වසරක් පමණ පැරණි බවට සැකකෙරෙන වළ නොදැමූ මළ සිරුරක් අද (22 දා) උදෑසන පැල්ලන්දෙණිය, හෙට්ටිගෙදර පොදු සුසාන භූමියේ ඇති කැලෑ රොද තිබියදී හමු විය.
හෙට්ටිගෙදර පොදු සුසාන භූමියේ ඇති මෙම කැලෑ රොද ආසන්නයේ ප්‍රෙද්ශවාසී කාන්තාවක විසින් ගවයෙකු බැද ඇති අතර ගවයාට පෑගී එළි පෙහෙළි වූ කැලෑ රොද තුළින් මෙම මළ සිරුර මතු වී තිබේ.පසුව අදාල කාන්තාව විසින් ඒ පිළිබදව කළ දැනුම්දිමකට අනුව එහි පැමිණි බව කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් විසින් මළ සිරුර තම භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කළහ.
පොලිතින් යොදා ගනිමින් හොදින් ඔතා තිබූ මෙම මළ සිරුර හදුනාගත නොහැකි තරමට නරක් වී ඇති බව දැක ගත හැකි විය. මෙම මළසිරුර කනත්තෙහි වළ දමා තිබූ මෘත ශරීරයක් වන්නට ඇති බවට සැක කළ පොලිස් නිලධාරීන් විසින් එය වළ දමා තිබූ මිනී වළක් හෝ මිනී පෙට්ටියක් පිළිබද හෝඩුවාවක් සොයා හෙට්ටිගෙදර පොදු සුසාන භූමිය පුලුල් ලෙස පරීක්ෂාවකට ලක් කළ නමුත් ඒ පිළිබද කිසිදු සලකුණක් කනත්තෙන් හමු නොවීම විශේෂත්වයකි.
මළ සිරුරෙහි අනන්‍යතාවය සහ එය කනත්තට පැමිණි ආකාර පිළිබදව අනාවරණය කරගැනීම සදහා කුරුණෑගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.