Friday, November 22, 2024

වයඹ ආණ්ඩුකාර දෝෂාභියෝගයට බාලගිරිදෝෂය වැළදෙයි. යෝජනාව මාස එක හමාරකින් කල් යයි.

Must read

යෝජනාව ඉදිරිපත් කර තිබූ මන්ත‍්‍රීවරයා සභාවට පැමිණ නොසිටීම හේතුවෙන් වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග යෝජනාව විවාදයට ගැනීම දෙවැනි වතාවටත් කල් ගියේය.

වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ‘සශ‍්‍රී’ ශාලාවේදී ඊයේ ( 07 දා) පෙරවරු 9.30 ට වයඹ පළාත් සභාව රැස්විණි.

වයඹ පළාත් සභාවේ සභානායක ජූඞ් සුමල් තිසේරා මහතා විසින් යෝජනා අංක 6/2015/54 යටතේ මන්ත‍්‍රීවරුන්ගේ නව යෝජනාවක් ලෙස , අදාල දෝෂාභියෝග යෝජනාව ඊයේ රැස්වී‍මේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර තිබිණි.

පළාත් සභා රැස්වීමේදී අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම සදහා සභාපති ධර්මසිරි දසනායක මහතා විසින් අවස්ථාව ලබා දුන් අතර යෝජනාව ඉදිරිපත් කර තිබූ සභානායක ජූඩ් සුමල් තිසේරා මහතා සභාවට පැමිණ නොසිටිම නිසා ආණඩු පක්ෂයේ          ප්‍රධාන සංවිධායක ජොහාන් ප‍්‍රනාන්දු මහතා විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කළේය. එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ටිකිරි අධිකාරී මහතා විසිනි.

එම අවස්ථාවේදී වයඹ පළාත් සභාවේ ඇති වූ සංවාදය පහත දැක්වේ.

සභාපති ධර්මසිරි දසනායක මහතා –
යෝජනාව ඉදිරිපත් කළ මන්ත‍්‍රීවරයා සභාවේ නොමැතිවීම නිසා කාර්ය පටිපාටිය 12 ( ආ) රීතිය යටතේ එම යෝජනාව ලබන සභාව තෙක් කල් තබනවා.

විපක්ෂ නායක ජේ . සී. අලවතුවල මහතා –
මේක ආණ්ඩුකාරතුමිය සම්න්ධයෙන් තියෙන ඉතාම වැදගත් යෝජනාවක්. අපි පහුගිය සභාවේදීත් කිව්වා මේක සාකච්ඡා කරලා අවසන් කරමු කියලා. මේක දිගින් දිගටම න්‍යාය පත‍්‍රයේ විතරක්
තියෙන එක සුදුසු නැහැ.

සභාපති ධර්මසිරි දසනායක මහතා –
මේ යෝජනාව ඉදිරිපත්කරලා තියෙන සභානායකතුමා අද ඇවිල්ලා නැහැ. එයා නැතුව මේක විවාදයට ගන්න බැහැ.

විපක්ෂ නායක ජේ . සී. අලවතුවල මහතා –
ඒක හරි. නමුත් අපි එදා කිව්වා මේක සාකච්ඡා කරලා ඉවර කරමු කියලා. එදත් ඔබතුමා හිටියනේ. මහඇමැතිතුමා චණ්ඩියා වගේ මේ දෝෂාභියෝගේ ගෙනාවනේ. නමුත් දැන් කට්ටිය නෑ කියලා බයවෙලා අකුලගන්න හදනවා. මම කියන්නේ ගරු සභාපතිතුමනි, ආණ්ඩුකාරතුමියට විරුද්ධව ගෙනාපු මේ විශ්වාසභංගය ඇයි අපි දිගින් දිගටම න්‍යාය පත‍්‍රයේ තියාගෙන යන්නේ ?. කරුණාකරලා මේක ගේන්න. විපක්ෂය විදිහට එදා අපි මේ විශ්වාසභංගය සාකච්ඡාවට ගන්න ලෑස්තිවෙලා හිටියා. නමුත් එදත් මග ඇරියා. දැන් මේකට අතඋස්සගන්න 34 දෙනෙක් ආණ්ඩු පක්ෂයට නෑ. ඒ නිසා තමයි මේ තත්වේ ඇතිවෙලා තියෙන්නේ. ආණ්ඩුකාරතුමියගේ මේ පත්කිරීම කරලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා විසින්. ඉතිං එතුමියට විරුද්ධව මේ වගේ යෝජනාව න්‍යාය පත‍්‍රයේ දිගින් දිගටම තිබීම සුදුසු නෑ. ඒක ගැලපෙන්නේ නෑ. මේක ගේන්න බැරිනම් ආණ්ඩුපක්ෂය මේක න්‍යාය පත‍්‍රයෙන් ඉවත්කරගන්න ඕනෑ. මම කියන්නේ බැරි දේවල් කරන්න එපා කියලයි.

ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා –
මේ යෝජනාව පසුගිය සභාවේදී විවාදයට ගන්න ලැබුණේ නැත්තේ එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට අතිගරු ජනාධිපතිතුමාගෙන් කැදවීමක් ලැබිලා තිබුණ නිසයි. ඒක අපි කවුරුත්
පැහැදිලිව දන්නවා. දෙවැනි කාරණය තමයි ගිය සතියේදී සභා කටයුතු කාරක සභාවේදී මේ ගැන අපි තීන්දුවක් ගත්තා. ජේ. සී. අලවතුවල මැතිතුමත් ඒ වෙලාවේ නම් ඕක ගේන්න ඕනැ
කියලා කතා කළේ නෑ. අපි ඔන්න ඕක අල්ලලා දාමු කියලයි කිව්වේ…..

විපක්ෂ නායක ජේ . සී. අලවතුවල මහතා –
ගරු සභාපතිතුමනි , ඒක වැරදියි. මම එදත් කිව්වා. මම සභා කටයුතු කාරක සභාවේදී පැහැදිලිවම කිව්වා මේක ගේන්න කියලා.

ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා
හරි, හරි. තමුන්නාන්සේ කලබල වෙන්න එපා. මේ යෝජනාවට මොකද කරන්නේ කියලා සභාපතිතුමා තීන්දුවක් දෙයි . දැන් තමුන්නාන්සේලා ගෙනාපු යෝජනා කීයක් තියෙනවාද
පාර්ලිමේන්තුවේ හමස් පෙට්ටියට ගිහිල්ලා. එහෙම තමයි යෝජනා ගේනවා. ඕන්නම් ගන්නවා. නැත්නම් නිකම් ඉන්නවා…..

වයඹ පළාත් සභා මන්ත‍්‍රී සෝමසිරි ගුණතිලක මහතා ( එ. ජ. නි. ස)
ගරු සභාපතිතුමනි, මේ යෝජනාව අද න්‍යාය පත‍්‍රයට වැටිලා තියෙන්නේ මන්ත‍්‍රීවරුන්ගේ නව යෝජනාවක් විදිහටයි. නව යෝජනාවක් ගෙනල්ලා ස්ථිර කෙරුවට පස්සේ එවෙලෙම ඒක
සාකච්ඡා කරන සිරිතක් මේ සභාවේ නැහැ. මේ යෝජනාව නව යෝජනා යටතේ අදයි ඉදිරිපත් කෙරුවේ. අදමයි ස්ථිර කෙරුවේ. ඒ නිසා මේ යෝජනාව ඊළග සභාවට දමමු.

කෙසේ වෙතත් සභාපති ධර්මසිරි මහතා විසින් අදාළ යෝජනාව ලබන සභාවාරය තෙක් කල් තැබුනු අතර අනතුරුව වයඹ පළාත් මාර්ග සංර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් ඉදිරිපත් කර තිබූ , බිංගිරිය – දුම්මලසූරිය මාර්ගය අභාවප‍්‍රාප්ත මුනිදාස පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ නමින් නම් කළ යුතු බවට වූ යෝජනාවක් විවාදයට ගැණුනු අතර එම යෝජනාව පක්ෂ විපක්ෂ      මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කළහ.

මීළග වයඹ පළාත් සභා රැස්වීම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණය නිමවීමෙන් පසුව එළැඹෙන අගෝස්තු මස 25 වැනිදාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article