සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
සන්ධ්‍යා එක්නැලිගොඩ
නො 136 /2, සුහද මාවත,
හිරිපිටිය, පන්නිපිටිය
2019.11.05
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා,
ජනාධිපතිවරණය 2019
ජනාධිපති අපේක්ෂක,
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ.
ට්විටර් හා ෆෙස්බුක් මාධ්‍යජාලා ඔස්සේ ඔබ වෙත එවන විවෘත සංදේශය
ජනාධිපති අපේක්ෂක මහත්මයාණෙනි,
2019.10.09 දින ඔබ විසින් මැතිවරණ රැළියක් අමතමින් කළ ප්‍රකාශය සහ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධවයි.
ඔබට මෙම ලිපිය ලිවීමට මා අදහස් කලේ මීට සති දෙකකට පමණ ඉහතදී ය. එහෙත් මට ඔබගේ නිවසෙහි ලිපිනය සොයා ගත නොහැකි විය. “ලිපිනය සොයා දෙන්නම්” කියා පොරොන්දු වූ අය ද එම පොරොන්දු පැහැර හැරියේ යම්කිසි බයක් නිසාදෝයි මට සිතිණි. අවසානයේදී, මෙම ලිපිය විට ට්විටර් සහ ෆෙස් බුක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔබ වෙත යොමු කිරීම සුදුසුම සහ කඩිනම් යැයි මට හැඟිණි.
මෙසේ ඔබට ලියන මෙම 2010 නවාරි 24 වන දින බලහත්කාරයෙන් අනීතික ලෙස හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙක් විසින් පැහැරගෙන ගොස් ඔහුගේ භෞතික ශරීරය අතුරුදහන් කර ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වෙමි. හරිත් , සංජය පුතුන් දෙදෙනා සහ මම; ප්‍රගීත්ට සිදු වූ දේ පිළිබඳව සත්‍යය සහ යුක්තිය සොයා ගැනීමට නිම නොවන අරගලයක නිරත වෙමු.
2010-2015 කාලය තුළ විමර්ශනය කිරීම් වළක්වා තිබූ, මගේ සැමියා වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධ පරීක්ෂණ 2015 දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරුණු අතර, ඔවුන්ගේ විමර්ශන වලදී රටේ නීතියට පටහැනි ආකාරයෙන් ප්‍රගීත් පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කඳවුරක පිහිටි වධකාගාරයක රඳවා ගෙන ප්‍රශ්න කර ඇති බවත්, ඉන් පසුව එතැනින් අක්කරෙයිපත්තුවට ගෙන ගොස් ඇති බවත්, මේය සිදුකර ඇත්තේ හමුදා බුද්ධි නිලධාරියෙකු වන ශම්මි කුමාරරත්න ඇතුලු කණ්ඩායමක් බවත් ඔවුන් අනාවරණය කර බී වාර්තාවක් මගින් ගරු අධිකරණයට කරුණු දක්වා තිබේ. ඒ අනුව මෙම අපරාධ චූදිත හමුදා බුද්ධි අංශ නිලධාරීන් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බලකාය, විශේෂ කාර්යාංශය, අපරාධ වාර්තා කොට්ඨාශය, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය, නුගේගොඩ කොට්ඨාශය යන රටේ ආරක්ෂාවට සම්බන්ධ ආයතන 10 කින් සහ ගරු අධිකරණය මගින් ප්‍රගීත් පිළිබඳව විමසීම් කර තිබූ අතර එම ආයතනවලින් ඔවුන්ට ලබාදී තිබූ වාර්තාවක් 2016.08.23 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගරු අධිකරණයට ඉදිරිපත් කර කළ අතර; එහි දැක්වූයේ “මාධ්‍යවේදී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ යන අය කිසිදු අපරාධයකට හෝ LTTE ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ යම් අපරාධ කණ්ඩායමකට හෝ LTTE ත්‍රස්තවාදී ආධාර අනුබල දීමට සම්බන්ධ වී ඇති බවට වාර්තා වී නොමැති බව හා යම් අධිකරණමය ක්‍රියාවකට අවැසි නොවන බවත්ය”.
මාගේ සැමියා පිළිබඳව සත්‍යය මෙය වුවත් ඔහුව ගොදුරු කරගත් අපරාධයට සම්බන්ධ දේශපාලන කණ්ඩායම් ඔහුට චෝදනා නගන්නේ ප්‍රගීත් LTTE කාරයෙක් කියාය. කිසිදු අපරාධයක් යුධයක් නොඇල්ලූ ප්‍රගීත් කොටියෙක් ලෙස හුවා දක්වන ඔවුන්, අරන්තලාවෙ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා (සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුලත්ව) සමූහයක් ඝාතනය කළ කරුණා අම්මාන් නමැති හිටපු LTTE නායකයාව දේශප්‍රේමියෙකු කරන අතර; ඔහු වීරකැප්පෙටිපොළට සමාන කිරීම මාත් උත්ප්රාසයකි.
එක් කණ්ඩායමක් ප්‍රගීත් ප්‍රංශයේ සිටිනවා දුටුවා යැයි පවසද්දී තවත් කණ්ඩායමක් පවසන්නේ ඔහු ඩුබායිවල ඉන්නවා යැයි කියාය. ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ නොමැති බවට ප්‍රංශ රජය තහවුරු කරද්දීත් ඔවුන් දිගින් දිගටම කියන්නේ ඔහු ප්‍රංශයේ සිටින බවය. මෙම පදනම් විරහිත ප්‍රකාශ වල ඇති විශේෂත්වය නම් මෙම ප්‍රබන්ධ සියල්ලම ගොතන්නේ එකම දේශපාලන කණ්ඩායමක් වීමය. මේවා අසා කම්පා වන අපේ දරුවන් විමසන්නේ “අම්මේ තාත්තා රට යන්න පාස්පෝට් එකක් තිබුණේ නෑනේ” කියාය.
මෙම කණ්ඩායම් එසේ කීවත් එදිනෙදා මගතොටේදී හමුවන මිනිසුන් නම් කියන්නේ සුරතලයට මෝරුන් ඇති කරන නායකයෙක් ප්රගීත්ගේ සිරුර මෝරුන්ට කන්නට දී ඇතැයි කියාය. තවත් අය කියන්නේ ෂම්මි කුමාරරත්නලා ප්රගීත්ගේ සිරුරේ අභ්‍යන්තර කොටස් ඉවත්කර මුහුදට දමා ඇතැයි කියාය. තවත් අමාරු කියන්නේ ප්රගීත්ගේ සිරුර ඇසිඞ් තටාකයක ගිල්වා ඇති බවකි. මේ පිළිබඳ සත්‍ය දන්නේ ෂම්මි කුමාරරත්න ඇතුලු කණ්ඩායම පමණි.
කෙසේවෙතත් එවකට වයස අවුරුදු 12ක් සහ 15ක් වූ දරුවන් දෙදෙනෙකුගෙන් “තාත්තා” උදුරාගෙන දරුවන්ගේ ජීවිත විනාශ කරන්නටත්, බිරිඳක් ලෙස මා කෘතිම කනවැන්දුම් ගැහැනියක බවට පත් කරන්නටත්, පවුලක සතුට විනාශ කරන්නට ඔවුන්ට හැකි වුවත්, ප්‍රගීත් එක්නැලිගොඩගේ මතකය විනාශ කිරීමට ඔවුන්ට කිසිසේත් නොහැකි වී ඇත.
2019.10.09 වන දින පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී ඔබ විසින් අමතන ලද පළමු ජන රැලියේදී “නොවැම්බර් 16 පත් වූවාට පසු දින එනම් 17වන දාම සිරගෙවල් වල සිටින රණවිරුවන් නිදොස්කොට නිදහස් කරනවා” යනුවෙන් ඔබ ප්‍රකාශ ඔබ කළ ප්‍රකාශය ඇසූ මොහොතේ මට ඇතිවූයේ බියමුසු අවිනිශ්චිත භාවයකි. ඒ, අවුරුදු නමයක් පුරා නින්දා, අපහාස, අඩන්තෙට්ටම් මැද සත්‍ය හා යුක්තිය පතමින් දින 150කට වැඩි කාලයක් උසාවි ගානේ රස්තියාදු වී කරන ලද කැපකිරීම; ප්රගීත්ගේ විමර්ශනය, ප්‍රගීත් ට කළාසේම විනාශ කිරීමට ඉඩදෙනවද නැද්ද යන සිතුවිල්ල නිසාවෙනි. සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් ඇති මාගේ අධිෂ්ඨානය විනාශ කිරීමට මම කිසිසේත් ඔබට ඉඩනොතබමි.
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වන ඔබ විසින් කර ඇති ප්‍රකාශයට අනුව මේ රටේ වින්දිතභාවයට පත් මා ඇතුළු වින්දිතයින්ගේ “නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය” යන ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වනවා සේම ආරක්ෂක හමුදා නිලධාරීන් විසින් කරන ඕනෑම අපරාධයක් යුක්ති යුක්ත කිරීම සඳහා නිල අවසරයක් ලබා දීමක් වේ. එසේම යුක්තිය පසිඳලන ආයතන සහ නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතන වල දක්ෂ අවංක නිලධාරීන්ගේ ධෛර්යය දුර්වල කිරීමක්ද වන්නේය.
එහෙයින්, පහත සඳහන් ප්‍රශ්න ඔබ වෙත ඉදිරිපත් කරන අතර, දින තුනක් ඇතුළත පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.
1. ඔබ මෙසේ මෙම බණ්ධනාගාරගත හමුදා නිලධාරීන්ට දණ්ඩ මුක්තිය ලබා දෙන්නේ කරන ලද අපරාධ වරද අධිකරණයේදී ඔප්පු වී දඩුවම් විදින සියලුම හමුදා නිලධාරීන්ටද? (රටේ මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, සොරකම් ආදිය සියලු අපරාධ වලට සම්බන්ධ අය ද ඇතුලුව) නැතහොත් ඔබ විසින් තෝරාගත් පිරිසකට පමණක්ද? එසේ තෝරා ගැනීමක් සිදු කරන්නේ නම් එය කරන්නේ කුමන පදනමකින්ද?
2. මාගේ සැමියාගේ නඩුව පවතින්නේ නීතිසපති තුමා විසින් චෝදනා ගොනු කොට, අගවිනිසුරු තුමා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කොට එම නඩු ආරම්භ කිරීමේ අදියරේ ය. ප්රගීත්ගේ සේම තවත් ප්‍රසිද්ධ අපරාධ ගණනාවක (හමුදාව සම්බන්ධ) නඩු පවතින්නේ මුලික අදියර වලය. ඔබ ලබා ගන්නවා යයි කියන ජයග්රහණයෙන් පසු දිනම (නොවැම්බර් 17) ඔවුන්ට දණ්ඩ මුක්තිය ලබාදෙන්නේ එම නඩු වල අධිකරණමය ක්‍රියාදාමය නවතා, විනාශ කර දමා ද?
3. දණ්ඩ මුක්තිය ලබාදීමට ඔබ විසින් තෝරා ගන්නා කණ්ඩායම් අතර භාරත ලක්ෂ්මන් ඝාතනය වරදකරු දුමින්ද සිල්වා, කුරාම් ෂේක් ඝාතනය වරදකරු වූ ප්‍රසිද්ධ ස්ත්‍රී දූෂක හිටපු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍ර සම්පත් යන අය ඇතුළත් ද?
කෙසේ වෙතත් ඔබ මෙසේ මෙම අපරාධ වරද වලට සම්බන්ධ හමුදා නිලධාරීන්ට දණ්ඩ මුක්තිය ලබා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය, ව්‍යවස්ථාවේ ගෞරවය සහ වින්දිතයින්ගේ මානව හිමිකම් නොසලකා හරිමින්නය. එබැවින් අද දින සිට දින තුනක් ඇතුළත ඉහත කරුණු වලට පැහැදිලි පිළිතුරක් ලබාදෙන ලෙස මම නැවතත් ඉල්ලා සිටිමි.
එසේම ඔබ කියන පරිදි අපරාධ කර ඒවාට අධිකරණ තීන්දු මත දඬුවම් විඳින හෝ චූදිත හමුදා නිලධාරීන්ට දණ්ඩ මුක්තිය ලබා දුනහොත් එය මාගේ සහ මාගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාවට ද, තවත් බොහෝ වින්දිතයින්ගේ ජීවිත ආරක්ෂා වලට ද තර්ජනයක් වන්නේය. මම මෙම ලිපිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ සියලුම තානාපති කාර්යාලවලට, පොදු මහජනතාවට ද යොමු කොට බෙදා හරිමින් මාගේ සහ දරුවන්ගේ ද, අනෙක් සියලු වින්දිතයින්ගේ ද ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටින්නේ ඒ නිසාවෙනි.
ස්තුතියි!
මෙයට වින්දිත භාවයට පත්,
සන්ධ්‍යා එක්නැලිගොඩ
- Advertisement -
- Advertisement -