ලංකාව තුළ සිදුවන සත්ව හිංසනය වැලැක්වීම සදහා කෙටුම්පත් කර ඇති ‘සත්ව හිංසන පනත‘ පාර්ලිමේන්තුව තුළ සංහෝධන සහිතව සම්මත කිරීමට පසුගිය යහපාලන රජයද අසමත් විය. පසුගිය දා නිකවැරිටිය බෝධි නම් ගොවිපළේ සිදුවූ සුනඛ ඝාතනය හෙළිවීමත් සමග නැවතත් මෙම සත්ව හිංසන පනත පිළිබද කතිකාව කරලියට පැමිණියේය. ලංකාවේ වන අලින් ඇතුළුව සුනඛයින්ට විශේෂයෙන් සිදුකරන හිංසාවන්ට එරෙහිව පසුගියදා ‘බව් බව් ‘සංවිධානය සහ සත්ව ප්‍රේමීන් එක්ව සාමකාමී විරෝධාතාවක්ද පවත්වන ලදී. එහිදීද ඔවුන් අවධාරණය කර සිටියේ මෙම පනත වහාම සම්මත කරන ලෙසයි. එමෙන්ම පනත අලුත් සංශෝධනයක් යටතේ සම්මත කරන ලෙසත් ඉල්ලීමක් වර්තමාන රජයට යොමුකර තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා විසින් ද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන ලදී. ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ වනජීවී සම්පත ආරක්ෂාකරගන්නවා සේම අනෙක් සත්වයින්ට සිදුවන හිංසාවන් මැඩපැවැත්වීම වෙනුවෙන් දීර්ඝකාලීන විසදුමක් අවශ්‍ය බවයි. එමෙන්ම තිබෙන්නාවූ පනත යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතු බවත් සතුන් වන්ද්‍යකරනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් , පශු වෛද්‍ය ආයතනයත් අතර ප්‍රශ්න තිබෙන බව ඔහු මතුකරන ලදී. සතුන් වද කිරීම සදහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමැති අතර ඒ පහසුකම් නොමැති නිසා සතුන් වදකිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ප්‍රශ්න රාශියක් ඇතිවී තිබෙන බවයි.
ඉකුත් 14දා වනජීවි අමාත්‍යාංශය ඉදිරිපිට දී පරිසර සහ සත්ව සංවිධාන විසින් උද්ගෝෂනයක් පවත්වන ලදී. එහි ප්‍රථිපලයක් ලෙස අලින් එළවීමට ග්රාමාරක්ෂක භටයින්ට බෙදා දුන් තුවක්කු නැවත ලබා ගැනීමට වනජීවි අමාත්‍යවරයා අද දින පැවැත්වූ සාකච්ඡාවකින් පසු එකගවූ බවත් වාර්තා වේ. අලි වැටවල් ඉදිකිරීමේදී සහ ඒ සම්බන්ධ තීරණවලදීත් පරිසර හා සත්වවේදීන්ගේ අදහස් ලබාගැනීමට ඇමතිවරයා එකගතාවකට පැමිණ ඇති බවත් එම සංවිධාන පවසයි.