Saturday, January 18, 2025

විසිතුරු රුවල් නැව්වලින් ජීවිතය ගොඩදාගන්න වෙර දරන තරුණයෙක්.

Must read



අපේ රට ,ආර්ථික වශයෙන් අගතියට පත්වෙලා, ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වෙලා තියෙන මේ වාගේ කාලෙක ජීවිතය ගොඩදාගන්න අපි නොයෙක් නොයෙක් දේ කරනවා . කාටත් කරදරයක් හිරිහැරයක් නැතුව ජීවිතය ගොඩදාගන්න හදන මේ තරුණයා, ලහිරු සචින්ත. 23 හැවිරිදි තවමත් අවිවාහකව ඉන්න ලහිරු ව අපිට හමු වුනේ , නාත්තන්ඩිය, වීදුරු මෝල ළඟදී. ලහිරු ඇවිල්ලා තිබුනේ, පඬුවස්නුවර, වඩුවන කියන ගමේ ඉඳලා. නාත්තන්ඩියට ලහිරු ඇවිල්ලා තිබුණේ නිකම්ම නිකම් නෙවෙයි.රුවල් නැව් තොගයකුත් අරගෙන. රුවල් නැව් කියලා කියක්නේ , ලස්සනට විසිතුරුව අලංකාරව හදපු රුවල් නැව් ආකෘති වලට. ලහිරුගේ ඥාතියෙක් වෙන ජානක කළුආරච්චි කියන කෙනා එයාගේ වැඩ පොළේ හදන මේ රුවල් නැව් ආකෘති ගම් වලට , නගර වලට අරං ගිහිල්ලා විකුණනවා. ඒක තමයි ලහිරුලාගේ ජීවිකාව. අද වගේ මේ ගිනි කාශ්ඨක අව්ව තියෙන දවස්වලත් ලහිරුලා උත්සහ කරන්නේ කාටත් කරදරයක් හිරිහැරයක් නැතිව මේ රුවල් නැව් වලින් හරි කෙසේ හෝ තමන්ගේ ජීවිතය ගොඩදාගන්න.
ලහිරු කියන විදිහට ලස්සනට විසිතුරුව අලංකාරව හදපු මේ රුවල් නැව් ආකෘති තමන් වෙසෙන නිවසේ, තමන් වැඩ කරන කාර්යාලයේ, තමන් ව්‍යාපාර කරන ව්‍යාපාරික ස්ථානයේ තියාගන්න බොහෝ අය කැමත්තක් දක්වනවා. ඒකට හේතුව ලහිරු කියන විදිහට නම් වාස්තු විද්‍යානුකූලව මතයක් තියෙනවාලු, රුවල් නැවක ආකෘතියක් තියාගන්න නිවසකට,කාර්යාලයකට සහ ව්‍යාපාරික ස්ථානවලට වාසනාව උතුරා යනවා කියලා. ඔහු කියන විදිහට එහෙම නිවසකට රුවල් නැවක ආකෘතියකින් වාසනාව උදාවෙන්න නම් ඒක ඒ නිවසට තබන පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ නැවේ ඉදිරිපස කොටස නිවසේ ඇතුලටත්, නැවේ පසුපස ප්‍රදේශය නිවසට ඇතුළු වන උළුවස්ස දෙසටත් කියන්න ඕනෑලු. එහෙම තිබ්බොත් තමයිලු ,මේ රුවල් නැවකින් අපි බලාපොරොත්තු වෙන වාසනාව නිවෙස් වලට උදාවෙන්නේ. දැන් මේ ඉදිරියට එන්න තියෙන්නේ සිංහල හින්දු අළුත් අවුරුදු කාලේ . ඉතින් මේ කාලෙට බොහෝ දෙනෙකු ට තමන් වැඩ කරන තැන්වලින් වැටුපට අමතරව අලුත් අවුරුදු බෝනස් එහෙම ලැබෙනවා. ඒවගේමයි ව්‍යාපාර කරන අයටත් මේ කලේ අත මිට සරු වෙනවා. ඉතින් ඒ අය නිවසට යනකොට රෙදිපිළි කෑම බීම විතරක් නෙවෙයි, මේ වගේ විසිතුරු දේවල් දැක්කාහම ඒ වාගේ දෙයක් අරන් යන්නත් පෙළඹෙනවා. ලහිරු විකුණන මේ ලොකු රුවල් නැව් අකෘතියක් රු,6000ක් වෙනවාලු. එකේ පොඩි ආකෘතියකුත් තියෙනවාලු.ඒක රු.3500 ක් පමන වෙනවාලු. තෝරා ගන් තේක්ක දැව යොදා මෙලෙස නිර්මාණය කරන රුවල් නැව් ආකෘති කොළඹ මීගමුව වැනි සුපිරි මට්ටමේ නගර වල වැඩි වැඩියෙන් විකිණෙනවා කියලා තමයි ලහිරු කියන්නේ.
ඔහු කියන විදිහට අද නාත්තන්ඩියේ මේ ස්ථානයේ විකුණුම් කටයුතු කරලා, ගමේ ගිහිල්ලා, තවත් මේ වගේ නැව් ආකෘති තොගයක් අරගෙන කොළඹ නගරයට ආසන්න බත්තරමුල්ල වගේ ප්‍රදේශවලට ගිහිල්ලා විකුණුම් කටයුතු කරනවා කියලයි කියන්නේ .
ඒ වගේම සුපිරි හෝටල් වලට , සුවිශල් මන්දිර වැනි සුපරි නිවාස වලට අවශ්‍ය අඩි 10 ක් පමන දිගින් යුත් රුවල් ආකෘති ද ඕඩර් වලට හදලා දෙනවා කියලා ඔහු කියනවා.

    ඉතින් වාසනාව ගෙන එනවා යැයි කියන මෙවන් රුවල් නැව් ආකෘතියක් ඔබේ නිවසට කාර්යාලයට, ව්‍යාපාරික ස්ථානයට තියාගන්න ඔබත් කැමති නම්  ,ඒ වගේම ඔබේ නෑදෑ කෙනෙකුට ,හිත මිතුරෙකුට මතකයේ රැඳෙන තෑග්ගක් විදියට මෙවැනි රුවල් නැව් ආකෘතියක් දෙන්න අවශ්‍ය නම්  ලහිරුට කතා කරන්න. ලහිරු  සචින්ත 0781816066

සටහන -තුෂාර රොහාන්
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article