Monday, November 18, 2024

යූඇන්පියේ රතිඤ්ඤාව පත්තුකරගන්න වෙන තැනක් තිබුණේම නැද්ද ?

Must read

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අවසන් මහා රැළියේදී රතිඤ්ඤා පත්තු කිරීමට කුරුණෑගල වැවරවුම ප‍්‍රදේශය යොදාගැනීම නිසා එම ප‍්‍රදේශය අපවිත‍්‍ර වී ඇති බව දැක්වෙන ඡායාරූප ගණනාවක් මේ වන විට ෆේස්බුක් වෙබ් අඩවිය වෙත එකතු කර තිබේ.

මෙම ඡායාරූප එකතු කළ පිරිස් උත්සාහ ගෙන ඇත්තේ මෙන්න ‘යූඇන්පියේ වැඩ’ යැයි කියමින් දේශපාලන වාසියක් ලබාගැනීම වුවත් මේ පින්තූර පිටුපස ඊට වඩා සිතන්නට යමක් ඇති බව අපේ විශ්වාසයයි.

කුරුණෑගල වැව යනු කුරුණෑගල නගරයේ හදවතයි. කුරුණෑගල නගරයට එන ඕනෑම අයෙකුගේ ගත සිත පිනවනවාට වඩා නගරයේ අවශ්‍යතාවයන් සදහා ජලය සම්පාදනය කිරීමෙන්ද කුරුණෑගල වැව , කුරුණෑගල නගරය වෙනුවෙන් කරමින් සිටින්නේ නිහඩ නමුත් මිල කළ නොහැකි සේවයකි.

ඊයේ එක්සත් ජාතික පක්ෂයේ රැුළියේදී රතිඤ්ඤා පත්තුකිරීමට යොදාගන්නේ එහෙව් වැවේ වෑ බැම්මයි. යූඇන්පී රතිඤ්ඤාවන් පිපිරවීමේදී සුවිසල් මුදලක් යොදවා මෑතකදී නවීකරණය කරන ලද වෑ බැම්මට මෙන්ම කොළ කැබලි ආදිය වැවට විසිවීමෙන් සැලකිය යුතු තරමේ හානියක් කුරුණෑගලට වැවට සිදු වී ඇති බව පෙනෙයි. එම නිසා කවුරුන් විසින් කළත්, කාගේ උපදෙස් මත කළත් කුරුණෑගල වැව් බැම්මේ රතිඤ්ඤා පිපිරවීම කුරුණෑගලට ආදරය කරන හැම කෙනෙකුගේම අප‍්‍රසාදයට ලක්වෙනු නියතය.

කාගේ හෝ මොරාල් එක තත්පර ගණනකින් ඉහළ නැංවීම වෙනුවෙන් ගිය පුපුරා ගිය මේ දහස් ගණනක් වූ රතිඤ්ඤාවන්ගේ සුන්බුන් ඉවත් කරන්නට වැයවෙන කාලය ඇතැම්විට දින දෙක තුනක් පවා විය හැකිය. ඒ වෙනුවෙන් වැය කරන්නට සිදුවෙන අමතර කම්කරු ශ‍්‍රමයක් නැතිවීම නිසා ඇතැම් විට මේ සුන්බුන් එසේම පවතින්නටත් වැඩි ඉඩකඩක් පවතී. රතිඤ්ඤා පත්තුකිරීම සදහා සත්‍යවාදී පිටිය සහ ඒ අවටින් බොහෝ පහසුවෙන් මුඩුබිමක් හෝ ළදු කැළෑවක් වී සොයාගැනීමට හැකිව තිබියදී එජාප ආධාරකරුවන්ගේ ග‍්‍රහණයට හසු වී ඇත්තේ කුරුණෑගල වැව්බැම්මය. මේ විනාශය දකින කල මහත් සංවේගයෙන් යුතුව අපට අසන්නට ඉතිරිව ඇත්තේ යූඇන්පියේ රතිඤ්ඤාව පත්තුකරගන්න වෙන තැනක් තිබුණේම නැද්ද කියා පමණකි.

එජාපය කළ වරද ගැන ඡායාරූප තොග ගණනින් මුදාහරිමින් සිටින මහත්වරුන්ද හෙට දිනයේ මේ වරද නොකරන්නට පරිස්සම් විය යුතුය. මන්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් රැළිය හෙට කුරුණෑගල මාළිගාපිටියේදී පවත්වන්නට නියමිතව ඇති බැවිනි. වැවට තරමක් දුරින් පිහිටීම නිසා සන්ධාන ආධාරකරුවන් විසින් රතිඤ්ඤා පත්තුකරන්නට කුරුණෑගල වැව්පිටිය යොදාගැනීමට ඇති ඉඩකඩ අවම නමුත් කුරුණෑගල නගරයේ කවරතැනක් හෝ යොදාගනිමින් කුරුණෑගල පරිසරයට, සංස්කෘතියට හෝ වටපිටාවට අබඇටයක තරමේ හානියක් නොකර සිටීමට සන්ධාන ආධාරකරුවන් වගබලා ගත යුතුය.

මැතිවරණය පෙනි පෙනී තිබෙන පහළොස් වැනිදා පාන්දර සන්ධාන රැළියේ සුන්බුන් ගැන මෙවන් සටහනක් තබන්නට සිදු නොවේවා යනු අපේ පැතුමය.

wawarawuma2  (1) wawarawuma2  (2)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article