දින කීපකට පසුව ඇදිරි නීතිය පැය කීපයකට ලිහිල් වීමත් සමග වයඹ පළාතේ එක්තරා නගරයක් කඩි ගුලක් මෙන් ඇවිස්සී ගියේය.මහජනතාව මෙන්ම රථ වාහන වලින්ද නගරය පිරී ඉතිරී ගියේය.
වාහන තදබදය පාලනය කිරීමට අමතරව පැමිණි ජනතාව අතර දුරස්ථ භාවය රදවා තබා ගැනීමේ වගකීමද පැවරී තිබුනේ පොලිස් නිලධාරීන් වෙතය.එය ඉතා දුෂ්කර ක්‍රියාවක් බවට පත්වී තිබුනේය.
නගරය තුළ පිරී ඉතිරී ගිය වාහන සහ ජනතාව අතරින් දිග රිටක්ද අතැතිව ගමන් කරන අයෙකුව රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු දුටුවේය. කිසිදු චකිතයක් නොපෙන්වා ජනතාව අතර එහා මෙහා යන මෙම පුද්ගලයාව ගමන් කරමින් සිටියේය.
එම පුද්ගලයාව තමා වෙත කැදවා ගැනීමට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු කටයුතු කළේය.
“මේ ලොකු උන්නැහේ.කොහේද ඔය කලබලෙන් වෙලාවේ යන්නේ….”තමා කරමින් සිටි රාජකාරිය බරපතල වුවත් හිතේ ඇති වූ කුකුස පහ කර ගැනීමේ අදහසින් පොලිස් නිලධාරියා රිටක් අතේ ඇතිව ගමන් කරමින් සිටි පුද්ගලයාගෙන් විමසීය.
“ඇයි මහත්තයෝ.මම මොකක් හරි වරදක් කරලා තියනවාද?”පෙරකී පුද්ගලයා පොලිස් නිලධාරියාගෙන් විමසා සිටියේය.
“මම අහන්නේ කොහේද මේ රිටකුත් අරගෙන සෙනග අස්සෙන් එහාට මෙහාට යන්නේ කියලයි…”පොලිස් නිලධාරියා නැවතත් විමසා සිටියේ සැර පරුෂ විලාශයටය.
මද සිනහවාක් පෑ හෙතෙම “ආ….මේකද?. (තම අතේ තිබූ රිට දෙස බලමින්)මේ මහත්තයෝ මගේ ආරක්ෂාවට අරගෙන යන එකක් නේ.”යැයි පිළිතුරු දුන්නේය.
“ආරක්ෂාවට කියන්නේ?තමුන්ව අතර මගදී බල්ලෝවත් හපා කන්න ආවාද?” පොලිස් නිලධාරියා නැවත විමසා සිටියේය.
“මොන බල්ලොද මහත්තයෝ.මේ රිට මීටරයක් දිගයි.දැන් හැම වෙලාවේම අර සෞඛ්‍ය ලොකු මහත්තයා රූපවාහිණියෙන් කියනවානේ අනිත් කෙනාට වැඩිය මීටරයක් දුරින් ඉන්න කියලා.ඉතිං මහත්තයෝ අපිට ටවුන් එකට ආපුවහම කොහොමද මීටරේ දුර මනින්නේ.ඒ හින්දා මම ගෙදරින්ම මීටරයක් දිග රිටක් කපා ගෙන ආවා.ඒක තමයි මේ මගේ අතේ තියෙන්නේ….”කිසිදු පැකිලීමකින් තොරව හෙතෙම තමා අත තිබූ රිට පොලිස් නිලධාරියාට පෙන්වමින් කියා සිටියේය.
මුවෙන් නොබැන සිනා සුනු පොලිස් නිලධාරියා කිසිවක් නොකියා සිටියේ හදවතේ දහසක් දේ සිර කරගෙනය.
ජුඩ් සමන්ත.