Sunday, January 19, 2025

‘සංචාරක පොඩ්ඩෝ‘ ණය යෝජනා ක්‍රමය හරහා පොලී රහිතව ලක්ෂ 5ක් දක්වා වූ ණය අපි දුන්නා

Must read

tourismපාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීම සඳහා මාස හයක් ගතවීමට මත්තෙන් සංචාරක පොඩ්ඩෝ, ජය ඉසුරු වැනි සුවිශේෂී ණය යෝජනා ක්‍රම 5ක් ඔස්සේ පුද්ගලයන් 2700කට රුපියල් මිලියන 16650කට ආසන්න මුදලක් සහනදායී ණය වශයෙන් පිරිනමා ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රහාරය නිසා අඩපණ වූ සංචාරක ව්‍යාපාරයට යළි පණගැන්වීම සඳහා රජය විශේෂ සහන පැකේජයක් හඳුන්වා දුන් බව පැවැසූ මංගල සමරවීර මහතා විශේෂයෙන් හෝටල් කර්මාන්තයේ ණය පොලී ගෙවීම් රජය දරා ගැනීම මෙන්ම එම ක්ෂේත්‍රයේ අවශේෂ ක්‍රියාකාරී අංශ ගණනාවක් නඟාසිටුවීම සඳහා අඩු පොලී අනුපාත හා සරල කොන්දේසි යටතේ බැංකු හරහා ණය මුදල් පිරිනැමූ බව ද සඳහන් කළේය.

‘සංචාරක පොඩ්ඩෝ‘ නම් වූ ණය යෝජනා ක්‍රමය හරහා පොලී රහිතව රුපියල් ලක්ෂ 5ක් දක්වා වූ ණය මුදලක් සංචාරක අංශයේ නියැළුණු සුළු ව්‍යාපාරිකයන්ට අතදීමට අප කටයුතු කළා. ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකු හරහා මේ වන විට ණය ප්‍රතිලාභීන් 1067 දෙනකුට රුපියල් මිලියන 467ක මුදලක් පිරිනමා ඇති බව ද මංගල සමරවීර මහතා කීය.

සංචාරක ක්ෂේත්‍රයේ සංවිධිත අංශයේ හෝටල් හිමියන්ට ඔවුන් ලබාගෙන ඇති සියලු ණය මුදල් ආපසු ගෙවීමේ කාලය ලබන වසරේ (2020) මාර්තු 21 දක්වා දීර්ඝ කර ඔවුන්ට සහන ලබාදීමට ක්‍රියා කළා. ඒ අනුව මේ අංශයන්හි පිරිස් තමන් ලබාගත් ණය මුදල් ගෙවීම සිදු කළ යුත්තේ 2020 මාර්තු 21න් පසුවය.

ඊට අමතරව සංචාරක ක්ෂේත්‍රයන්හි එකතු කළ ආදායම් මත බද්ද සියයට 15 සිට සියයට 5 දක්වා අඩු කළා. කිසිදු බදු අය කිරීමකින් තොරව ආරක්ෂිත උපකරණ ආනයනය කිරීමටත් සහන ලබා දුන්නා. සංචාරක අංශයට අනුබද්ධිත අනෙකුත් සේවා සපයන පුද්ගලයන් හට සියලු වාණිජ බැංකු හරහා සහන ණය ලබාදීමට කටයුතු කළා.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ පොලියෙන් 75% රජය විසින් දරා ගනිමින් ඉතිරි 25% ණයලාභියාගෙන් අය කර ගන්නා ආකාරයට ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළා. මෙහි දී රුපියල් මිලියන 20 සිට රුපියල් මිලියන 250 දක්වා මුදලක් ණය මුදල් වශයෙන් ලබා ගැනීමට ඔවුන්ට පහසුකම් සපයා දී තිබෙනවා.

සංචාරක අංශයේ නවෝදයට අප ඇති කළ සහන පැකේජයන් හරහා ‘ජය ඉසුර‘ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභීන් 210ක් දෙනා රුපියල් මිලියන 4942ක මුදලක් ද, හරිත ණය යටතේ ප්‍රතිලාභීන් 16ක් සඳහා රුපියල් මිලියන 44ක් ද, විශේෂ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයන් 90කට රුපියල් 6164ක මුදලක් ද බැංකු නොවන මූල්‍ය සමාගම් විසින් ලබා දුන් ණය සහන සඳහා පුද්ගලයන් 1321ක් හිමිකම් ලබා රුපියල් මිලියන 5000ක ණය මුදලක් පිරිනමා ඇත.
www.dinamina.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article