Sunday, January 19, 2025

හදිසියක් කියා කතක් හෝටලේකට ඉස්සූ ලංගමේ ෆෝමන්ට වැඩ වරදී !

Must read

kidnapping_2ඩිපෝවේ ලිපි ගොණුවල හදිසි කටයුත්තක් සදහා බව පවසමින් ඩිපෝ සේවිකාවක් වාහනයට නංවාගෙන බලහත්කාරයෙන් ලැගුම්හලකට ගෙනගොස් ලිංගික අතවරයක් කළ බවට චෝදනා ලබා සිටි ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෙකු රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා පරීක්‍ෂණ අවසන් කර චෝදනා ගොණුකිරීම සදහා අදාළ නඩුව මැයි මස 02 වැනිදා නැවත කැදවන ලෙසට නියම කළේය.

මෙලෙස ඇප මත මුදාහැරුණේ ඉහලගම, උඩුබද්දාව ප‍්‍රදේශයේ පදිංචි මැද්දගේ ටෝනි පෙරේරා නැමැති ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුලියාපිටිය ඩිපෝවෙහි ෆෝමන්වරයෙකු ලෙස සේවයේ නියුතු අයෙකි.

රෝහල්ගතව සිටින තම සැමියාගේ සුවදුක් විමසා නැවත නිවස වෙත පැමිණෙමින් සිටි මෙම කාන්තාව ඩිපෝවේ ලිපිගොණු කිහිපයක හදිසි කටයුත්තක් ඇතැයි පවසා සැකකරු විසින් ඔහුගේ වාහනයට නංවාගෙන ඇති බව පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැක්වීය. පසුව කුලියාපිටිය, ලබුයාය ප‍්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් ඇති මෙම කාන්තාවට සැකකාර ෆෝමන්වරයා විසින් පහර දී ඇති බවත්, අදාළ කාන්තාව තමන් සමග ලැගුම්හල් කාමරය තුළ සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සැකකරු විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් ලබාගෙන ඇති බවටත් එම වාර්තාව මගින් වැඩිදුරටත් කියැවිණි. සැකකරු විසින් කාර්යාලයේදී මෙම කාන්තාවට එම ඡායාරූප පෙන්වා සේවයෙන් පහකරන බවට තර්ජනය කිරීම හේතුවෙන් ඇය විසින් කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා උපපොලිස් පරීක්‍ෂක සාවිත‍්‍රී මහත්මිය ඇතුලූ පොලිස් කණ්ඩායමක විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

(ඉහත දැක්රූවෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article