පාර්ලිමේන්තු මහ මැතිවරණය හේතුවෙන් අක්‍රිය වී තිබූ වයඹ පළාත් සභාව අද (25 දා ) දින සිට යළි සක්‍රිය වෙයි.
ඒ වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් සභා සංකීර්ණයෙහි පිහිටි ‘සශ්රී ’ශාලාවේදී අද පෙරවරු 9.30 ට පළාත් සභාව යළි රැස්වීමත් සමගය.
වයඹ පළාත් සභාව නියෝජනය කරන මැති ඇමැතිවරුන් ගණනාවක්ම පාර්ලිමේන්තු මැතිවරණයට තරගකිරීමේ අපේක්ෂාවෙන් පසුවීම හේතුවෙන් ඉදිරි සභා රැස්වීම් අවලංගු කර , මාස එකහමාරක කාලයක් සදහා නිවාඩු අනුමත කරන යෝජනාවක් ජූලි මස 07 වැනි දින පැවැති පළාත් සභා රැස්වීමේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කර ගත්හ.
ඒ අනුව වයඹ පළාත් සභාව අද රැස්වෙන්නේ මාස එක හමාරක අමතර නිවාඩු කාලයකින් පසුව වන අතර මහ මැතිවරණයට තරගවැදීම සදහා එහි මන්ත්‍රීවරුන් විසින් නිවාඩු අනුමත කරවාගත් දිවයිනේ එකම පළාත් සභාව වන්නේද වයඹ පළාත් සභාවයි.
වයඹ පළාත් සභාව අද යළි රැස්වන විට එහි මැති ඇමැතිවරුන් හත්දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වී සිටීම විශේෂත්වයකි. වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය, කෘෂිකර්ම අමාත්‍ය ධූරය , විපක්ෂනායක ධූරය , විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධූරය ඇතුඵ මන්ත්‍රී ධුර හතක් මේ වන විට පුරප්පාඩු වී පවතින අතර අද පැවැත්වෙන පළාත් සභාවේදී ඒ කිසිදු තනතුරක් වෙනුවෙන් නව පත්කිරීම් සිදුනොකරනු ඇති බව පළාත් සභා ආරංචි මාර්ග කියයි.