින් ඔහොම ඉන්නැද්දි මම කැම්පස් එකෙන් උපාධිය ලබලා ආවට පස්සේ පියා මිය යනවා, ඉතින් එයා එතෙක් කර කර හිටපු බිස්නස් ටික මට භාර  අරගෙන කරන්න වුනා.ඉතින් උපාධිය ලබලා කැම්පස් එකෙන් එලියට ඇවිල්ලා මට වෙනත් රැකියාවක් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ.

පියාගේ ව්‍යාපාර කටයුතුවලදී ලබපු අත්දැකීම ඔබ ඉගෙන ගත්තු මේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව කොහොමද ඔබට මේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්න සහයක් වුනේ ? 

             ඇත්තටම කියනවනම් මම මේ ඉගෙන ගත්තු යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය  මට මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ලොකු රුකුලක් ඒ වගේම වාසියක් සහ විශාල සහයක් වුණා.දැන් මගේ ව්‍යාපාර කටයුතුවලට අවශ්‍ය වන මැෂින්ස් සමහර ඒවා මම ම හදාගත්තා. ඒ වගේම සමහර මැෂින්ස් වල සමහර අංග  මම ම වැඩි දියුණු කරගත්තා. ඒ සියලුම දේ කරන්න මට සහයක් වුනේ මම ඉගෙන ඉගෙන ගත්තු යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය. විශේෂයෙන්ම දැන් මම කරන ටුවයින් ලණු ව්‍යාපාරයේදී  ඒ ලණු නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන මැෂින්ස් වල සමහර දේවල් මට ඕන විදිහට වැඩි දියුණු කරගත්තා.  ඒ වගේමයි මම කොහු බත් ප්‍රෙස් කරලා අපනයනය කරන්න පටන් ගත්තා, ඒ ව්‍යාපාරයේදීත් මට අවශ්‍ය වුණු මැෂින්ස් සමහර ඒවා මම ම හදාගත්තා . සමහර මැෂින් වලට මම ම අලුත් අලුත් දේ එකතු කරලා වැඩිදියුණු කරගත්තා. ඒ වගේ සමහර දේවල්  මම ම හදාගත්තා. ඉතින් මට විශාල රුකුලක් වුනා මගේ ව්‍යාපාර කටයුතුවලට මේ මම ලබපු යාන්ත්‍රික ඉංජිනේරු දැනුම.

  මම අහලා තියෙනවා  ඔබ කාලෙන් කාලෙට ව්‍යාපාර මාරු කරන, ව්‍යාපාරිකයෙක් කියලා. මේ කතාවේ සත්‍යතාවය මොකක්ද?

                 ඔව්. ඒ කතාව සත්‍යයක්.මොකද මම ව්‍යාපාරිකයෙක් විදිහට , මම කැමති නෑ කම්පර්ටිෂන්ස්   එහෙම නැත්නම් තරගකාරීත්වයක් තියාගෙන  ව්‍යාපාර කටයුතුවල නියැලෙන්න.  මම ව්‍යාපාරයක නියැලෙද්දී එහෙම තරගකාරීත්වයක් ඇති වුනොත්  මම ඒ ව්‍යාපාරය අතහරිනවා. ඒ අනුව මම කාලෙන් කාලෙට මම එතෙක් කරගෙන ආපු ව්‍යාපාර  මම අතහැරලා තියෙනවා.එහෙම අතඇරලා බලනවා වෙනත් අලුත් ව්‍යාපාර ක්ෂේත්‍ර  එහෙම තියෙනවද කියලා . දැන් මම මුලින්ම පොල් ව්‍යාපාරය අතහැරියා .මොකද ඒ වෙද්දි පොල් ව්‍යාපාරය හැමෝම කරන්න පටන් ගත්තා. පොල්තෙල් ව්‍යාපාරයත් මම අතහැරියා. ඒ වෙද්දි හැම තැනම පොල්තෙල් මෝල් කරන්න පටන් ගත්තා. ඒ වගේම මම සෑහෙන කාලයක් තිස්සේ කරපු කොහුබත් ව්‍යාපාරයත් අතඇරියා. ඒ ව්‍යාපාරයේ  මම සෑහෙන කාලයක් නිරත වුණා. මම හිතන්නේ මම වෙන්න ඇති පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම කොහොබත් බිස්නස් එක කෙරුවේ. ඉතින් කල් යද්දි ඕක හැම කෙනෙක්ම වගේ කරන්න පටන් ගත්තා. එතකොට මම ඒක අතඇරියා.  ඒ වගේම මම පටන් ගත්තු ටුවායින් ලණු නිෂ්පාදන ව්‍යාපාරය මම තවමත් කරගෙන යනවා.

මේ වෙද්දි ඔබ විසින් හයිබ්‍රිඩ් වාහන සර්විස් කිරීමේ සහ අලූත්වැඩියා කිරීමේ ආයතනයක් පවත්වාගෙන යනවා. කොහොමද ඔබ මේ හයිබ්‍රිඩ් තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාරයකට යොමු වුණේ ?

                   අර මම කලින් කිව්වා වගේ කොහු බත් ව්‍යාපාරය මම අත ඇරලා, පස්සේ මම හොයලා බැලුවා , මොනවද තියෙන අලුත් ව්‍යාපාර අවස්ථා කියලා, එහෙම හොයාගෙන යද්දි මම දැක්කා, 2008 වසරේ අපේ රටට මුලින්ම හයිබ්‍රිඩ් වාහන ගෙන්නන්න පටන් ගත්තා. හැබැයි ඒත් එක්කම මට තේරුම්  ගියා ,මේ වාහන ගෙන්නුවට මෙි වාහන අලුත් වැඩියා කරන්න දැනුම් තේරුම් තියෙන  දැනුම තියෙන අය මෙහේ නැහැ කියලා. ඊට පස්සේ මම එංගලන්තෙට ගියා.එංගලන්තෙට ගිහිල්ලා මම හයිබ්‍රිඩ් වාහන තාක්ෂණය ගැන  පාඨමාලාවන් කෙරුවා. හයිබ්‍රිඩ් වාහන තාක්ෂණය ලෝකයට පළමුවෙන්ම හඳුන්වා දුන්නේ ජපනය. නමුත් එංගලන්තෙටත් ඒ වෙද්දී  ඒ තාක්ෂණය ගිහිල්ලා තිබුණා . එංගලන්තේ  හිටියා මේ තාක්ෂණය ගැන හොඳට දැන උගත් කථිකාචාර්යවරු . අනික මට එංගලන්තයට ගිහින් මේ පාඨමාලාවන් කරන්න  වුනේ ඉංග්‍රීසි භාෂාව නිසා. අනිත් එක ජපානයට වඩා එංගලන්තයට වීසා ගන්න  ගොඩක් අමාරු නැහැනේ. ඔන්න ඔය කාරණා නිසා තමයි මම එංගලන්තෙට ගිහින් මේ තාක්ෂණය ගැන ඉගෙන ගත්තේ.ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා,  2010 දී තමයි මම මේ ආයතනය ආරම්භ කළේ.

අපි මෙතෙක් කාලයක් පාවිච්චි කරපු වාහන වලට වඩා හයිබ්‍රිඩ් වාහනයක් පාවිච්චි කරද්දී , අපට ලැබෙන විශේෂ වාසි සහ ප්‍රයෝජන පිළිබඳව සරලව විග්‍රහ කෙරුවොත්?

       අපි ඒක සරලව කිව්වොත් අපි මෙතෙක් පාවිච්චි කරපු වාහනයක් බ්‍රේක් කරද්දී, එතනදි යම් ශක්තියක් වැයවෙනවා.මොකද වාහනේ බ්‍රේක් කරද්දි ,වාහනය නතර වෙනවා.එතනදි යම් ශක්තියක් වැයවෙනවා.ඒ වැයවෙන ශක්තිය වැය වෙන්නේ එක්කෝ ශබ්දය වශයෙන්, නැත්නම් තාපය වශයෙන්. වාහනේ බ්‍රේක් කරද්දී, බ්‍රේක් පෑඩ් රත් වෙනවා. ඒ ශක්තිය තාපය විදියට අහකට යනවා.ඔන්න ඔය නැතිවෙන ශක්තිය පාවිච්චි කරනවා, හයිබ්‍රිඩ් වාහනයක  තියෙන ඒ විශේෂිත බැට්රිය චාර්ජ් කරගන්න.ඒ කියන්නේ අර නැති වෙන ශක්තිය එහෙම නැත්නම් අහකට යන ශක්තිය උපයෝගී කරගන්නවා වාහනයේ තියෙන බැට්රිය චාර්ජ් කරන්න.මේක තමයි හයිබ්‍රිඩ් වාහනයක තියෙන මූලිකම වාසිය.

              එතකොට 1500 cc  වාහනයක සාමාන්‍යයෙන් පෙට්‍රල් වැඩ කරන්නේ ලීටරයකට කිලෝමීටර දහයක් දොළහක් විතර වගේ තමයි. නමුත් හයිබ්‍රිඩ් වාහනයක අපි ගත්තොත් දැන් ටොයෝටා ඇක්වා වගේ වාහනයක්  අපි ගත්තහම ඒකේ වැඩ කරනවා කිලෝමීටර් 25ක් විතර.  ඒක  ඉන්ධන වලට යන වියදමට අපිට ලොකු ඉතිරියක් කරගන්න පුළුවන් වෙනවා
                අනෙක් කරුණාව තමයි , දැන් ලෝකයේ තියෙන පොසිල ඉන්ධන ප්‍රමාණයක් තියෙනවානේ ඒ කියන්නේ ඩීසල් පෙට්‍රල් වගේ දේවල්  හදන බොරතෙල් මේ ලෝකයේ තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒවා ආයේ හැදෙන්නේ නෑනේ. ඒවා හැදෙන්න නමි අවුරුදු 50,000 ක් විතර වගේ තව කාලයක් ගත වෙනවා.  දැන් සාමාන්‍ය වාහනයක පෙට්‍රල් ලීටරයකින් යන්න පුළුවන් කිලෝමීටර් 10 ක් නම් ,  එතකොට අපිට පොසිල ඉන්ධන  වැඩියෙන් පාවිච්චි කරන්න වෙනවනේ. හැබැයි  හයිබ්‍රිඩ් වාහනයක් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 25ක් යන්න පුළුවන්නම් , අර අපිට ඉතිරි වෙලා තියෙන පොසිල ඉන්ධන  වලින් තව වැඩි කාලයක් අපිට තියාගෙන,භාවිතා කරන්න පුළුවන් වෙනවා,  තවත් ඉන්ධන ප්‍රභවයක් සොයා ගන්නකල් . දැන් මේ වෙද්දි ඉන්ධනයක් ලෙස හයිඩ්‍රජන් භාවිතා කරනවා .හයිඩ්‍රජන් වලින් ක්‍රියාත්මක කරන වාහන ලෝකේ දැනට භාවිතා කරනවා .ඉදිරි කාලයේ මේ හයිඩ්‍රජන් කියන ඉන්ධනය ලෝකයේ විශාල පෙරළියක් කරාවි.. එතකොට මම මේ කියපු කාරණා තමයි හයිබ්‍රිඩ් තාක්ෂණය තියෙන වාහන වල ඇති මූලිකම වාසි කිහිපය.

  හයිබ්‍රිඩ් තාක්ෂණයේ නියම ප්‍රතිඵල ලබාගන්න නම හයිබ්‍රිඩ් වාහනයක් පදවන අයෙක් පිළිපැදිය යුතු මූලිකම කරුණු මොනවාද?
                       හයිබ්‍රිඩ් වාහන වල බ්‍රේක් සිස්ටම් 02 ක් තියෙනවා . ඒ පළවෙනි එක තමයි රී ජෙනරේටිව් බ්‍රෙක් සිස්ටම් එක දැන් අපි අර මුලින් කිව්ව වගේ හයිබ්‍රිඩ් වාහනයක් බ්‍රේක් කරද්දි වැය වෙන ශක්තියෙන් තමයි මේකේ තියෙන බැට්රිය චාර්ජ් වෙන්නේ. එතකොට අනිත් එක තමයි මැකෑනිකල් ⁣බ්‍රේක් සිස්ටම් එක . ඒ කියන්නේ වාහනේ පදවා ගෙන යද්දී එකපාරට මනුස්සයෙක් පනිනවා, එතකොට එතැනදී රී ජෙනරේටිව් බ්‍රේක් සිස්ටම් එක හරියන්නේ නැහැ.. එහෙම උනත් ඒ මනුස්සයාව හැප්පෙනවා . එතනදි අවශ්‍ය වෙන්නේ මැකැණිකල් බ්‍රේක් සිස්ටම් එක.එතකොට  එතැනදී හයිඩ්‍රොලික් බ් ඇක්ටි්‍යු  වෙලා එකපාරටම වාහනේ හිටිනවා. ඉතින් අපිට පුළුවන් නම් එහෙම නොවෙන අවස්ථාවක වගේ වාහනේ ධාවනය කරගෙන යද්දී ඉස්සරහා බ්ලොක්  එකක් හරි ,ට්‍රැෆික් තියෙද්දි හරි, නැත්නම් මනුස්සයෙක් පාර මාරුවෙන්ඩ  ලෑස්තියක් වගේ තියෙනවා නම් හරි ඈත ඉඳලම බ්‍රේක් කරගෙන යන්න පුළුවන් නම්, අන්න ඒ වාගෙි අවස්ථාවල තමයි හයිබ්‍රිඩ් වාහනයක බැට්රිය චාරිජ් වෙන්න තියෙන අවස්ථාව වැඩයි.හැබැයි එක පාර බ්‍රේක් පෑගුවොත් හයිබ්‍රිඩ් වාහනයකින් ගන්න තියෙන ඒ සුවිශේෂ වාසිය එහෙම නැත්නම් ඒ ප්‍රතිඵල ලබාගන්න බැරි වෙනවා. ඒක පළවෙනිම කරුන. දැන් හයිබ්‍රිඩ් වාහනයක බැට්රියක සාමාන්‍යයෙන් ආයු කාලය අවුරුදු පහයි. අවුරුදු පහකට වඩා පාවිච්චි කරන්න අමාරුයි. එතකොට ඔය බැටිරිය කාලයක් යද්දි ඔය බැට්රියේ අග්‍රවල ඔක්සයිඩ් බැඳෙනවා. එතකොට කරන්න ඕනේ ඒ නියම කාර්මිකයෙක් ගාවට ගිහින් ඒ බැට්රිය සර්විස් කරගෙන ක්ලීන් කරගන්න ඕන.අනික තමයි අපට පුළුවන්  මේ බැට්රියේ ආයු කාලය තවත් වැඩි කරගන්න.ඒ කියන්නේ සතියකට සැරයක් විතර වගේ,රාත්‍රියට වාහනේ  නතර කරද්දී වාහනේ  ස්ටාර්ට් කරලා ” ඊ ” එකට දාලා, බ්‍රේක් එක පාගගෙන  ඇක්ස්සලරේට් කරන්න පුළුවන්නම් හොඳට චාර්ජ් වෙනකන්, ඒක අපිට බලන්න පුළුවන්  මීටරයෙන්. මීටරය බලාගෙන උඩට එනකම් චාර්ජ් කරන්න ඕනේ . එකෙන්  අපිට පුළුවන් බැට්‍රියේ ආයු කාලය වැඩි වර්ධනය කරගන්න.

           අනෙක් කාරණාව තමයි , හයිබ්‍රිඩ් වාහනයක වායු සමීකරණය නැත්නම් ඒ/ සී එක වැඩ කරන්නේ එන්ජන් එකෙන්  නෙමෙයි හයිබ්‍රිඩ් බැට්රියෙන්. එතකොට බැරිවෙලාවත් අපි ළමයව පන්තියට දාලා ළමයා පන්ති ඇරලා එනකම් කාර් එකට වෙලා ඒ / සී එක දාගෙන ඉන්න එක තරම් නරක දෙයක් නෑ හයිබ්‍රිඩ් වාහනයට. විශේෂයෙන්ම හයිබ්‍රිඩ් වාහනේ බැට්රියට. මොකද දැන් වාහනේ චලනය වෙද්දි එහෙම නැත්නම් ගමන් කරද්දි බ්‍රේක් ගහන කොට තමයි බැට්රිය චාර්ජ් වෙන්නේ. එතකොට එක තැන නතර කරලා තියෙද්දි වාහනේ බැට්රිය චාජ් කර ගන්නේ ඇන්ජින් එකෙන්මයි. ඇන්ජිමේ මෝටර් ජෙන්රේට් එකෙන්.දැන් ටොයෝටා හයිබ්‍රිඩ් වාහනයක් ගත්තහම ඒකේ මෝටර් ජෙනරේට් 02 ක් තියෙනවා. එන්.ජී 01 සහ එන්.ජී 02 කියලා. එන්.ජී 02 කියන මට මෝටර් ජෙනරේට් එක කපල් කරලා තියෙන්නේ වාහනයේ රෝදයට. එතකොට රෝද කරකවන්නෙත්, බ්‍රේක් කරද්දි බැට්රිය චාර්ජ් වෙන්නෙත් එන්.ජී 02 කියන මෝටර් ජෙනරේට් එකෙන් දැන් එන්.ජී 01 කියන මෝටර් ජෙනරේට් එක කෙලින්ම කපල් කරලා තියෙන්නේ වාහනයේ එන්ජිමට.  ඒකේ පළමු කාර්යය තමයි එන්ජින් එක ස්ටාර්ට් කිරීම . මොකද ටොයොටා හයිබ්‍රිඩ් වාහන වලට ස්ටාර්ටර් මෝටර් නැහැ. එතකොට මේ වාහනය නිශ්චලව තියෙද්දි එන්ජින් එකට කපල්  වෙලා  බැට්රිය චාර්ජ් වෙන්නෙත් එන්.ජී 01 මෝටර් ජෙනරේට් එකෙන් තමයි. එතකොට බැටරිය සාමාන්‍යයෙන් 80% ක ප්‍රමාණයක් චාර්ජ් වෙන්නේ නැහැ එන්.ජී 01 එක ස්ටාර්ට් වුනහාම. එතකොට මේ එන්.ජී 01 ස්ටාර්ටි වුනහම 80% ක් ඒ කියන්නේ බැට්රියට ඇතිවෙන්න චාර්ජ්   වෙන්නෙත් නැහැ. නමුත්   ඒ/සී එක දාලා තියෙද්දී බැට්රියත් බහිනවා .ඒක නිසා වාහනය නතර කරලා ඒ/සී දාලා තියෙද්දි ඒක වාහනයට හොද නැහැ. එහෙම ඒ/සී දාලා තියෙන කොට බැට්රියේ ආයු කාලයට සහ බැට්රියේ පැවැත්මට ලොකු බලපෑමක් වෙනවා. හයිබ්‍රිඩ් බැටරියක ආයු කාලය තීරණය වෙන්නේ හොඳටම බැට්රිය බැහැලා නැවත චාර්ජ් වෙන වාර ගණන අනුව. බැටරිය හොඳටම බැහැලා ආපහු සැරයක් ඒක චාර්ජ් වෙද්දි අපි සයිකල් එකක් කියලා කියනවා ඒ සයිකල් ගාන වැඩි වෙද්දි තමයි බැටරියේ ආයු කාලය අඩු වෙන්නේ. සමහර වෙලාවට අවුරුදු 05 ක් බැට්රියේ ආයු කාලය තියෙනවා කියලා කිව්වත් , අර කලින් කිව්ව සයිකල් ගාන වැඩි වෙද්දි බැටරියක ආයු කාලය ඒ කාලයට වඩා අඩු වෙන්නත් පුළුවන්.

  දැන් ඔබ හයිබ්‍රිඩ් තාක්ෂණය හා සම්බන්ධව කටයුතු කරන  යාන්ත්‍රික ඉංජිනිනේරුවරයෙක් හැටියට, මේ හයිබ්‍රිඩ් තාක්ෂණයේ  තියෙන ෆෝල්ට්ස් එහෙම නැත්නම් වැරදි සහගත දේවල්  එහෙම සොයාගෙන ඇති ඒ එක්කම ඒවා වලට යොදන පිළියම් පවා සොයාගෙන ඇති , ඒ   පිලිඹඳව  විස්තර කළොත් ?

                     ඔව් දැන් එහෙම ෆෝල්ට්ස්  කීහිපයක් අපි අඳුරගෙන තියෙනවා.දැන් ටොයෝටා ප්‍රියස් එකේ ඒවගේම ඇක්සියෝ, ඇක්වා වගේ ටොයොටා පවුලේ වාහන කිහිපයකම බ්‍රේක් සම්බන්ධව තියෙනවා මේ  ඒ.ඩී.එස් මොඩයුලේටර්  එකක්.ඒක වසර 05 ක් විතර වාගේ කාලයක් යද්දි  ක්‍රියා විරහිත තත්ත්වයට පත් වෙනවා. එතකොට ඉතින් එකක් අලුතෙන් දාන්න වෙනවා.ඉතින් මේක ගැන සොයා බලද්දි අපිට මේකේ තියෙන ෆෝල්ට් එකක් අඳුනගන්න ලැබුණා ඒක බ්‍රේක් ඔයිල් වල ජලය ප්‍රතිශතය   වැඩිවුණාම තමයි මේක ඉක්මනින්ම නරක් වෙන්නේ එහෙම නැත්නම් ක්‍රියා විරහිත තත්ත්වයට පත්වෙන්නේ. ඉතින් අපි ගාවට සර්විසස් වලට එන වාහනවල නම් අපි  බ්රේක් ඔයිල් වල තියෙන ජලය ප්‍රතිශතය ගැන පරීක්ෂා කරනවා.   වාහනයක් බ්‍රේක් කරද්දි  බ්‍රේක් ඔයිල් රත් වෙනවා.එතකොට ඔයිල් ටැංකියේ තියෙන හුලං රත්වෙලා සීතල වෙනවා. එතකොට ඒකේ වාතය ජලය බවට පත්වෙනවා. ඔයිල් ටැංකියට ජලය  එකතු වෙන්නේ ඔය ආකාරයට.
ඉතින් ඔය ක්‍රියාවලිය සීමිත කාලයක් යද්දි
වාහනයේ  ඒ.ඩී.එස්. මොඩියුලේටරේ වෑල් වලට ජලය ගිහිල්ලා ඒවා ස්ටක් වෙනවා. එතකොට ඒ.ඩී.එස්. මොඩියුලේටරේ  වැඩ කරන්නේ නැතුව යනවා .
        දැන් හොන්ඩා හයිබ්‍රිඩ් වාහන වල ඔය ප්‍රශ්නෙට වඩා වෙනත් ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ ,ඒකේ තියෙන්නේ මේ ඩුවෙල් ක්ලච් සිස්ටම් එකේ ප්‍රශ්නයක්.හුඟක් අය ඇවිල්ලා අපිට කියනවා එයාලගේ වාහනේ ඩුවෙල් ක්ලච් සිස්ටම් එක හරියට වැඩ කරන්නේ නෑ, අසමානතා තියෙනවා කියලා. ඔය වගේ ප්‍රශ්න තියාගෙන එනවා.
                    ඉතින් හයිබ්‍රිඩ් වාහනයක් තියෙන කෙනෙක්  දැනගන්න ඕනේ  හොඳට දැනුම, පලපුරුදු  සහ අවශ්‍ය පරීක්ෂන උපකරන සහ ඒ යන්ත්‍ර සූත්‍ර තියෙන විශ්වාසවන්ත  තැනකට ගිහිල්ලා වාහනය සර්විස් එක කරගන්න .ඒ නිසි විදියට සර්විස් කරන තැන්වල තියෙනවා චෙක් ලිස්ට් එකක් පුරවන්න. ඒත් එක්කම බැට්රියේ තත්ත්වය, කුලර් වල තත්වය, බ්‍රේක් වල තත්වය ඇතුළු ගොඩක් දේවල් පරීක්ෂා කර බලන්න තියෙනවා.

මම අහලා තියෙනවා ටොයොටා, හොන්ඩා, සහ මිස්ටුබිෂි ඇතුළු  හයිබ්‍රිඩ්    වාහනවල  යොදාගෙන ඇති හයිබ්‍රිඩ් තාක්ෂණය එකිනෙකට යම්  වෙනස්කම් තියෙනවා කියලා .මෙහි සත්‍යතාවයක් තියෙනවද ?

                ඔව් ඒ⁣ කාරණාවේ යම් සත්‍යතාවයක් තියෙනවා. ඔය ඉස්සෙල්ලාම ආපු හයිබ්‍රිඩ් තාක්ෂණය තමයි, පැරලල් හයිබ්‍රිඩ් තාක්ෂණය. ඔය තාක්ෂණය යටතේ තමයි ඉස්සෙල්ලාම ආපු හොණ්ඩා සිවික්, ඉන්සයිට් , ෆිට් සහ ජී.පී 01 කියන වාහන වල තිබුනේ. ටොයො⁣ටා වාහන වල  තියෙන්නේ සීරස් පැරලල් හයිබ්‍රිඩ් තාක්ෂණය. දැන් මේ තාක්ෂණය අර මුලින් ආපු  හොන්ඩා වාහනවල තිබුණු හයිබ්‍රිඩ් තාක්ෂණයට වඩා ගොඩක් දියුණුයි. දැන් පසුකාලීනව ආපු හොන්ඩා වෙසල් වලට  අර සීරීස් පැරලල් හයිබ්‍රිඩ් තාක්ෂණය භාවිතා කරලා තියෙනවා .දැන්  මිස්ටුබිෂි වාහන වල තියෙන්නේ ප්ලග් ඉන් ටු හයිබ්‍රිඩ් තාක්ෂණය. දැන් මේකෙ තියෙන්නේ අර අපි කීව්ව ටොයොටා වාහනවල තියෙන සීරීස් පැරලල් තාක්ෂණයම තමයි. මේකේ තියෙන එකම වෙනස මේ වාහන ගෙදරින් චාර්ජ් කරගන්න පුළුවන්.

ලෝකයේ දියුණු රටවල භාවිතා වෙන නවින තාක්ෂණය අපිටත් වඩා පල්ලෙහා හිටපු රටවල් අපිටත් කලින් ඒ නවීන තාක්ෂණය භාවිතා කරනවා.මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් කෙටියෙන් දැන ගන්න කැමති ?

                     පසුගිය  වසර 75 තුල හිටපු අපේ නායකයෝ  ඇත්තෙන්ම පැහැදිලිව කියනවා නම් ඒ අය උගත් අය නෙමෙයි. ඒ ඒ කාලවලට අවශ්‍ය වෙන්නේ මොන වගේ තාක්ෂණයක්ද කියන එක. තේරුම් ගත්තේ නෑ. ඒ තාක්ෂණය කොටසක් කොහොමද අපි කඩා ගන්නේ , ඒක අපි කඩාගෙන කොහොමද ඒ තාක්ෂණය අපේ රටේ දියුණුවට සංවර්ධනයට ඒක යොදාගන්නේ  මේවා ගැන තේරුම් ගත්තේ නෑ. ඕක තමයි අපේ රටට සිදුවූන ලොකුම හෙනේ. උදාහරණයක් පිණිස ගන්නකෝ දැන් හයිබ්‍රිඩ් වාහන ආවනේ. එතකොට ඒ වාහන වලට බැට්රි නිෂ්පාදනය කරනවනේ. ඔය බැට්රිය තියෙන අග්‍ර දෙකෙන්  එක අග්‍රයක් හදන්නේ මිනිරන් වලින්, අනිත් අග්‍රය හදන්නේ සිලිකන් වලින්. ඔය දෙකම අපිට තියනවනේ. මිනිරන් කියන්නේ ග්‍රැෆයිට්
එවා මේ ලංකාවේ තියෙනවනේ. එතකොට සිලිකන් හදන්නේ සිලිකා වැලි වලින් , ඒවා මේ අපේ අතේ දුරින් තියෙනවනේ මරඳවැල්ලේ. ඉතිං අපි ඔය හයිබ්‍රිඩ් වාහන වලට අවශ්‍ය කරන බැට්රියට අවශ්‍ය ඔය අග්‍ර දෙක හැදුවනම්, අපිට මොන තරම් විදේශ විනිමයක් ලබාගන්න තිබුණද. ඒකයි මං කිව්වේ අපේ රටේ නායකයන් , අනාගතය ගැන කිසිම දැක්මක් නැති, තේරුමක් නැති, උගත්කමක් නැති නායකයෝ ඉන්නේ කියලා දැන් බලන්න  වියට්නාමය කියන රට  ගහක් ගහක් කොලක් වත්  නොමැතිව හිටපු රටක් නේ ඕක. ඔය රටට කෙමිකලුයි, බෝම්බයි දාලා මිනිස්සු ලක්ෂයක් විතර මැරිලා ,ගහක් කොලක් හැදෙන්නේ නැතුව තිබුණු රටක්. ඒත් අද බලන්න. අද අවුරුද්දේ ආදායම ඩොලර් මිලියන 300යි. ඒ තත්වෙට ඒ රට අරන් තියෙන්නෙ ඒ රටේ නායකයෝ. නායකයන්ට විශාල දැක්මක් තිබුණා, ඒ රට  අනාගතයට  කොහොමද දියුණු කරන්න ඔනේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට සැලසුම් කොට  ඒඅනුව  තමයි ඒ රටවල් ඒ තත්වෙට අරන් තියෙන්නේ . එවන් ඉලක්කයකට කොහොමද අපි වැඩ කරන්න ඕනේ , ඒ වාගේ දියුණු තත්වයකට ළඟාවෙන්න අපි කොහොමද ජනතාව පෙළගස්වන්න ඕනේ  කියන එක  සම්බන්ධව ඒ රටවල් වල නායකයන්ට විශාල දැක්මක් සහ හොඳ සැලසුම් තිබුනා. ඉතින් අපේ රටට නම් තියෙන්නේ  එවන්  කිසිදු දැක්මක් නැති,  ඒ වගේම කිසිදු උගත්කමක් නැති නායකයන්ගේ ප්‍රශ්නයක්.

තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article