මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද දහවල් කුරුණෑගලදී පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටි රජයේ රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන් පන්සියයකට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.
සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බලකිරීමට අමතරව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට විරෝධය පළකිරීමටත්, මාධ්‍ය සහ වෘත්තීය සමිති මර්දනය කිරීම පිළිබදව රජයට විරෝධය පළකිරීමටත් වෛද්‍යවරුන් මෙහිදී කටයුතු කළහ.
කුරුණෑගල ශික්ෂණ රෝහලින් විරෝධතා පා ගමන ආරම්භ කළ මෙම පිරිස විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශණය කරමින් කුරුණෑගල – කොළඹ මාර්ගය ඔස්සේ කුරුණෑගල නගරයට පැමිණියහ. කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැය භාගයකට වැඩි වේලාවක් උද්ඝෝෂණයේ යෙදුණු මෙම පිරිස යළිත් පා ගමනින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ගොස් සිය විරෝධතාවය අවසන් කළහ.