Wednesday, November 27, 2024

සමූපකාරේ කට්ටිය මහ ඇමැතිව අන්දති ! ‘‘වයඹ අඵ යට ගිනි ”

Must read

co_oparativeටිකිරිට තමුන්ගේ අයත් නැති වෙති.

වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි විසින් පළාත් සභා රැස්වීම වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් අවමන් සහගත අයුරින් දොට්ට දැමීමෙන් ඇති වූ කලබගෑනියේ උණුසුම තවමත් පහව ගොස් නැත. සිද්ධිය ගැන දැනගත් එදින පළාත් සභා රැස්වීමට සහභාගි වී නොසිටි ගණනාවක් මාධ්‍යවේදීන් අමතමින් සිද්ධිය පිළිබදව විමසන්නට සහ කණගාටුව ප‍්‍රකාශ කරන්නට වූහ. මෙම සිදුවීම ආරංචි වන විට වයඹ පළාත් සභාවේ ජවිපෙ මන්ත‍්‍රී මන්ත‍්‍රී නාමල් කරුණාරත්න සිටියේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ වැඩකට ත‍්‍රිකුණාමලයට ගොසිනි. එහි සිට මාධ්‍යවේදීන් ඇමැතූ නාමල් මාධ්‍යවේදීන් වෙත සිය කණගාටුව පළකළේය. ‘‘පහුගිය කාලේ වයඹ පළාත් සභාව ඇතුලේ සිද්ධවුණු වංචා, දූෂණ, නාස්තිකාර රට සවාරි වගේ දේවල් ගණනාවක් මාධ්‍ය හරහා එළියට ආවානේ. දැන් මේ සුඵ සිදුවීමක් අල්ලගෙන මාධ්‍යවේදීන් පළාත් සභාවෙන් එලවන්නේ ඒකට පළිගන්න කියලයි මට නම් පෙන්නේ. මාධ්‍යවේදීන්ට බැනලා, තර්ජනය කරලා, එළවලා දාලා මේක ඇතුලේ තියෙන හොර, බොරු, මගඩි ටික එළියට යන එක වළක්වන්න වෙන්නැති පක්ෂ විපක්ෂ දෙගොල්ලොම දැන් හිතාගෙන ඇත්තේ ’’නාමල් කීය.
ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී අසංක නවරත්නටද එදින සභාවට එන්නට නොලැබී තිබුණේ ශ‍්‍රී ලංකා මහජන පක්ෂය විසින් සංවිධානය කළ විජය සැමැරුම එදින කොළඹ නගර ශාලාවේ පැවැත්වීම නිසාය. ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ මහ ලේකම්වරයා එම උත්සවයට සහභාගීවෙමින් සිටි අසංක සිද්ධිය පිළිබදව දැනගත්තේ වෙබ් අඩවි හරහාය. එසැණින් වයඹ පළාත් සභාව ආවරණය කරන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු දුරකථනය ඔස්සේ ඇමැතූ අසංක සිය කණගාටුව පළකළේය. එතැනින් නොනැවතුණු අසංක මෙම සිදුවීම පිළිබදව ඔහුගේ මතය පැහැදිලි කරමින් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තැබීමටද අමතක නොකළේය. ‘‘වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ලෙස මෙම සිද්ධිය පිළිබදව මම අතිශයින්ම ලැජ්ජාවට සහ කණගාටුවට පත්වෙනවා. සභාවේ කටයුතු පිළිබඳව තම තමන්ගේ දේශපාලන කෝණයෙන් බලලා ලියන ඇතැමෙක් නැතිවාම නොවේ. නමුත් අප වෙනුවෙන් දිවා රෑ වෙහෙසවෙමින් සිය වගකීම ඉටුකරන අති බහුතරයක් වූ මධ්‍යස්ථ මාධ්‍යවේදීන් හට මෙයින් සිදුවූ අගෞරවයට අප සමාව ඇයදිය යුතුයි. ’’ අසංකගේ ෆේස්බුක් සටහන එලෙස විය. නාමල් සහ අසංකට මෙලෙස මාධ්‍යවේදීන් සමග කතාකරමින් සිටින අතරවාරයේදී පාර්ලිමේන්තුවේ පුස්තකාල දුරකථන අංකයෙන් මාධ්‍යවේදීන්ට තවත් ඇමැතුමක් ලැබිණි. ඇමැතුම ලැබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලගෙනි. ‘‘ වයඹ පළාත් සභාව ඇතුළේ සිද්ධවෙන්නේ මොනවද කියලා දැනගැනීමේ අයිතියක් වයඹ පළාතේ ජනතාවට තියෙනවා. ඒ නිසා සභාපතිවරයෙකුට වුනත් තමන්ගේ හිතුමනාපෙට මාධ්‍යවේදීන් එලවලා දාන්න බැහැ. මෙතැනදී ටිකිරි ඉතාම වැරදි විදිහට තමයි හැසිරිලා තියෙන්නේ. අනෙක් අතට ටිකිරි මේ වගේ වැරදි තීරණයක් ගනිද්දී ශමල්ලා නිශ්ශබ්දව බලා හිටියා නම් ඒක ඉතාම වැරදියි. ශමල් එක්ක මගේ පුද්ගලික අමනාපයක් නැහැ. නමුත් පළාත් සභාවේ විපක්ෂ නායකවරයා විදිහට මේ වෙලාවේ මාධ්‍යවේදීන් වෙනුවෙන් කතා කළ යුතුව තිබුණා. මේ සිද්ධියේදී විපක්ෂය විදිහට හොදට ස්කෝර් කරන්න තිබුණු අවස්ථාවක්නේ ශමල්ලා අපරාදේ නැතිකරගෙන තියෙන්නේ. ’’ වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයෙකු වන අලවතුවල මාධ්‍යවේදීන් සමග කීවේ සිය අතීත අත්දැකීම්ද සිහිපත් කර දෙමිනි. මේ කතා බස් මෙලෙස සිදුවෙද්දී හදිසි අසනීප තත්වයක් මත කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු සභාපති ටිකිරි බණ්ඩා මේ වන විට සිටින්නේ එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබමිනි.

ශමල්ට කට අරින්න නැකැතක් !

සභාපති ටිකිරි බණ්ඩාගේ ක‍්‍රියාකලාපයට මෙන්ම ඒ පිළිබද මුනිවත රකිමින් ඊට උඩගෙඩි දුන් මන්ත‍්‍රීවරුන්ටද ප‍්‍රතිචාර දැක්වීමේ අරමුණින් මාධ්‍යවේදීන් විසින් ආරම්භ කළ පළාත් සභා මැති ඇමැතිවරුන්ගේ ප‍්‍රවෘත්ති ආවරණය නොකිරීමේ පිළිවෙතද මේ වන විට සාර්ථකව ක‍්‍රියාත්මක වෙමින් තිබේ. මේ හේතුවෙන්දෝ පුවත්පත්වල පළවන ප‍්‍රවෘත්තිවලින් අඩුවක් නොවූ වයඹ පළාත් සභාවට පසුගිය සතියේ පුවත් ඉඩෝරයකට මුහුණදෙන්නට සිදු වී තිබිණි. වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ගේ කියුම් කෙරුම් ගැන වෙනදාට පුවත්පත් පිටු ගණන් ලියැවෙන නමුත් පසුගිය සතියේදී නම් වයඹ පළාත් සභාව යන වචනය පවා ලියැවී තිබුණේ එහෙමත් තැනක දෙකකය. මාධ්‍යවේදී වර්ජනය හේතුවෙන් වැඩිපුරම කලබල වී තිබුණේ පළාත් සභාවේ තරුණ මන්ත‍්‍රීවරු සහ පළාත් සභාව තුළ හඩනගන මන්ත‍්‍රීවරු කිහිපදෙනාය. ‘‘මේ වැඩෙන් ලොකුම පාඩුව වුණේ අපිට. පළාත් සභාවේ වැඩිපුරම කතාකරන්නේ , ප‍්‍රශ්න අහන්නේ අපි. දැන් ඉතිං ඒවා මිනිස්සු අතරට යන්න ක‍්‍රමයකුත් නෑ. මොකද මිනිස්සු හැන්සාඞ් එක බලනවාද ? නෑනේ. මාධ්‍යවේදීන් සභාවට එන්නේ නැති එක අපේ හුගක් මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒ හුගදෙනෙක් තේ එක බීලා, බත් එක කාලා යනවා මිසක් මිනිස්සු වෙනුවෙන් එක වචනයක්වත් කතාකරනවායැයි ’’ඔවුහු කීහ. මාධ්‍යවේදී වර්ජනය හේතුවෙන් විපක්ෂ නායක ශමල් විසින් පැවැත්වීමට සූදානම් කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක් අකුලා ගන්නටද පසුගිය බ‍්‍රහස්පතින්දා සිදු විය. ශමල් විසින් මේ මාධ්‍ය සාකච්ඡාව සූදානම් කර ඊට මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබුණේ සභාපති ටිකිරි බණ්ඩා විසින් ලෙඩ දාගන්නට දින කිහිපයකට පෙරදීය. නමුත් ටිකිරි බණ්ඩා විසින් කළ අවමානයට මෙන්ම ශමල්ගේ මුනිවතටත් විරෝධය පළකරමින් ශමල්ගේ 18 වැනි බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන ප‍්‍රවෘත්ති සාකච්ඡාව වර්ජනය කිරීමට මාධ්‍යවේදීහු එවෙලේම තීරණය කළහ. පළාත් සභාවේ කලබගෑනියෙන් පසුව එදින පස්වරුවේ හමු වූ මාධ්‍යවේදියෙකුට ශමල් කියා තිබුණේ ‘‘අපි 18 වැනිදා හම්බවෙනවනේ. එදාට අපි මේ ගැන කතාකරමු’’කියාය.ශමල්ගේ ප‍්‍රතිචාරය පිළිබදව එම මාධ්‍යවේදියා විසින් හැරෙන තැපෑලෙන් අනෙක් මාධ්‍යවේදීන් දැනුම්වත් කළ අතර මාධ්‍යවේදීන් සියලුදෙනාගේ ප‍්‍රතිචාරය වූයේ ‘‘ඇයි එයාට කට අරින්න 18 වැනිදාට නැකතක් බලලා තියෙනවාද ? පලයව් කියලා පන්නනකම් හිනාවෙවි බලා උන්නු මිනිහගෙන් ආයේ මොනවා අහන්නද ? අපි කිසිම කෙනෙක් ශමල්ගේ ප්‍රෙස් එකට යන්නේ නෑ. ’’මාධ්‍යවේදීහු යළිත් වරක් එකහෙළාම තීරණය කළහ. කෙසේවෙතත් මාධ්‍යවේදීන්ගේ තීරණය පිළිබදව වටින් ගොඩින් දැනගන්නට ලැබීම නිසාදෝ 17 වැනිදා දහවල් වයඹ විපක්ෂ නායක කාර්යාලයෙන් මාධ්‍යවේදීන් වෙත ලැබුණු දුරකථන ඇමැතුමකින් කියැවුනේ අදාල මාධ්‍ය සාකච්ඡුාව අවලංගු කර දැමූ බවකි. ‘‘අපි කොහොමත් ඕකට එන්න නෙවෙයි හිටියේ. ඒක ආරංචිවෙලාද වැඬේ කැන්සල් කලේ ?’’මාධ්‍යවේදීහු දුරකථන ඇමැතුම ලබා දුන් විපක්ෂ නායක කාර්යාලයේ සේවිකාවගෙන් ඇසූ නමුත් ඊට උත්තර බදින්නට නොගිය ඇය දුරකථනය තැබුවාය. වයඹ මහ ඇමැති කාර්යාලය පැත්තෙන්ද මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් වෙමින් ඇති බවක් පසුගිය සතිඅන්තය වන විට මාධ්‍යවේදීන්ට ආරංචි වී තිබූ නමුත් එවැනි මාධ්‍ය හමුවක් අද වන තුරුත් නොපැවැත්විණි. කෙසේවෙතත් ඒ පිළිබදව වැඩිදුර සොයාබැලූ මාධ්‍යවේදීන්ට දැනගත හැකි වූයේ මහ ඇමැති ධර්මසිරිගේ ප‍්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නට සූදානම් වී තිබූ නමුත් එම සතිඅන්තයේ මහනුවර පැවැති ප‍්‍රධාන අමාත්‍ය සමුඵව හේතුවෙන් අදාළ ප‍්‍රවෘත්ති සාකච්ඡාව අවලංගු වී ඇති බවකි.

සාලින්දගේ ගොයමට මැස්සෝ විදිති.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක පසුගිය සදුදා පස්වරුවේ කුරුණෑගල, වැව රවුම් පාරේ පිහිටි ඔහුගේ නිවසේදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක විසින් සාලින්ද සම්බන්ධයෙන් කළැයි කියන ප‍්‍රකාශයකට පිළිතුරු බදින්නටය. තමන් ලංකාපුත‍්‍ර සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 50 ක ණය මුදලක් ලබාගෙන ඇති බවට නියෝජ්‍ය ඇමැති රන්ජන් විසින් අසත්‍ය ප‍්‍රකාශයක් සිදුකර ඇති බැවින් ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ පන්සීයක් ඉල්ලා රන්ජන්ට එරෙහිව නඩු පවරන බව සාලින්ද එහිදී කීය. ප‍්‍රවෘත්ති සාකච්ඡාව කෙටියෙන් අවසන් කළ සාලින්ද මාධ්‍යවේදීන්ගෙන් සමුගත්තේ තමන්ට කුඹුරට යාමට අවශ්‍ය බව කියමිනි. ‘‘මට වැඩිවෙලාවක් ඔබතුමාලා එක්ක රැ‍දෙන්න බැරි වුණාට සමාවෙන්න. හෙට පාර්ලිමේන්තුව නිසා මම අද රෑම කොළඹ යන්න ඕනෑ. ඊට කලින් මට කුඹුරට ගිහිල්ලා එන්න වෙලා තියෙනවා. මොකද මැස්සෝ වගයක් ගොයමට ඇවිත් ඉන්නවා. මම වගාකරන්නේ තෙල් පොහොර ගහන්නේ නැතිවනේ. ඒ නිසා කොළඹ යන්න කලින් ඒකටත් සාත්තුවක් කරලා තමයි යන්න වෙන්නේ. ’’යැයි කී සාලින්ද මාධ්‍යවේදීනුට සමුදී කුඹුර බලා යන්නට වාහනයට නැග්ගේය.

බන්දුලගේ පොල් නොබි‍දෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබූ පොල් ගැසීමක් පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ දංකොටුව, සිංගක්කුලිය දේවාල භූමියේදීය. පොල් ගැසීම සදහා බන්දුල ගුණවර්ධන සහ කුමාර වෙල්ගම මන්ත‍්‍රී දෙපළ කොළඹ සිට පැමිණ සිටි අතර වයඹ පළාත නියෝජනය කරමින් සාලින්ද දිසානායක සහ සනත් නිශාන්ත දෙපළද ඊට එක් වී සිටියහ. වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයද ඊට ලැබී තිබූ අතර සමන්ප‍්‍රිය හේරත්, ට්‍රෙවින් ප‍්‍රනාන්දු, සුමිත් රාජපක්ෂ, මංජුලා දිසානායක, මල්රාජ් පීරිස්, කමල් හේරත් ඇතුඵ මන්ත‍්‍රීවරුන්ගේ මුහුණු කිහිපයක්ම එහිදී දැකගත හැකිවිය. සුමිත් උඩුකුඹුර, රංජිත් ලංසකාර, ඞී. එම්. සුමනදාස ඇතුඵ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් කිහිපදෙනෙකුද ආණ්ඩුවටය එරෙහිව පොල් ගහන්නට සිංගක්කුලියට පැමිණ සිටියහ. බන්දුල, වෙල්ගම, සාලින්ද, වෙල්ගම, සුමිත් සහ ලංසකාර ඇතුඵ පිරිස විසින් ඔසවාගෙන ආ පළතුරු වට්ටි දෙවියන්ට පූජා කිරීමෙන් අනතුරුව පිරිස හැරුණේ පැමිණි කාරිය ඉෂ්ඨ කිරීමටය. ලෙලි ගැසූ පොල් පුරවාගත් කුඩා ලොරි රථයක් ඒ වන විට සිංගක්කුලිය දේවාල භූමියට පැමිණ තිබූ අතර එයින් නිකුත් කළ පොල් ගෙඩි පිරිස අතර බෙදා හැරිණි. පළමුව පොල් ගැසීමට ඉදිරිපත් වූයේ බන්දුල ගුණවර්ධනය. බන්දුල විසින් වෙර යොදා පොල් ගෙඩිය ගලේ ගැසූ නමුත් පොල් ගෙඩිය එකවර බිදී ගියේ නැත. නැවත පොල් ගෙඩිය අහුලා ගත් බන්දුල හැකි වෙර යොදා පොල්ගෙඩිය ගලේ ගැසූ අතර බන්දුලගේ මුහුණේ සිනාරැල්ලක් නංවමින් එවර පොල් ගෙඩිය බිදී ගියේය. සාලින්දගේ සහ වෙල්ගමගේ පොල්ගෙඩි දෙක එක පහරින්ම බිදී ගිය නමුත් මන්ත‍්‍රිනි මංජුලා දිසානායක ඇතුඵ තවත් කිහිපදෙනෙකුගේම පොල් ගෙඩි බිදී ගියේ දෙවැනි උත්සාහයේදීය. පොල් ගැසීමෙන් අනතුරුව දේවාල භූමියේදී උත්සව සභාවක්ද සංවිධානය කර තිබූ අතර එහිදී කතා කළ පළාත් සභා මන්ත‍්‍රී මල්රාජ් පීරිස් සැවොම සිනාගන්වමින් කීවේ ගෙම්බන්ට නම් ආයේ මේ කිසිම දිනෙක පැත්තට පනින්න ඉඩ නොදිය යුතු බවය.

මෛත‍්‍රී – රනිල් පින්තූර එල්ලන්න දයාසිරිගෙන් නියෝගයක්.

සැලකිය යුතු කාලයක් තිස්සේ අක‍්‍රිය වී පැවැති රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට පැවැත්වුණේ පසුගිය සිකුරාදාය. ඒ රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් ලෙස නම් කර සිටින ඇමැති දයාසිරි ජයසේකර සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී එම්. එස් . පෙරේරාගේ ප‍්‍රධානත්වයෙනි. ඔවුන් දෙපළ සභාපතිවරුන් ලෙස රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට වාඩි වූ පළමු අවස්ථාවද එය විය. රැස්වීම සදහා පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය තන්ත‍්‍රය නියෝජනය කරන සියලූදෙනාම පාහේ සහභාගී වී සිටි අතර සුවිශේෂි අමුත්තන් දෙදෙනෙකුද ඊට සහභාගි වී සිටිනු පෙණිනි. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. ඞී. විමලදාස සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලය. රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවට මේ දෙදෙනාගේ පැමිණීම ආගන්තුක බවක් පෙන් වූ නමුත් තවමත් දොඩම්ගස්ලන්ද ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක තනතුර හොබවන්නේ ආර්. ඞී. විමලදාස වීම හේතුවෙන් ඔහුටද සංවර්ධන කමිටු රැස්වීමට ඇරයුම් ලැබී තිබිණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලගේ ජන්ම භූමිය මෙන්ම දොඩම්ගස්ලන්ද ආසනය සමග ඇති සමීප දේශපාලන සබදතා හේතුවෙන් අලවතුවලටද කමිටු රැස්වීමට ආරාධනා ලැබී තිබිණි. ‘‘මම අද ආවේ අපේ ප‍්‍රාදේශීය ලේකම්තුමාගේ ආරාධනාව නිසයි. මින් ඉදිරියට මම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ’’අලවතුවල සැමගේ කුතුහලය දුරුකරමින් කීය. රැස්වීම මැදදී ජනපති මෛත‍්‍රීගේ සහ අගමැති රනිල්ගේ ඡායාරූප රිදීගම සමෘද්ධි කාර්යාලවල එල්ලා නොතිබීම පිළිබදව ගැටඵවක් මතු වූයේ මන්ත‍්‍රී එම්. එස්. පෙරේරාටය. ‘‘ජනාධිපතිතුමාගේවත්, අගමැතිතුමාගේවත් පොටෝ එකක් ගහලා තියෙන අපේ කිසිම සමෘද්ධි බැංකුවක් නම් මම දැකල නෑ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ෆොටෝ දෙක සියලූම සමෘද්ධි බැංකුවල එල්ලන්න කියලා. සමහර නිලධාරීන් නම් කියනවා අපි මහින්ද මහත්තයාගේ කට්ටිය නිසා කීයටවත් මෛත‍්‍රීගේ ෆොටෝ නම් එල්ලන්නේ නැහැ කියලා. එහෙම හොද නෑ. රාජ්‍ය නිලධාරීන් විදිහට රටේ නායකයින්ට ගරු කරන්න අපි දැනගන්න ඕනෑ. ’’මන්ත‍්‍රී පෙරේරා සිය කතාව නිමකරනවාත් සමග රැස්වීමෙන් අසුන්ගෙන සිටි රාජ්‍ය නිලධාරීන්ගෙන් නැගී ආවේ සිනා හඩකි. ඒ සමගම සිහින් කසු කුසුවක්ද සභාවෙන් නැ‍ගෙන්නට විය. ඊට පිළිතුර දුන්නේ දයාසිරිය. ‘‘බයවෙන්න එපා ඒක එල්ලන්න. පත්තරවල අය නම් මේ ගැන එක එක ඒවා ලියයි. මමත් කියනවා ඒක අනිවාර්යෙන් එල්ලන්න කියලා.’’ දයාසිරි කීය. මෙම සිදුවීම ගැන විශේෂයෙන් ලියන්නට අදහසක් නොතිබූ නමුත් දයාසිරිගේ අනාවැකියද සැබෑ කළ යුතු නිසා ‘අඵ යට ගිනි’පිටුවෙන් ඊට ඉඩක් වෙන්කිරීමට ලියුම්කරු කල්පනා කළේය.

බැසිල් ලෙඩ්ඩු බලන්න එයි.

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පසුගිය සදුදා හදිසියේම වාගේ කුරුණෑගල ආවේය. බැසිල්ගේ ගමන දේශපාලනික කටයුත්තක් වෙනුවෙන් සිදු වූ එකක් නොවූ අතර එම ගමනේ අරමුණ වී තිබුණේ අසනීපයෙන් පසුවන කිහිපදෙනෙකුගේ සුව දුක් විමසා බැලීමය. බැසිල් සිය තනි නොතනියට පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත්වද ගෙන්වාගෙන තිබූ අතර මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂටද ඇමැතුමක් ලබාදී නමුත් සුමිත් ඒ වන විට සිටියේ කොළඹ ගොසිනි. සමන්ප‍්‍රිය සිය රථයටම නංවා ගත් බැසිල් පළමුව ගියේ නාරම්මල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඞී. එම්. සුමනදාසගේ දඹදෙණියේ පිහිටි නිවසටය. සුමනදාසගේ පියා, බිරිද මෙන්ම පුත‍්‍රයෙකුද මේ වන විට පසුවන්නේ අසනීප තත්වයෙනි. අසනීපකාරයින් සියලූදෙනාගේම සුව දුක් විමසාබලමින් සුමනසිරි නිවසේ සැලකිය යුතු වේලාවක් ගත කළ බැසිල් අනතුරුව සමන්ප‍්‍රිය සමග ගොඩවැදුණේ ඒ ආසන්නයේම පිහිටි මළගෙදරකටය. නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු කීර්තිමත් ගුරුවරයෙකු මෙන්ම පඩුවස්නුවර ප‍්‍රාදේශීය ලේකම්වරියගේ පියාණන්ද වූ පෙත්තාවඩු මහතාගේ දේහයට බැසිල් එහිදී අවසන් ගෞරව දැක්වීය. දේහයට අවසන් ගෞරව දක්වා එළියට බසින බැසිල්ගේ මුහුණටම හමු වූයේ මහනුවර දිස්ත‍්‍රික් ලේකම් එච්. එම්. පී. හිටිසේකරය. හිටිසේකර සමගද ටික වේලාවක් ආ ගිය තොරතුරු කතාකරමින් සිටි බැසිල් ඊළගට කෙළින්ම ගියේ කටුගම්පළටය. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් චරිත හේරත්ගේ පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය. බැසිල් චරිතගේ නිවසින් එළියට බැස්සේ මළගෙදර පැමිණ සිටි අයගේ දේශපාලන ප‍්‍රශ්නවලට සැලකිය යුතු කාලයක් තිස්සේ උත්තර බැදීමෙන් අනතුරුවය.

මහව සමූප ඵලකේ – දෙවරක් විවෘත කෙරේ.

අභිනවයෙන් ඉදි කළ මහව සමුපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම යෙදී තිබුණේ පසුගිය සිකුරාදාය. උත්සවය සදහා රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක , වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක , පළාත් සමූපකාර ඇමැති ගුණදාස දෙහිගම ඇතුළු මැති ඇමැතිවරු ආරාධනා ලැබ සිටියහ. ටී. බී. සහ දෙහිගම උත්සවයට වේලාවට පැමිණි සිටි නමුත් මහඇමැති ධර්මසිරිගේ පැමිණීම මදක් පමා වී තිබිණි. කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම සදහා ඇමැති ටී. බී. මහත් නොඉවසිල්ලකින් සිටි බව පෙණුනු අතර ධර්මසිරි එනතුරු මදක් පමාවෙන ලෙසට සමූපකාර නිලධාරීන් විසින් ඇමැති ටී. බී. ගෙන් ඉල්ලා සිටින ආකාරයද පෙණිනි. තවත් විනාඩි කිහිපයක් බලා සිටි ටී. බී. අන්තිමේදී කීවේ ‘‘මහ ඇමැතිතුමා හිමින් සැරේ එයිනේ. එතකම් අපි වැඬේ කරගෙන යමු ’’ යැයි කියාය. ඒ අනුව ටී. බී. ගේ සහ දෙහිගමගේ අතින් සමුපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ සමරු ඵලකය නිරාවරණය කෙරුණු අතර පීත්ත පටිය කැපීමෙන් කාර්යාලයද විවෘත කෙරිණි. පසුව පිරිස කාර්යාලයට පිවිස ලොග් සටහන්ද තැබීමෙන් අනතුරුව තේ මේසය වෙත යෑමට සැරසෙද්දී මහ ඇමැති ධර්මසිරි පැමිණි බවට පණිවිඩය ලැබිණි. ධර්මසිරි පැමිණි බවට පණිවිඩය ලැබීමත් සමග කලබල වූ සමූපකාර සේවකයින් විසින් ටී. බී. ගේ සහ දෙහිගමගේ අතින් නිරාවරණය කෙරුණු සමරු ඵලකය යළි වසා දමන ආකාරයද පෙණිනි. සමුපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලය වෙත ගොඩ වූ මහ ඇමැති ධර්මසිරිට සමූපකාර සේවකයින් විසින් ආරාධනා කළේ සමරු ඵලකය විවෘත කරන ලෙසටය. එම ඵලකය ටී. බී. ගේ සහ දෙහිගම විසින් ඊට මොහොතකට පෙර විවෘත කර ඉදුල් කළ එකක් බව නොදත් මහ ඇමැති ධර්මසිරි එය තවත් වතාවක් විවෘත කළේ රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් උත්සවය සංවිධානය කළ සමූපකාර නිලධාරීන් විසින් තමන් අන්දවා ඇති බව බොහෝ විට මහ ඇමැති ධර්මසිරි විසින් පවා බොහෝවිට දැනගනු ඇත්තේ අඵ යට ගිනි කියැ වූ පසුවය. එසේම මෙම අනාවරණයෙන් පසුවද සුපුරුදු ලෙසම මහ ඇමැති ධර්මසිරි යළිත් වරක් මාධ්‍ය පිළිබදව උදහස් වන්නට වැඩි ඉඩක් ඇති නමුත් මාධ්‍ය වෙත පැවරී ඇති වගකීම අකුරට ඉටුකරමින් ඒ සිදුවීමද මෙලෙස සටහන් කෙරෙයි.

නාට්‍ය බලන්න ආ අලවතුවලට පාරත් හදන්න වෙයි.

දොඩම්ගස්ලන්ද, ලිහිණිවැහැර ලිහිණි එකමුතු සුබ සාධක සංගමය විසින් සංවිධානය කළ නාට්‍ය සන්දර්ශණයක් පැවැත්වුණේ ඉකුත් සති අන්තයේදීය. එම සංගමයේ ආරාධනාව පරිදි නාට්‍ය සංදර්ශනය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලවතුවල, වයඹ පළාත් සභා මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා, හිරියාල එජාප සංවිධායක ජගත් මංජුල යාපා මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ හිරියාල හිටපු සංවිධායක නිශාන්ත බණ්ඩාර විටින් විට පැමිණියහ. ජගත් යාපාගේ පැමිණීම උත්සව සංවිධායකයින්ගේ විස්මයට හේතු වී තිබුණේ ඔවුන් විසින් ජගත්ට ආරාධනා කර තිබුණේ එක් දුරකථන ඇමැතුමකින් පමණක්වීම හේතුවෙනි. නිවෙස්වලටම ගොස් බුලත් දී ආරාධනා කළ දොඩම්ගස්ලන්දේ ඇතැම් දේශපාලනඥයින් පවා උත්සවය පැත්ත පළාතේ පස් නොපාගා සිටියදී දුරකථන ඇමැතුමකින් කළ ආරාධනාව පිළිගෙන උත්සවයට පැමිණි හිරියාලේ ජගත් යාපාට පිරිසගේ නොමද ප‍්‍රසංශාව හිමි විය. මන්ත‍්‍රී අලවතුවල නාට්‍ය සංදර්ශණයට ආවේ තරමක් රෑ බෝ වී තිබියදීය. නාට්‍ය බලන්නට ආ අලවතුවල වටකරගත් ප‍්‍රදේශවාසීහු ඒ ඉදිරිපිටින් දිවෙන ලිහිණිවැහැර – රෑද්දගොඩ මාර්ගය අබලන් වී තිබීම පිළිබදව දුක්ගැනවිලි කියන්නට වූහ. ප‍්‍රදේශවාසීන්ගේ ඉල්ලීමට කන් දුන් අලවතුවල එළැඹෙන සිංහල අලූත් අවුරුද්දට පෙර පාර හදා දෙන බවට පොරොන්දු වූයේ ගම්වාසීන්ගේ අත්පොළසන් මධ්‍යයේය. අලවතුවල සිය කතාව අවසන් කළේ ලිහිණි එකමුතු සුබ සාධක සංගමය විසින් ඉදිකරගෙන යන ගොඩනැගිල්ල සදහා සිය විමධ්‍යගත ප‍්‍රතිපාදනවලින් රුපියල් ලක්ෂ දෙකක් ලබාදෙන බවට තවත් පොරොන්දුවක්ද ලබාදෙමිනි.

උපුටාගැනීම – මව්බිම- 2016 පෙබරවාරි 25 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article