ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සිවිල් කටයුතු සඳහා ආරක්ෂක හමුදා යෙදවීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.පිරිසක් එම තත්ත්වය පිළිබඳව ප්‍රසාදය පළ කරන අතර තවත් පිරිසක් එය නිර්දය විවේචනයට ලක් කරති.ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා යුද්ධ හමුදාවේ සාමාජිකයෙකු වශයෙන් සේවය කළ අයෙකු වන අතර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනුයේ, මේජර් ජනරාල් කමල් ගුණරත්නය.ආරක්ෂක අංශ සිවිල් පරිපාලනය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා යොදවා ඇති අවස්ථා කිහිපයක් මෙසේය.
- ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පත්කිරීම.
- ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති වශයෙන් විශ්‍රාමික යුද හමුදාපති, ජනරාල් දයා රත්නායක පත්කිරීම.
- නෙළුම් කුළුණේ කළමනාකරණ ප්‍රධානී වශයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ පත්කිරීම.
- රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලේ පත්කිරීම.
- පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සීඅයිඩී විමර්ශන අධීක්ෂණය කිරීම සඳහා හමුදා සාමාජිකයින් ද ඇතුළත් කාර්ය සාධක බලකායක් පිහිටුවීම.
- කොළඹ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා යුද්ධ හමුදා පොලිසිය යෙදවීම.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් පළකරමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කර තිබුණේ, “ශ්‍රී ලංකාව පරිපාලනමය වශයෙන් අසමත් රාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ ද?” යනුවෙන් ප්‍රශ්නයක් ද නගමිනි.
ඔහු පළ කර තිබූ ට්විටර් පණිවුඩයේ සඳහන්ව තිබුණේ, “ජනාධිපති, ආරක්ෂක ලේකම්, කොළඹ වරාය, ගුවන් තොටුපොළ, වී අස්වනු මිල දී ගැනීම, රථවාහන ධාවන කළමනාකරණය, කොරෝනා ප්‍රතිකාර, රැකියා ලක්ෂය වැඩසටහන… යන සියල්ල ආරක්ෂක හමුදා සාමාජිකයින් සම්බන්ධ වී ක්‍රියාත්මක වන,” බවය.
කෙසේවුවත් ෆේස්බුක් සටහනක් තබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා, ආරම්භයේදී හමුදාකරණයට සහය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණට මේ මොහොතේ එයට විරුද්ධ වීමට සදාචාරාත්මක් අයිතියක් නොමැති බවට තර්ක කොට තිබුණි.
“රටක් හමුදාකරණය වෙනවාය කියන්නේ ඒ ප්‍රමාණයට රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කෙරෙනවාය කීම ය. හමුදාකරණය යනු ඡන්දදායකයාට වග කියන්නට බැඳී නැති රාජ්‍ය යාන්ත්‍රණයේ අධිකාරවාදී බල ආයතනයකට සමාජය පාලනය කිරීමේ අවසරය ලබා දීමකි,” යනුවෙන් ද මාධ්‍යවේදී කුසල් පෙරේරා පෙන්වා දෙයි.
මේ අතර, ජනාධිපතිවරයා “තමන්ගේ බලය අනිසි ලෙස භාවිත කරමින් හමුදා පාලනයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින,” බවට නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න චෝදනා කරයි.
“තමන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කරමින් හමුදා පාලනයක් ඇති කර ගැනීමට තමයි ගෝඨාභය කටයුතු කරමින් යන්නෙ. අගමැති (වශයෙන්) පාර්ලිමේන්තුවේ තමන්ගේ අයියා සිටීමත් බාධාවක් වගේ. ඔහුත් එක්ක එකට වැඩ කරගෙන ගියත් ඔහුගේ කුරුමානම තිබෙන්නේ තමන්ට මීට වඩා හොඳට සමීපව වැඩ කළ හැකි අගමැතිවරයෙක් ලබා ගැනීම කියන එක තමයි පෙනෙන්නේ,” ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පළ කළ වීඩියෝවක දැක්වේ.
ඔහු පවසන්නේ, “පාර්ලිමේන්තුවේ යෝජනාවකින් හෝ කිසි ම විදිහකින් දැනුම් දීමකින් තොරව ජනාධිපති බලය පාවිච්චි කරමින් හැම තැනකට ම හමුදාව යොදමින් තියෙනවා. පාරවල්වල ට්‍රැෆික් වැඩ කරන අයට පවා හමුදා නීතිය යටතේ වැඩ කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ ම මේවට විරුද්ධ යම්කිසි බලවේගයක් ආවොත් ඒක මැඩීමටත් හමුදාවේ ආධාරය ඔහු බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.
මේ අතර, රජයේ රැකියා 100,000 වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු කරන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවලට ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළත් කර ඇතැයි ශ්‍රී ලංකාවේ පළ කෙරෙන වීරකේසරී පුවත්පත වාර්තා කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා “තමන්ගේ වැඩ බැරිකම හමුදාව යොදවා වසා ගැනීමට උත්සහ කරන,” බවය.
ආරක්ෂක හමුදා සාමාජිකයින් සිවිල් කටයුතු සඳහා යෙදවීම සම්බන්ධයෙන් තවත් අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි.
අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා උපුටා දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය පවසන්නේ සිවිල් කටයුතු සඳහා මෙසේ හමුදාව යොදා ගැනීම නීති විරෝධී බවය.
මේ අතර, ආරක්ෂක අංශ සාමාජිකයින් සෝදිසි කිරීම්වලදී ඇතැම් ජන කොටස්වලට මුහුණ පෑමට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් ප්‍රසාද් වැලිකුඹුර සිය ට්විටර් පිටුවේ සටහන් කර තිබිණි.මේ අතර, සිවිල් කටයුතුවලට හමුදාව යෙදවීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන පිරිස් ද සිටිති. සිවිල් කටයුතු සඳහා ආරක්ෂක හමුදා සාමාජිකයින් යෙදවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ මානව හිමිකම් පිළිබඳ නීතිඥ භවානි ෆොන්සේකා පැවසුවේ, ආරක්ෂක හමුදා සාමාජිකයින් යොදවා සිවිල් පරිපාලන කටයුතු සිදු කිරීමට ආණ්ඩුව සතුව “තාර්කික පදනමක් නොමැති,” බවය.
“ආණ්ඩුව පොලිසියේ ඇතුළු වෙනත් ආයතනවලට හිමි රාජකාරි සඳහා හමුදා සාමාජිකයින් යොදවන්නේ ඇයි කියන එක පැහැදිලි කරල නෑ. අපිට පේන්නෙ නෑ මේ සම්බන්ධයෙන් කිසි ම තාර්කික පදනමක් තියෙන බව.”
උපුටා ගැනිම – www.bbc.com/sinhala