Saturday, November 23, 2024

යහපාලනයට එරෙහිව ජල ටැංකියකට නැග්ග ලංගම කළමනාකරු ඊයේ රෑ බිමට බැහැලා !

Must read

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ සේවයේ යෙදී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට වත්මන් යහපාලන ආණ්ඩුවෙන් දිගින් දිගටම සිදුකෙරෙන කෙණෙහෙලිකම් වහා නවත්වන්නැයි ඉල්ලමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සහකාර කළමනාකරුවෙකු විසින් කුරුණෑගල, බඩගමුවේ පිහිටි ගමනාගමන මණ්ඩලයේ වයඹ ප‍්‍රධාන කාර්යාලයේ පිහිටි ජල ටැංකියක් මතට නැගී ඊයේ (19 දා ) උදෑසන ආරම්භ කර තිබූ විරෝධතාවය අවසන් කළ එම සහකාර කළමනාකාරවරයා ඊයේ පස්වරුවේ එම ජලටැංකියෙන් බිමට බැස තිබේ.

අඩි පනහකට ආසන්න උසකින් යුත් එම ජල ටැංකියක මත නැගී මෙලෙස විරෝධතාවයේ යෙදී සිටියේ ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණු ඩිපෝවේ සහකාර කළමනාකරු ( ඉංජිනේරු ) සුමිත් හේරත් මහතාය.

ඊයේ දහවල් සිය විරෝධතාවයට හේතු වූ කරුණු පිළිබදව පැහැදිලි කළ සුමිත් හේරත් මහතා මෙසේ පැවසීය.

”මේ ජාතික ආණ්ඩු සංකල්පය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂික ලංගම සේවකයින්ට පුදුමාකාර වදහිංසා පමුණුවමින් සිටිනවා. එකේ ආසන්නතම උදාහරණය තමයි මම. මට පිහියෙන් අණින්න ආව කොන්දොස්තරවරයෙක් ගැන පැමිණිලි කළාම ඒ කොන්දොස්තරවරයාට රස්සාව දීලා මාව තනතුරින් අයින් කරලා ස්ථාන මාරුවකුත් දීලා තියෙනවා. මේ විදිහේ බොරු චෝදනා දාලා, අපේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂික ලංගම සේවකයින් විශාල පිරිසක් ඔවුන්ගේ පහුගිය කාලයේදී තනතුරුවලින් ඉවත්කරලා තියෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයෙක් පත්වෙලා ඉන්න කාලයක අපිට මෙහෙම අසාධාරණකම් වෙන එක කණගාටුවට කරුණක්. ගමනාගමන මණ්ඩලය තුළ දැන් තියෙන්නේ ජාතික සේවක සංගමයේ ඕනෑ එපාකම් වලට අනුව ගෙනියන පාලනයක්. මම කියන්නේ මේ රටේ තියෙන්නේ ජාතික ආණ්ඩුවක් නම් අපිට මෙහෙම කෙනෙහිලිකම් වෙන්න බෑ. අපිට පනහට පනහක් ඕනෑ කියලා අපි ඉල්ලන්නේ නෑ. නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂික ලංගම සේවකයින්ට කාගෙවත් හිංසාවකට පීඩාවකට ලක් නොවී රස්සාව කරන්න පුඵවන් විදිහේ පරිසරයක් හදලා දෙන්නවා කියන ලිඛිත පොරොන්දුව අපේ ප‍්‍රවාහන ඇමැතිතුමාගෙන් ලැබෙනකම් මම මේ විරෝධතාවය නවත්වන්නේ නෑ. මම ලබන සෙනසුරාදා වෙනකම් මෙතැනට වෙලා ඉන්නවා. සෙනසුරාදා වෙනකම්ම ඒ පොරොන්දුව ඇමැතිතුමාගෙන් නොලැබුණොත් එක්කෝ මම මේ ටැංකියෙන් බිමට පනිනවා. නැත්නම් මගේ ළග තියෙන ලණුවකින් මේ ටැංකියේම එල්ලෙනවා.” යැයි පැවසීය.

මෙම චෝදනා පිළිබදව විමසීමට ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ වයඹ ප‍්‍රධාන කාර්යාලයේ වගකිවයුතු නිලධාරියෙකු හමුවීමට උත්සාහ කළ නමුත් මාධ්‍යවේදීන් කාර්යාල භූමියට ඇතුළත් කර නොගන්නා ලෙසට ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇති බව පවසමින් එහි ආරක්ෂක නිලධාරීන් විසින් ගේට්ටුව වසා දැමූහ.

කෙසේවෙතත් අදාළ උපවාසය තවදුරටත් පැවැත්වෙන්නේදැයි අද උදෑසන වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් කළ සොයාබැලීමකදී හෙළි වූයේ අදාළ විරෝධතාවය අවසන් කළ සහකාර කළමනාකාරවරයා ඊයේ පස්වරු 6.10 ට පමණ එම ජලටැංකියෙන් බිමට බැස ඇති බවයි.

ඒ පිළිබදව කළ විමසීමකදී සුමිත් හේරත් මහතා පැවසුවේ ලංගමය තුළ දැනට සිදුකෙරෙන දේශපාලන ස්ථාන මාරු වහාම නවත්වන බවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දුරකථනය ඔස්සේ ලබාදුන් පොරාන්දුවකට අනුව තම විරෝධතාවය අවසන් කළ බවය. ctb_upawasaya1 ctb_upawasaya2 ctb_upawasaya3 ctb_upawasaya4

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article