‘ඩිජිටල් යුගයේ’ දිවි ගෙවන බොහෝ දෙනෙකුගේ ජීවිතයේ සැලකිය යුතු කොටසක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල දක්නට හැකිය. ඉතා වටිනා ඡායාරූප, වීඩියෝ සහ ලිපි දිනකට මිලියන ගණනක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කෙරේ. නමුත්, මියගිය පසු ඔබේ ‘අන්තර්ජාල බූදලය’ උරුම වන්නේ කාහට ද?
යමෙකු සිය දිවි ගමන තුළ එක්රැස් කරගත් සිහිවටන මෙන්ම සිතට නැගුණු හැඟීම් වචන බවට පෙරලා සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල පළ කළ විට, එය ඔහු හෝ ඇය සතු දේපළක් බවට පත් වේ.
ඉඩම්, නිවාස, වාහන, මුදල් ඇතුළු භෞතික දේපළ අන් අයට පැවරිය හැකි වුව ද, පුද්ගලයෙකුගේ ඩිජිටල් දේපළ පවරා දීමක් හෝ අවසන් කැමති පත්රයකට ඇතුළත් කළ හැකි නීතිමය රාමුවක් ශ්‍රී ලංකාව තුළ නොමැත.
නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල මේ සඳහා නීති සකසා ඇත. The Revised Uniform Fiduciary Access to Digital Assets Act (RUFADAA) එවැනි එක් පනතකි.
“මගේ පාසලේ යෙහෙළියක් මීට මාස හයකට කලින් මියගියා. නමුත් ඇය මිය ගිහින් දින කීපයකින් ඇයගේ ෆේස්බුක් ගිණුමේ පින්තූර වගේම විවිධ දේ පළ වෙන්න ගත්තා. එයාගේ නමින් මේ දේවල් දාන්නේ අම්මා,” බීබීසී සිංහල සේවය වෙත සිය අදහස් දක්වමින් ගුරුවරියක වන රන්දිමා පරණවිතාන පැවසුවාය.
“මුලින් මට මේ දේ තේරුණේ නැහැ. පසුව මම මේ ගැන සොයා බැලුවා. මියගිය පසු ෆේස්බුක් ගිණුමට ඇතුළු වීමේ අයිතිය ඇය අසනීප වෙලා ඉන්න කාලයේ තමන්ගේ අම්මාට පවරලා.”
කෙසේවෙතත්, පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් හෝ ඊමේල් ගිණුම්වලට ඇතුළු වීමට ඥාතීන්ට හෝ වෙනත් අයට අවසර ලබා දෙන නීතියක් ද නොමැත.