විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සංචාරකයින් සදහා විවෘත කිරීමට බලධාරීන් තීරණය කළත් එළුවන්කුළම පිවිසුම තවදුරටත් වසා දමා තැබීමට වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තීරණය කර ඇත. එළුවන්කුළම පිවිසුම ආසන්නයේ ඇති කලාඔය හරහා ඇති සපත්තු පාලමේ ඇති අභ්‍යන්තර ජල කාන්දුවට ස්ථීර විසදුමක් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොතිබීම ඊට හේතුව වී ඇත.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වීම සදහා ඇති නොච්චියාගම පිවිසුමට අමතරව එළුවන්කුලම ප්‍රදේශයෙන්ද නව පිවිසුමක් ස්ථාපනය කිරීමට පසුගිය රජය කටයුතු කරන ලදි.විල්පත්තුව මායිමෙන් ගලා බසින කලාඔය හේතුවෙන් ඒ අවට විවිධ පක්ෂීන් ගැවසීමත්,පුත්තලමේ සිට මන්නාරම දක්වා ඇති මාර්ගයත් මෙම පිවිසුම හා එක්ව තිබීම ඊට හේතුව විය.
මෙම තත්ත්වය නිසා එතෙක් කලක් නොච්චියාගම පිවිසුම පමණක් භාවිතා කළ බොහෝ සංචාරකයින් එළුවන්කුළම පිවිසුම භාවිතා කරන්නට විය.ඒ සමගම මෙම ප්‍රදේශය තුළ සංචාරක හෝටල් 15 ක් පමණ ඉදි විය.එමෙන්ම සෆාරි ජීප් රථ සහ බෝට්ටු සේවාවන්ද ආරම්භ විය.
පසුගිය දෙසැම්බර් මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග කලාඔය හරහා ඇති සපත්තු පාලමේ අභ්‍යන්තර ජල කාන්දුවක් තිබෙන බවට වාරි මාර්ග නිලධාරීන් හදුනා ගන්නා ලදි.එම ජල කාන්දුවට වැලි කොට්ට යොදා තාවකාලික පිළීතුරක් සොයා ගිය වාරි මාර්ග නිලධාරීන් එම සපත්තු පාලම මතින් ගමනා ගමන කටයුතු තහනම් කරන ලදි.මෙම තත්ත්වය නිසා පුත්තලමේ සිට මන්නාරම දක්වා ඇති මාර්ගයේ ගමනා ගමන කටයුතුද ඇණ හිටින ලදි.
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු විල්පත්තුව ජාතික වනෝද්‍යානය මාස 03 කට පසුව නැවත විවෘත කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව තීරණය කරන ලදි.නමුත් කලාඔය මතින් ඇති සපත්තු පාලමේ අභ්‍යන්තර ජල කාන්දුවට තවමත් ස්ථීර පිළියමක් යොදා නොතිබීම නිසා එම ස්ථානයේ ඇති පිවිසුම විවෘත කිරීමට හැකියාවක් නොමැති බව නිලධාරීන් සදහන් කරයි.
මෙම තත්ත්වය නිසා බොහෝ සංචාරකයින්ගේ ආකර්ෂණීය ස්ථානයක් වූ එළුවන්කුළම පිවිසුම විවෘත කරන දිනයක් මේ වන තුළ ප්‍රකාශයට පත් කර නැත.මෙම තත්ත්වය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව විල්පත්තුව සංචාරක මග පෙන්වන්නන් සදහන් කරයි.
ජූඩ් සමන්ත.